-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.16, ප.ව.4.30) ‘එයාට අමාරුයි- එයා මට ඕනෙ’ විමල්ගේ දියණිය විමාෂා වැලිකඩ හිරගෙදර ඉදිරිපිට වැළපෙයි! - 2017 මාර්තු 24
"ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය සහ රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමාෂා වීරවංශ දැරිය අද (24) සවස 4.30ට පමණ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියහ. නමුත් ශෂී වීරවංශ මහත්මියට සිය සැමියාගේ සුවදුක් විමසීමට ඉඩක් නොලැබුණු අතර දියණියට ඒ සදහා අවස්ථාව ලැබී තිබිණි. මාධ්‍යවේදීන් සිය පියාගේ සුවදුක් කෙසේදැයි විමසූ අවස්ථාවේ විමාෂා හඩමින් වැලපෙමින් පවසා සිටියේ ‘එයාට අමාරුයි.. එයා මට ඕනෙ’ යනුවෙනි".
එදා මූල්‍ය අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි විමල් වීරවංශ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් උපවාසයක් ආරම්භ කළේ ය. එහෙත් ඒ උපවාසයට සමාජ අවධානයක් යොමු නොවන විට තමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬා වැටීමට සිය දියණිය යොදා ගත්තේ ය. ඇය ද පියා මෙන් දක්ෂ රංගනයක නිරත වූවාය. විමල් වීරවංශගේ නීතිඥයන් ඔහුට උසාවියේ ඇප ඉල්ලා සිටින විට උසාවියට පැමිණ සිටි විමල්ගේ දියණිය කලාන්ත වී ඇද වැටුණා ය. ඒ අවස්ථාවේ විමල් වීරවංශගේ නීතිඥයන් විනිශ්චයකාරවරුන්ට පෙන්වා දුන්නේ පියා ගෙදර නොඒම නිසා දියණිය දැඩි මානසික ආතතියකට පත් වී ඇති බැවින් තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසයි. ඒ අවස්ථාවේ විමල්ට ඇප හිමි විය!
විමල් ඇපමත නිදහස්වී පැමිණ සති කිහිපයකින් නාවික හමුදාව විසින් කප්පම් ලබා ගැනීමට පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද දරුවන් එකලොස් දෙනාගේ සිද්ධියට සම්බන්ධ "රණ විරුවන්" කිහිපදෙනෙකු රහස් පොලීසියේ අත්අඩංගුවට පත්විය. මේ අවස්ථාවේ ඝාතකයන් වෙනුවෙන් පෙනීසිටීමට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වූ විමල් වීරවංශ කියා සිටියේ ඒ දරුවන් එකළොස් දෙනා එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවයි. එබැවින් ඔවුන් ඝාතන කිරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය බවත් එම ඝාතන සාධාරණ බවටත් ඔහු කරුණු දැක්වීය. විමල්ගේ දරු දුක ඇත්තේ තම දරුවන් වෙනුවෙන්ම පමණි. අනෙක් දෙමව්පියන්ගේ දරු දුකට කිසිදු වටිනාකමක් නැත. ඝාතනය කරන ලද තම දරුවන් එකළොස් දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු කර ගැනීමට වසර දාහතකට අධික කාලයක් පුරා සටන් කරන එම දෙමව්පියන්ගේ කඳුළු වලට කිසිම වටිනාකමක් නැත. ඒ දරුවන්ගේ ජීවිතවලට කිසිදු වටිනාකමක් නැත. ඒ දරුවන් දේශද්‍රෝහීන්ය. මානසික පීඩනය, ආතතිය හටගන්නේ තම පවුලේ සාමාජිකයන්ට පමණි. විමල් වීරවංශ යනු තම දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකු යොදා ගන්නා, ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් දේශපාලන පරයෙකි; ජඩයෙකි.
විමල් වීරවංශ සමඟ සම මට්ටමේ සිටින අනෙක් දේශපාලන ජඩයා උදය ප්‍රභාත් ගම්මන්පිලය. ඔහු ද විමල් වීරවංශ සමඟ එක්ව වසර 2017 සිට නාවික හමුදාව විසින් කප්පම් ලබා ගැනීමට පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද දරුවන් එකලොස් දෙනා එල්ටීටීඊ සාමාජිකයන් බවට වන දැවැන්ත බොරුවක් සමාජගත කරමින් මේ සිද්ධියට සම්බන්ධ “රණ විරුවන්" නිදහස්කර ගැනීමේ මෙහෙයුමක නිරතවෙයි. ඔවුහු මේ සිද්ධියට සම්බන්ධ නාවිකා හමුදා නිළධාරීන්ට එරෙහි නඩු විභාගය අඩාල කිරීමට කුමන්ත්‍රණ කරමින් සිටිති. අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන් විවිධ අභූත චෝදනා, අපහාස සහ බලපෑම් කරමින් සිටිති. මේ කාලකන්නි මෙහෙයුම ආරම්භ වූයේ යහපාලන රජය සමයේ අදාළ ඝාතනයන්ට සම්බන්ධ නාවික හමුදාවේ "රණ විරුවන්" පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.
ඒ අවස්ථාවේ රාජපක්ෂ සට්ටැඹියෝ සහ ඔවුන්ගේ මාධ්‍ය මේ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම මහා “රණවිරු” පාවාදීමක්, පලිගැනීමක් වශයෙන් හඳුන්වා දෙමින් දැවැන්ත රඟපෑමක නිරත වූහ. එහි උපරිමයට ලඟා වූයේ නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න මෙම සිද්ධියට අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ඒ සමඟ ම නෙෙසර්ගික සිංහල බෞද්ධ ජාතිවාදීයකු වූ මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට "රණවිරු ගාය" ඉහමුදුනටම වැදුණේය. "රණ විරුවන්" දඩයම් කරන බවට රනිල් වික්‍රමසිංහ ප්‍රමුබ යහපාලන රජයට හතර අතේ බැණ අඬගැසුවේය. ඔහු අධිකරණයට සිදු කළ බලපෑම් හරහා අත්අඩංගුවට පත් දසනායකට ඇප ලැබුණේය. ඇප පමණක් නොව මෙෙත්‍රිපාල ඔහුව යළි සේවයේ පිහිටුවා උසස්වීමක් ද ලබා දුන්නේය. මෙෙත්‍රිපාල යනු එවැනි දේශපාලන පරයෙකි. නාවික හමුදාව විසින් කප්පම් ලබා ගැනීමට පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද දරුවන් එකලොස් දෙනාගේ සිද්ධියට සම්බන්ධ චෝදනා ලබා සිටින "රණ විරුවන්" රාජපක්ෂ සට්ටැඹිරාළලා ය. ගෝඨාභය රාජපක්ෂ පාලනය සමයේ මේ නඩු විභාගය අත්හැර දැමූ අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ පොලිස් නිළධාරීන්ට දඬුවම් ලැබීමට සිදුවිය. අදාළ නඩු විභාගය ඉදිරියට ගෙන නොයන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක “පිස්සු පූසා” කොමිසමෙන් ඉල්ලීමක් පවා කළේ ය.
කප්පම් ලබා ගැනීමට ඝාතනය කරන ලද අපේ දරුවන්ට යළි සාධාරණයක් ඉටුවීම ආරම්භ වූයේ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමඟිනි. මේ සිද්ධියට සම්බන්ධව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දා අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. ඒ සමඟ යහපාලන ආණ්ඩු සමයේ රඟදැක්වූ “රණ විරු" නාටකය යළි කරළියට පැමිණ තිබේ. සුපුරුදු ලෙස එහි පොතේ ගුරා වී සිටින්නේ උදය ගම්මන්පිල නම් දේශපාලන පරයා ය. නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ සාක්ෂි මත බව ඔහු ප්‍රසිද්ධියේ චෝදනා කළේ ය. ඒ චෝදනාව ඇතුළු ඔහුගේ වර්ගවාදී ජාතිවාදී වියරු ප්‍රකාශයන්ට “දෙරණ”, “හිරු” රූපවාහිනී නාලිකා, ඔවුන්ට ගුවන් විදුලි නාලිකා, “අරුණ” “සති අග අරුණ” පුවත් සහ සමස්ත සිංහල බෞද්ධ ජාතිවාදී, වර්ගවාදී මාධ්‍ය පෙරමුණ දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් සිටියි.
උදය ගම්මන්පිලගේ ප්‍රකාශය අධිකරණයේ විභාග වන නඩුවකට සෘජුවම බලපෑම් කිරීමක් සහ මැදිහත් වීමකි. අනෙක් පසින් ඔහු සුපුරුදු සිංහල බෞද්ධ ජාතිවාදී, වර්ගවාදී ගිණිසිළුව ඔසවා ගෙන යයි. මේ තර්ජනය පිළිබඳව අතුරුදන් වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අචලා සෙනෙවිරත්න, උදය ගම්මන්පිලට එරෙහිව පසුගිය බදාදා (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා ය. නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් සහ ඊට අදාල නඩුකටයුතුවලට බාධා කරමින්, සහ මේ අත්අඩංගුවට ගැනීම් කොටි ත්‍රස්තවාදීන්ගේ සාක්ෂි මත පදනම්ව සිදු කරන බව පවසමින් හිටපු මන්ත්‍රීවරයා ජාතිවාදය අවුස්සමින් සිටින බව ඇය චෝදනා කරන්නීය. මෙය පැහැදිලිවම වසර 2017 සිදුවීම් පුනරාවර්තනයවීමකි. රණවිරු, සහ දේශප්‍රේම සටන් පාඨ ඉදිරියට දමා රට ගිනි තැබීමට රාජපක්ෂ හිතවාදී ජාතිවාදී, වර්ගවාදී කණ්ඩායම් සැරසෙයි.
ගම්මන්පිල කසකරුවා වුවද මේ මෙහෙයුම මෙහෙය වන්නේ දිලිත් ජයවීරය. ඒ සඳහා ඔහුට මූල්‍ය ශක්තිය, මාධ්‍ය බලය මෙන්ම සංවිධාන ශක්තිය තිබේ. ඔහුට අයත් “දෙරණ” රූපවාහිනිය, “අරුණ”, “සති අග අරුණ” පුවත්, මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දින සිට සිංහල බෞද්ධ ජාතිවාදී, වර්ගවාදී ප්‍රචාරය තීව්‍ර කර තිබෙන පැහැදිලිය. මේ ආයතනවල සේවය කරන “ජනමාධ්‍යවේදීන්”ගෙන් බහුතරය වැටුපට සිංහල බෞද්ධ ජාතිවාදී, වර්ගවාදී ප්‍රචාරය ගෙන යන චරිත නොවෙයි. ඔවුහු නෙෙසර්ගික සිංහල බෞද්ධ ජාතිවාදී උම්මත්තකයෝ ය. අධික “රණවිරුගායෙන්” පෙලෙන රෝගීහු වෙති. ඔවුහු දෙමළ, මුස්ලිම් සුළු ජාතීන්ට වෙෙර කරති. ශාප කරති. දිලිත් ජයවීරගේ මේ මාධ්‍ය මෙහෙයුම වඩා භයානක වන්නේ එබැවිනි. මාලිමා ආණ්ඩුව මේ අනතුර අවබෝධ කර ගත යුතු අතර උදය ගම්මන්පිල, විමල් වීරවංශ වර්ගයේ පිස්සු බල්ලන් බැඳ දැමිය යුතුය. මෙවැනි පිස්සු බල්ලන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ ලබාදීම සමස්ථ සමාජයේ ම පැවැත්මට තර්ජනයක් නිර්මාණ කරයි. එබැවින් සාමකාමී පොදු ජනතාවගේ හිත සුව පිණිස එම තීරණය ගත යුතු බවට අපි ආණ්ඩුවට බලකරමු. වසර 2017 දී සිදු වූ සිද්ධි මාලාව යළි පුනරාවර්තනය වීමට ඉඩදීම නින්දා සහගතය. වසර දාහතකට පසුව හෝ අපේ දරුවන්ට සාධාරණය ඉටු කළ යුතුව තිබේ.
අතුරුදන් වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අචලා සෙනෙවිරත්නට යුක්තිය, සාධාරණ පතන සමස්ථ සමාජයම ණයගැතිය. ඇය වසර දහයක පමණ කාලය පුරා මේ නඩුවට කැපවී සිටින්නීය. අනතුරේ තරම අවබෝධ කරගත් නීතීඥ “තරු” මේ නඩුව වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන විට මේ තරුණ නීතීඥවරිය එයට කර තැබුවා ය. ඒ වෙනුවෙන් ඇයට හිමි වූයේ තර්ජන, අවලාද, බොරු චෝදනා සහ චරිත ඝාතන පමණි. එහෙත් ඒ කිසිවකින් නොසැලෙනු ඇය අපේ දරුවන්ට යුක්තිය ඉටුකර ගැනීමේ සටන ඉදිරියට ගෙන යමින් සිටින්නීය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඇය ගැන ආඩම්බර විය යුතුය. ඇය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සමාජ සාධාරණ සහ යුක්තිය වෙනුවෙන් සටන් කරන දිරිය දියණියකි!
ලියුම්කරුගේ ලිිපි එකතුව
https://www.lankaenews.com/category/33
සබැඳි ලිපිය
ගම්මන්පිලට එරෙහිව සීඅයිඩියට පැමිණිලි කරමින් මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ අචලාගේ වීඩියෝව පහතින් නරඹන්න
---------------------------
by (2025-08-16 11:11:38)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි