-මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.18, ප.ව.9.05) සති ගණනාවක් තිස්සේ නීතියේ ඇසට වැලි ගසමින් සැඟවී සිටින ෙඅතුරලියේ රතන සහ තුසිත හල්ඔලුව දෙදෙනා දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණ දෙකක් විසින් අද වරෙන්තු නිකුත් කරන ලදී.
සීසීඩීය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා අතුරලියේ රතන ට වරෙන්තු නිකුත් කළේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වන අතර, සීඅයිඩිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා තුසිත හල්ඔලුවට වරෙන්තු නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසිනි.
2020 වසරේ මහමැතිවරණයෙන් 'අපේ ජනබල පක්ෂයට' හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමාට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස පැහැරගෙන ගොස් රඳවා තබාගෙන මරණ තර්ජන එල්ල කළේ යැයි රතනට එරෙහිව විමලතිස්ස කරන ලද පැමිණිල්ලක් අනුව අතුරලියේ රතන විමර්ශන සඳහා සොයන අතර රතන පදිංචිව සිටි රාජගිරිය සඳහම් සෙවණින් ද පැනගොස් සිය දුරකථනය ද විසන්ධි කර රතන මේ දක්වා සැඟව සිටී. වේදිනිගේ පැමිණිල්ල සනාථ කිරීම ලේසි නැත. එසේ නම් රතන මේ තරම් හැංගෙන්නේ වේදිනිගේ පැමිණිල්ල නිසාම පමණක් ද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වූ තුසිත හල්ඔලුව සීඅයිඩිය විසින් සොයන්නේ ඔහු ගමන් ගත් වාහනයට නාරාහේන්පිට දී වෙඩි තබා ඔහු සතු වැදගත් ලියකියවිලි සහිත ලිපිගොනුවක් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට ය. එම සිද්ධියට අදාල සැකකරුවන් තිදෙනෙකු සීඅයිඩිය මගින් අත් අඩංගුවට ගත් අතර ඔවුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දී ද කළ පාපෝච්ඡාරණ වලින් හෙළිවී ඇත්තේ නාරාහේන්පිට සිදුවීම තුසිත හල්ඔලුව විසින්ම රචනා කොට රඟ දක්වන ලද නාටකයක් බවයි. නමුත් හල්ඔලුව මේ තරම් හැංගෙන්නේ නාටකය නිසාම පමණක් ද?
මේ අතර දැනටත් සැඟවී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අධිකරණය මගින් පසුගියදා දුටු තැන අල්ලන ලෙස වරෙන්තු නිකුත් කරන ලද අතර අද(18) රාජිතගේ නීතිඥයන් විසින් රාජිතගේ වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන ලදී.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග ඉදිරියේ කැඳවූ මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක මෝසමේ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා ය.
රාජිත, රතන සහ හල්ඔලුව තිදෙනාම නීතියේ ඇසට වැළි ගසමින් සැඟව සිටින්නේ මන්දැයි යන කාරණය අපක්ෂපාතීව සලකා බලද්දී පෙනී යන්නේ මොවුන් නීතියෙන් මේ තරම් සැඟවීමට නම් මේ කියන අපරාධයන්ට වඩා වෙනත් විශාල අපරාධයන් සිදුකර ඇති බවයි. හෘද සාක්ෂියට එකඟව තමන් නිවැරදි නම් නීතිය ඉදිරියට ඒමට කිසිවෙකු බිය වන්නේ නැත. මන්ද යත් රාජපක්ෂ යුගයේ මෙන් කිසිවෙකු නීතියට පිටින් රැගෙන ගොස්, අතුරුදහන් කරන්නේ හෝ මරා දමන්නේ නැති, සැලකිය යුතු තරමට නීතියේ ආධිපත්‍යය පිහිටුවා ඇති යුගයක දී මේ ලෙස සැඟව සිටීමට සාධාරණ හේතුවක් නැති නිසා ය. අධිකරණ ක්‍රියාවලියක දී රිමාන්ඩ් වීමට සිදුවන්නේ වී නම් එය තාවකාලික කාරියක් මිස එල්ලුම් ගහට යෑමක් නොවේ. මොවුන් කර ඇති අපරාධ මේ දැනට විමර්ශකයන් සොයන ඒවා පමණක් නොවන බවත්, තමන් කරන ලද අපරාධයන්ගේ තරම තමන්ම දන්නා නිසා මේ අන්දමින් බිය වී සිටින බවත්, ඒ නිසාම තම දේපොල පවා පරදුවට තබා සැඟවෙන බවත්, (මන්ද යත් දිගින් දිගටම සැඟවෙන්නේ නම් ඔවුන් සතු දේපොල රාජසන්තක කිරීමට නීතියට හැකිය) සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට තේරුම් යනවා ඇත.
රාජිත, රතන, හල්ඔලුව සාමාන්‍ය චරිත නොවේ. ඔවුන් ප්‍රසිද්ධ චරිතය. සැඟව සිටීම පහසු නැත. ඒත් විමර්ශකයන්ට තවම සොයා ගත නොහැකි ය. එය එතරම්ම පිළිගත හැක්කක් නොවේ. මොවුන් තිදෙනා දිගු කලක් මේ රාජ්‍යයේ බලවත් සම්බන්ධතා තිබූ අය ය. මොවුන් සැඟව සිටින්නේ ඒ සම්බන්ධතා තවමත් නොබිඳී පවතින නිසා බව නිසැක ය. මාලිමාව ආවා කියා කොටින්ගේ පුල්ලි වෙනස් වන්නේ නැත. මෙයින් තහවුරු වන්නේ එයයි. එබැවින් විමර්ශකයන් කළ යුත්තේ සෝමාරි නොවී මුළු ශක්තිය යොදා ඉහත තිදෙනා පමණක් නොව මේ ලෙස සැඟව සිටින්නන් අල්ලා ගැනීමයි. දිගින් දිගටම මේ සෝමාරිකම පැවතුනහොත් මෙය දූපතක් වුවත් හැංගෙන උන්ට පාරාදීසයක් ලෙස මෙරට ජනතාව තුල පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව තුල ද මතයක් ගොඩ නැගෙනු නිසැක ය. එය රටේ නීතියේ ආධිපත්‍යයේ සෞඛ්‍යයට කිසිසේත්ම හොඳ නැත.
---------------------------
by (2025-08-18 16:19:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි