-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.20, ප.ව.9.25) තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පසුගිය 17 වැනිදා පස්වරු 4 සිට සේවයෙන් ඉවත් වී වැඩවර්ජනයක් ආරම්භ කළේ ය.
ඉන් පසුව දිවයින පුරා සියලු තැපැල් කාර්යාල වල වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්ති සමිති තීරණය කළේ 17 වනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ය.
මෙම වර්ජනයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ, අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යන්ත්‍ර වල පැමිණීම සහ පිටවීම සටහන් කිරිම ඇතුළු කරුණු 19 ක් ය.
වර්ජනයට සහභාගි වී සිටින්නේ, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය, ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති 23 කි.
මේ අනුව දිවයින පුරා තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 70ක සේවකයින් 18000ක් වැඩ වර්ජනයට එක්ව සිටිති. තැපැල් වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයේ නිරතව සිටින්නේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදී ය. වෘත්තිය සමති ක්‍රියාමාර්ගය අතහැර සාකච්ඡා සදහා පැමිණෙන්නැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේය.
මේ අතර තැපැල් සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථානවල ලිපි ලක්ෂ 15 කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වෘත්තීය සමිති නායකයෝ සඳහන් කළහ.
අතිකාල දීමනා ලබාදීම සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර වල පැමිණීම සහ පිටවීම සටහන් කිරිම නවතා දැමීමට රජය කිසිසේත්ම ක්‍රියා නොකරන බව ඊයේ (19) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස ඉතා පැහැදිලිව සහ සෘජු ලෙස ප්‍රකාශ කළේ ය. එය අගය කළ යුතුය. ඊට හේතුව ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතය සියලු රජයේ ආයතන සඳහා අනිවාර්ය කර ඇති නිසාය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ඇඟිලි සළකුණු (fingerprint/biometric) යන්ත්‍ර යොදාගන්නේ සෘජු නීතිමය පදනමක් මතය. මෙය සම්පූර්ණයෙන්ම සංවිධානික නීති හා පෞද්ගලික දත්ත ආරක්ෂණය පිළිබඳ නීතිවලට යටත්ව සිදු කරනු ලබන කටයුත්තක් ය.
රාජ්‍ය සේවකයෙකුගේ සේවා කාලය, සහභාගීත්වය සහ විනය පාලනය කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට (PSC) සහ විශේෂ අමාත්‍යාංශ වලට හිමි ය. ඒ අනුව, සේවා නීති හා විනය පිළිබඳ අදාළ සැපයුම් යටතේ ඇඟිලි සළකුණු යන්ත්‍ර යොදාගැනීම අනුමත කළ හැකිය.
ප්‍රවෘත්ති හා සංදේශ තාක්ෂණ පනත (ICTA Act, No. 27 of 2003) සහ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත (Electronic Transactions Act, No. 19 of 2006) ජාතික තොරතුරු තාක්ෂණ පද්ධති සම්මත කිරීම සඳහා පදනම සැලසෙන නීති ය.
ජාතික හැඳුනුම්පත් පනත, (Registration of Persons Act, No. 32 of 1968, as amended) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සළකුණු භාවිතා කිරීමට අවශ්‍ය නීතිමය ඉඩකඩ සලසා දෙන පනත ය.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත,( අංක 9, 2022 ) මෙය අලුත්ම නීතිය වන අතර, ඒ මඟින් biometric දත්ත ඇතුළු සියලුම සංවේදී දත්ත ආරක්ෂා කර ගැනීමේ වගකීම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන දරනු ලබයි.
ඇඟිලි සළකුණු යන්ත්‍රය යොදාගැනීමට රාජ්‍ය ආයතනවලට අවශ්‍ය නීතිමය පදනම සකස් වන්නේ, සේවක කොන්දේසි (attendance, discipline) පිළිබඳ විධිවිධාන, ICT හා දත්ත ආරක්ෂණ නීති, සහ PSC/අමාත්‍යාංශ මගින් නියමිත සේවා නීති අනුවය.
සරලව කියනවානම් රාජ්‍ය ආයතන fingerprint යන්ත්‍ර යොදාගන්නේ, අදාළ සේවා නීති සහ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (2022) යටතේ ඇති ප්‍රතිපාදන අනුව ය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ඇඟිලි සළකුණු (fingerprint Attendance) යන්ත්‍ර භාවිතයට අදාළ නිල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන (Public Administration Circular) සහ ඊට සම්බන්ධ නීතිමය පදනම් මේ ලෙස සාරාංශ කළ හැකි ය.
1. 2017 වසරේ ඉදිරිපත් කළ චක්‍රලේඛය බව (මූලික පදනම)
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 03/2017 (2017 අප්‍රේල් 19 වන දින Ministry of Public Administration and Management මගින් නිකුත් කරන ලද නිළ ලිපිය ( චක්‍රලේඛය) මගින් Fingerprint attendance යන්ත්‍ර භාවිතය සියලු රජයේ ආයතන සඳහා අනිවාර්ය කර ඇත.
මෙම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, පැමිණීම සහ පිටවීම තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2009.04.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009 සහ 2009.06.17 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009(1) පාදක කරගෙනය.
2. 2023 මැයි, නැවතත් භාවිතයේ අලුත් පැමිණීමක් සිදු විය. 2023 මැයි 12 වන දින Ministry of Public Administration විසින් නිකුත් කළ නව චක්‍රලේඛය මඟින් 2023 මැයි 15 සිට ඇඟිලි සංවේදී Attendance යන්ත්‍ර භාවිතය, සේවය සඳහා ආරම්භක ස්ථානයේ දෛනික පැමිණීම සහ පිටවීම නඩත්තු කිරීම සඳහා සියල්ලන්ට අනිවාර්යය නීතියක් පැනවීය.
Covid-19 හේතුවෙන් වසා දමා, පසුගිය අවුරුදු වලදී අත්හිටුවා තිබූ fingerprint යන්ත්‍ර භාවිතය මෙම නිළ දැන්වීමත් සමඟ නැවත ආරම්භ කිරීමෙහි අවශ්‍යතාව දක්වා ඇත.
3. සෞඛ්‍ය අධ්‍යක්ෂක මට්ටමේ විශේෂ ආදර්ශ (2023 ජූලි)
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් 2023 ජූලි 28 වන දින නිකුත් කළ වෙනත් චක්‍ර ලේඛනයක් මඟින් 2023 අගෝස්තු 1 සිට වෛද්‍ය පරිපාලන සේවය හා අනෙකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ඇඟිලි සලකුණ යන්ත්‍ර භාවිතය දිනපතා පැමිණීම සහ පිටත්වීම් සළකුණු කිරීම සඳහා අනිවාර්ය කර තිබේ.
මේ අනුව සලකා බලන විට වර්ජනයේ නියැලෙන තැපැල් සේවක වෘත්තීය සමිති දිනපතා පැමිණිම සහ පිටවීම සලකුණු කරන යන්ත්‍ර භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ කුමන සාධාරණ පදනමක් ඇතිව ද යන්න පිළිබඳව ඇත්තේ විශාල ගැටලුවකි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් Fingerprint attendance යන්ත්‍ර භාවිතය සියලු රජයේ ආයතන සඳහා අනිවාර්ය කර ඇති විටෙක තැපැල් සේවකයින්ට පමණක් එය ප්‍රතික්ෂේප කර ඊට එරෙහිව වැඩ වර්ජනය කරමින්, මහජනතාව පීඩාවට පත් කොට, ජනතාවට ලබා ගත යුතු සේවය ලබා ගැනීමට අවහිර කරන්නට ඔවුනට ඇති අයිතිය කුමක්ද යන්න රජය පමණක් නොව සමස්ත ජනතාවම ප්‍රශ්න කළ යුතුය.
රාජ්‍ය පවත්වාගෙන යාමට බදු ගෙවන්නේ ජනතාවය. ඒ වෙනුවෙන් තමන්ට ලබාගත් යුතු සේවාව ලබා ගැනීමට ඔවුන්ට අයිතියක් තිබේ. එසේම අදාළ සේවාව ලබා දීමට අදාළ රාජ්‍ය ආයතනය වගකීමේන් බැඳී සිටී. යම් රාජ්‍ය ආයතනයක් ජනතාවගේ අයිතීන් අවහිර කරයි නම් හෝ ඒවාට බාධා කරයි නම් ජනතාව අවහිර කරන්නන්ට එරෙහිව, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් නීතිය හමුවට යා යුතු කාලය දැන් පැමිණ ඇත.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-08-20 16:03:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි