~

දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්.! අධිකරණ පරිශ්‍රයේ දී පොලිසිය දේශබන්දුව "බබා හුකුන්" කරයි..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.21, ප.ව‍.11.30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්  ඊයේ(20) සවස අත්අඩංගුවට ගත් ධූරයෙන් නෙරපන ලද දේශබන්දු තෙන්නකෝන් ලබන අගොස්තු 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළා ය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම් පත ඊයේ ප්‍රතික්ෂේප කළේ ද නිලුපුලී ලංකාපුර මහේස්ත්‍රාත්වරිය විසින්ම ය. ඊයේ දේශබන්දුගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරනවාත් සමග ක්‍රියාත්මක වූ සීඅයිඩිය, ඒ වන විටත් 2021 මැයි 9 වැනිදා ගෝල්ෆේස් පිටියේ නිරායුධ අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි හිටපු නීතිපතිවරයා විසින් නම් කරන ලද දේශබන්දු සිටි නිවසටම ගොස් ඔහුව අත් අඩංගුවට ගත්තේ ය.

අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දේශබන්දු ඉදිරිපත් කරමින් සීඅයිඩිය වෙනුවෙන් නීතිපතියේ නිලධාරීන් කියා සිටියේ එදින ප්‍රහාරය ගෝල්ෆේස් ආරම්භ වට රවුම අසල දී මෙන්ම තාජ් සමුද්‍රා හෝටලය අසලදී ද එවකට කොළඹ බාර ජ්‍යෙ.නි.පොලිස්පතිවරයා වූ දේශබන්දු ක්‍රියාත්මක වී නම් නතර කර ගැනීමට හැකියාව තිබූ බවයි. ඔහු ඒ අවස්ථාවන් දෙකේ දී ම ජල ප්‍රහාරක රථ වලට තමන් කියන තුරු මැරයන්ට ජල ප්‍රහාර එල්ල නොකරන්නැයි උපදෙස් දී ඇතැයි සීඅයිඩිය අධිකරණයට දැනුම් දුන්නේ ය. එපමණක් නොව තමන්ට එවැනි උපදෙසක් දුන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ එවකට හිටපු පොලිස්පතිවරයා විසින් යැයි දේශබන්දු දුන් කට උත්තර වල තිබුනද ඉහත කී දෙදෙනාගෙන් ලබා ගත් ප්‍රකාශ වල සඳහන්ව ඇත්තේ ඔවුන් එවැනි නියෝගයක් දේශබන්දුට ලබා නොදුන් බවයි. මේ අනුව දේශබන්දු පොලිස්පතිවරයා වී සිටිය දී ප්‍රකාශ ලබා දීමට බිය වූ පොලිස් නිලධාරීන් දැන් ප්‍රකාශ ලබා දීමට කැමැත්තෙන් සිටින බැවින් දේශබන්දු නිදහසේ සිටියහොත් එකී සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කරනු ඇති බැවින් විමර්ශන අහවර වන තුරු ඔහු රිමාන්ඩ් භාරයේ තබන්නැයි සීඅයිඩිය වෙනුවෙන් නීතිපතිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 

දෙපාර්ශවයේ කරුණු වලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය දේශබන්දු ලබන අහෝස්තු 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර එදිනට පෙර විමර්ශන අහවර කරන ලෙස දැනුම් දුන්නා ය. දේශබන්දුට බන්ධනාගාරයේ දී ආරක්ෂාව තර කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ය.

අධිකරණ පරිශ්‍රයේ දී පොලිසියෙන් දේශබන්දුට විශේෂ වරප්‍රසාද..

අධිකරණයේ කටයුතු එසේ නිමා වෙද්දී ලංකා ඊ නිව්ස් වෙත තවත් වාර්තාවක් ලැබී තිබේ. ඒ නම් අපරාධයක සැකකරුවෙකු ලෙස අධිකරණයට රැගෙන ආ දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ පරිශ්‍රයේ දී අන් සැකකරුවන්ට වඩා විශේෂ සැලකිල්ලක් පොලිසියෙන් ලැබුනු බවයි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන සියලු සැකකරුවන් සාමාන්‍යයෙන් පළමුව අධිකරණ කූඩුව තුළට ගෙන යනු ලැබේ. පසුව අධිකරණ ශාලාව තුල නඩුව විභාගයට ලක්‌ වන විට එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබේ. 

නමුත් දේශබන්දුගේ අද සිද්ධියේ දී ඔහුව අධිකරණයට රැගෙන ආ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ඇතුළු කණ්ඩායම දේශබන්දුව ඒ ආකාරයෙන් කූඩුවට රැගෙන නොගොස්, ඔහුට විශේෂ වරප්‍රසාදයක් ලබා දී, අධිකරණ ශාලාවෙන් පිටත බංකුවක වාඩි කරවා තබාගෙන සිටීමට  ක්‍රියා කළහ.

“බබා හුකුන්” කරන ලද දේශබන්දු..

එලෙස “බබා හුකුන්” කරන ලද දේශබන්දුට අධිකරණ ශාලාවෙන් එළියේ සිටි කාලයේ තම නීතිඥයින් හා හිත මිතුරන් සමග සුහද සාකච්ඡා කිරීමට ද ඉඩ ලබා දී තිබුණි. එය සාමාන්‍ය සැකකරුවන්ට ලබා නොදෙන වරප්‍රසාදයක් බවත් ඒ ගැන එහි සිටි මාධ්‍යවේදීන් ද, වෙනත් නඩු සඳහා පැමිණ සිටි නීතිඥයින් ද, සාමාන්‍ය ජනතාවද අප්‍රසාදයෙන් කතා කළහ. 

සිදුවීම් එලෙස යද්දී  පස්වරු 1.45 ට, කොටුව මහේස්ත්‍රාත්වරිය උදේ නඩු කටයුතු අවසන් කර පස්වරු 2.15 ට නැවත නඩු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවට දන්වා අධිකරණ ශාලාවෙන් පිටව ගිය අවස්ථාවේදී, සීඅයිඩී නිලධාරීන් විසින් දේශබන්දු තෙන්නකෝන්ව එම අධිකරණ ශාලාව තුළට 'බබෙක් සේ' රැගෙන ගොස් සාමාන්‍ය ජනතාව වාඩි වී සිටින  ස්ථානයේ වාඩි කරවන ලදී . නමුත් සාමාන්‍යයෙන් සැකකරුවන් සාමාන්‍ය ජනතාව වාඩි වී සිටින  ස්ථානයේ වාඩි නොකරන අතර ඔවුන් අධිකරණ ශාලාවේ කූඩුව තුළ ගාල් කරනු ලැබේ. එසේ නොකිරීමට සීඅයිඩියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක  සේනාරත්න ඇතුළු කණ්ඩායම කටයුතු කළහ.

පස්වරු 2.15 ට නඩු කටයුතු ආරම්භ කිරීමට මහේස්ත්‍රාත්වරිය අධිකරණ ශාලාවට පැමිණෙන විට දේශබන්දු නැවත අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ගොස් බංකුවක වාඩි කරවා තබාගෙන පසුව දේශබන්දු ගේ නඩුව කැඳවන අවස්ථාවේදී යළි දේශබන්දු වඩම්මාගෙන අධිකරණ ශාලාවට රැගෙන ගියහ.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්නේ අවධානය යොමු විය යුතුයි..

මෙම හැසිරීමෙන් පෙනී යන්නේ CID නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ට අනෙකුත් සැකකරුවන්ට නොලැබෙන අතිරේක වරප්‍රසාද සහ සුරක්ෂිත භාවයක් ලබා දී ඇති බවයි. සිදුවීම් මෙසේ සිදුවේ නම් සීඅයිඩිය විසින් දේශබන්දුට එරෙහිව සිදු කරනු ලබන ඉදිරි විමර්ශන සහ නඩු කටයුතු වලදී නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරයි දැයි සැක සහිතය. 

මේ අසමානතාවය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ද, නව පොලිස්පතිවරයා ගේ ද, සීඅයිඩිය බාර අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ද අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරමු.

-සම්පත් දිල්ලිමුණිගේ වාර්තාවක් ද සහිතයි

---------------------------
by     (2025-08-21 19:24:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links