-LeN විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.22, ප.ව.10.15 -දෙවන සංස්කරණය ප.ව.11.00) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශය විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ලබන අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මිට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා ය.
රට බංකොලොත් භාවයට පත්ව මිනිසුන් පෝලිම් වල මිය යද්දී, එවක පිං ජනාධිපතිවරයා ලෙස මහජන මුදල් රුපියල් එක්කෝටි හැට හය ලක්ෂයකට අධික මුදලක් අවභාවිතා කරමින් දස දෙනෙකුද සමග සිය පෞද්ගලික විදේශ සංචාරයක යෙදීම සම්බන්ධයෙන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දුන් පෙර දැනුම් දීමක් අනුව ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණියේ ය.
මේ දූෂනය පිළිබඳ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ගොනුකරමින් විමර්ශන ආරම්භ කර තිබිණ. ඒ අනුව කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක යෙදුනු රනිල් වික්‍රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට ඇමරිකාවේ සිට ලන්ඩනය බලා පැමිණ තිබේ. ඒ 2023 සැප්තැම්බර් 22 සහ 23 දෙදින තුල තව 10 දෙනෙකු ද සමග ය. ඔහුගේ කියුබානු සහ ඇමරිකානු සංචාරය නිල සංචාරයක් වුව ද දෙදින ලන්ඩන් ගමන පුද්ගලික සංචාරයකි. රුපියල් එක්කෝටි හැට හය ලක්ෂයකට අධික මහජන මුදලක් ඔහු වියදම් කර තිබුනේ එකී පෞද්ගලික සංචාරයට ය.
අද රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගැනීමට පෙර රනිල්ගේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ද රනිල්ගේ දිගු කාලීන පුද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා ගෙන්ද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගනෙ තිබිණ.
රනිල්ගෙන් ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගත්තේ ය. අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදාල කුවිතාන්සිය ද රනිල්ට ලබා දුන්නේ ය. (එය මෙහි දැක්වේ) මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවකි. එනම් හිටපු ජනාධිපවරයෙකු ලංකාවේ පොලිසියක් විසින් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව වන බැවිනි. එපමණක් නොව හිටපු ජනාධිපතිවරයෙකු පොලිසියකට කැඳවා කට උත්තරයක් ගැනීම ද වාර්තාවකි. මීට පෙර මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ ඔහුගේ නිවසට පොලිසිය ගොසිනි.
අත් අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවට ඉදිරිපත් කළේ ය. එහිදී ඔහුට එරෙහිව නැගූ ප්‍රධාන චෝදනා 3 කි. ඒවා නම්,
1. 2023 සැප්තැම්බරයේ ලන්ඩන් සංචාරයේ දී රජයේ මුදල් අවභාවිතා කිරීම.
2. පුද්ගලික කාරණයක් වූ සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කිරීම.
3. ඉහත කී පුද්ගලික සංචාරය වෙනුවෙන් සිය ආරක්ෂකයන්ගේ සහ ගුවන් ගමන් සඳහා වූ වියදම රාජ්‍ය මුදල් වලින් පියවීම.
ඉහත චෝදනා තුනට අදාලව රනිල් සිදුකළ අපරාධය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු හෙළි කළ අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 33 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ සැකකරුවකු ලෙස නම්කරමින් අත්අඩංගුවට ගත් බවයි. රනිල්ට එරෙහිව චෝදනා ගොනු කරන්නේ පොදු දේපොල පනත යටතේ බව ද දිලීප පීරිස් අධිකරණය දන්වා සිටියේ ය. ඒ අනුව මෙම රු. එක්කෝටි 66 ලක්ෂයක මහජන මුදල වියදම් කළ සංචාරය පිළිබඳ කලින් සඳහන් කර ඇත්තේ පෞද්ගලික සංචාරයක් ලෙස නමුත් පසුව එය නිල සංචාරයක් ලෙස ලේඛන වෙනස් කර ඇතැයි විමර්ශන වල දී හෙළි වූ බවයි. නිල සංචාරයක් ලෙස ලේඛන වෙනස් කර ඇත්තේ සංචාරය නිමා වී ලංකාවට පැමිණි පසුවය. රට බංකොලොත් කළ බවට සහ ඊට වගකිවයුත්තන් කවුද යන්න පිළිබඳ නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අතරේ දී රනිල් මෙලෙස මහජන මුදල් වියදම් කරමින් පෞද්ගලික සංචාරය කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ අවධානය යොමු කෙළේ ය.
දිලීප පීරිස් මෙසේ ද කීවේය. "ස්වාමීනි, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස 2023.09.13 සිට 20 දක්වා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක යෙදී තිබෙනවා. ඉන් අනතුරුව 22වන දින එංගලන්තයේ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවී තිබෙනවා. ඒ වික්‍රමසිංහ මැතිණියට ගෞරව උපාධියක් ලැබීමේ අවස්ථාවකටයි. මෙම ප්‍රශ්නගත සංචාරය සඳහා ජනාධිපති කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගීවී තිබෙනවා. එහිදී දින දෙකක කාලයක් තුළ වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 166ක්. එහිදී එම මුදල ගෙවීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 133ක් සහ පොලිසිය සහා නාවික හමුදාව එක්ව රුපියල් ලක්ෂ 32කට වැඩි මුදලක් වශයෙන්. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි 2023 අගෝස්තු 16 වනදා තමයි මෙම සංචාරයට අදාළ පළමු ලේඛනය අපට හමුවන්නේ. එහි සඳහන්වන්නේ මෙය පෞද්ගලික සංචාරයක් කියලා. නමුත් 9වන මස 7 වනදා වෙද්දි එකී පෞද්ගලික සංචාරය කියන එක නිකම්ම නිකන් විසිට් එකක් බවට පත්වෙනවා. මේ සංචාරය ගිහින් ආවට පස්සේ මෙම ලේඛනවල සඳහන්වෙන්නේ එය නිල සංචාරයක් කියලා. කවුද මේවා සංශෝධනය කළේ කියන එක බරපතළ ප්‍රශ්නයක්.අපි මෙම සැකකරුගේ එවකට පෞද්ගලික ලේකම්වරියව සිටි සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රශ්න කරපුවම ඇය කිව්වා, පළමුව තමන් සිතාගෙන සිටියේත් මෙය පුද්ගලික සංචාරයක් කියලා නමුත් පසුව ජනාධිපතිවරයා ලෙස සැකකරු කිව්වා එය පෞද්ගලික සංචාරයක් නොවේ කියලා. මේ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු කිව්වේ ජනාධිපතිවරයා සාමාන්‍යෙයන් දුර ගමන් යද්දි, ඩුබායි, දෝහා වගේ රටවල්වලට යද්දි එක් දිනයක් විවේකීව ගතකරනවා, එම විවේකී දිනය ලෙස ලන්ඩනය තෝරාගෙන ඇති බව සිතා තමන් මුදල් අනුමත කළා කියලා.මෙම ප්‍රශ්නගත සංචාරයට සැකකරුට ආරාධනා ලැබී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින්, මෙය නිල සංචාරයක් බවට පත්වන්න නම් අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් මේ සදහා ආරාධනාව ලැබිය යුතුය.ප්‍රශ්නගත සංචාරය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කළාම ඔහු කියනවා නිල සහ පෞද්ගලික කියලා දෙවර්ගයක් නැහැ ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා."
මෙම සංචාරයේදී වියදම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන්ද දිලීප පීරිස් අධිකරණය ඉදිරියේ පැහැදිලි කිරීමක් සිදු කළේය.
''ස්වාමිනි මේ කියන වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය තිබෙන්නේ ලන්ඩනයේ සිට කිලෝමීටර් 206ක වගේ දුරකින් එහෙම තිබෙද්දිත් ස්වාමිනී ඔහු නැවතී ඉඳලා තිබෙන්නේ ලන්ඩනයේ තිබෙන ලෑන්ඩ් මාර්ක් කියන සුඛෝපභෝගී හෝටලයේ ස්විට් එකක එතන ඉඳලා ස්වාමිනී ඔය කියන විශ්ව විද්‍යාලයට යන්නයි එන්නයි කිලෝමීටර් 400 ක් පමණ තිබෙනවා. පස්සේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය අසලත් විනාඩි 5ක වගේ දුරකින් කාමර දෙකක් වෙන් කරලා තිබෙනවා.මෙහිදී සිදුකර තිබෙන වියදම් දෙස අවධානය යොමු කළොත් වාහන කුලීවලට ලක්ෂ 45ක්, ආහාරපාන සඳහා ලක්ෂ 3ක් නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුතන්ගේ පරිහරණය සඳහා ලක්ෂ 27ක් වගේ වියදම් සිදුකරලා තිබෙනවා. ස්වාමිනී මේ වියදම් සිදුකරලා තිබෙන්නේ මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රට බංකොලොත්වීම සම්බන්ධයෙන් නඩු යන්නාවූ කාලය තුළයි. හරියටම කියනවනම් මේ කාලයේ මට බංග්ලාදේශයේ රාජකාරී ගමනක් යන්න සිදුවෙලා ඩොලර් 75ක් සොයාගන්නත් බොහෝ වෙහෙසුණා. මේ සංචාරයට ජනාධිපතිවරයා සමග එක් වූ පොලිස් නිලධාරියෙකුගේන සිදුකරපු ප්‍රශ්න කිරීමකදී ඔහු කියනවා ජනාධිපතිවරයා ලෑන්ඩ්මාර්ක් හෝටලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට යනවා හැරෙන්නට වෙනත් කිසිඳු අවස්ථාවක එලියට ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලියි මේ කාලවකවානුව තුළ ජනාධිපතිවරයා කිසිදු ආකාරයක රාජ්‍ය නායකයෙකු හමුවකටවත් සම්බන්ධවුණේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්. මේක ස්වාමීනි හරියට දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලක් ජීවත්වෙන්න කැටයකට මුදල් එකතු කරලා අනිත් සාමාජිකයන්ට නොදී කැටේ මුදල් අරගෙන තනියම ගිහින් කෑවා බිව්වා වගේ වැඩක්.''
රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර ඇති බැවින් ඇප ලබාදීමට ප්‍රබල ලෙස විරුද්ධවන බව දිලීප පීරිස් ප්‍රකාශ කළේය.
''ස්වාමිනි මේ නඩුවේ විමර්ශන තවදුරටත් අවසන් නැහැ. තව සැකකරුවන් අත්අඩංගුවට ගන්න තිබෙනවා. විශේෂිතම කෙනෙක් තමයි ජනාධිපති ලේකම් ලෙස හිටපු සමන් ඒකනායක මහතා. මේ හිටපු ජනාධිපතිවරයාට නඩු පවරා තිබෙන්නේ පොදු දේපළ පනත යටතේයි. ඒ කියන්නේ ඇප ලබාගන්න සුවිශේෂී කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන්න ඕනේ. යුක්තියේ දෙවඟනගේ දෑස් වසා සිටිනවා වගේම කිසිදු සැකකරුවකුගේ තරාතිරම බලන්නේ නැතුව නඩුවට ඉදිරිපත්වී ඇති සාක්ෂි හා කරුණු මත පමණක් පදනම්ව ඔබතුමියගේ තීරණ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ''
රනිල්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ රනිල්ගේ නීතිඥ අනුජ ප්‍රේමරත්න ය. ඔහු ගේ ප්‍රධානතම තර්කය වූයේ මෙම ගණු දෙනුව සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් නොමැති බවයි. ඉන් අනතුරුව ඇප ඉල්ලීමට කන්කෙඳිරි ගෑ නීතිඥවරයා, රනිල් වයස 76 ක පුද්ගලයෙක් බව්ත්, ඔහු අධික රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් ඇතුළු රෝගාබාධ වලින් පෙලෙන රෝගියෙක් බවත්, ඔහුගේ බිරිඳ පිලිකා රෝගයෙන් සහ ආතරයිටීස් රෝගයෙන් පෙලෙන්නියක් බවත්, ඇයව බලා කියා ගන්නා එකම පුද්ගලයා රනිල් බවත්, ඔවුන්ට දරුවන් නොමැති අතර තනියම ජීවත් වන බවත් ආදී වශයෙන් දුක් ගැනවිලි ගණනාවක් ද අධිකරණය ඉදිරියේ කියා සිටියේ ය. බන්ධනාගාරය යනු හිටපු ජනාධිපති කෙනෙක්ට ආරක්ෂාවක් තිබෙන තැනක් නොවන බවද ඇප දීමට කාරණයක් ලෙස රනිල්ගේ නීතිඥවරයා ප්‍රකාශ කිරීම බහුබූත ම තර්කය විය.
අනුජ ප්‍රේමරත්නගේ විගණකාධිපති වාර්තාව පිළිබඳ තර්කය සම්බන්ධයෙන් යළි දිලීප පීරිස් කරුණු ගෙන හැර පෑවේ ය. ඒ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඒ සම්බන්ධයෙන් දිලීප පීරිස්ගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ දී ය.
පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ එම විගණන වාර්තාව පොදුවේ වර්ෂයකට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් වන අතර නිශ්චිත කරුණට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් නොවන බවය. තමන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තරයේ සිදු කරන ලද විගණන වාර්තාවක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැය භාගයකට අධිකරණ කටයුතු කල් තැබිණ. ඒ අතරේ දී අධිකරණ පරිශ්‍රයේ විදුලිය විසන්ධි වීමක් සිදුවූ අතර මහේස්ත්‍රාත්වරිය අධිකරණ කටයුතු තවත් පැය භාගයකට කල්තැබිණ. ඒ අතරවාරයේ දී විදුලි බල මණ්ඩලයෙන් පැමිණ විදුලිය විසන්ධිවීම යළි ප්‍රතිස්ථාපනය කෙළේ ය. (විදුලිය විසන්ධිවීම සහ විදුලි බල මණ්ඩලය පැමිණීම මෙහි සේයාරූ වල දැක්වේ)
අනතුරුව යලි අධිකරණ කටයුතු ආරම්භ වූ අතර දිගු වේලාවකට පසු මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රනිල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත සංචාරය පෞද්ගලික සංචාරයක් බව පෙනී යන බවය. එමෙන්ම එම සංචාරය සඳහා සැකකරු රජයේ මුදල් භාවිත කළ බව සැකකාර පාර්ශවයේ නීතිඥවරු ප්‍රතික්ෂේප කර නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක ඇප ප්‍රදානය කළ හැක්කේ අසාමාන්‍ය කරුණු අනාවරණය වන අවස්ථාවක පමණක් බවත් එහෙත් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු තුළ අසාමාන්‍ය කරුණු අනාවරණය නොවන බැවින් මොහුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.
අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ ලබන අගොස්තු 26 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ය.
පසුව වාර්තා වන අන්දමට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය වාර්තා අනුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ. අනීතිකව බන්ධනාගාර රෝහලේ ද තබා ගැනීමේ හැකියාවක් නැත්තේ බන්ධනාගාර රෝහලේ හිටපු අධ්‍යක්ෂක ද අනීතිකව ක්‍රියා කිරීම හේතුවෙන් මේ වන විට ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතව බැවිනි.
රනිල් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී පසුගිය මැතිවරණ වලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හිටපු දූෂිත දේශපාලුවන් ගණනාවක් ද අධිකරණ භූමියට පැමිණ සිටිය හ. ඒ අතර දිනේෂ් ගුණවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, රුවන් විජේවර්ධන, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග ආදී කුජීතකයන් පිරිසක් ද සිටිය හ.
පොදු දේපොල පනත යටතේ රනිල් වික්‍රමසිංහට බන්ධනාගාර ගත වීම, කළ කම් අමු අමුවේ පල දීමකි. මන්ද යත් අරගලය නිසාම පිං ජනාධිපති වූ රනිල් ඉන් අනතුරුව අරගලයට සම්බන්ධ වූ තරුණ තරුණියන් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන නඩු පවරන ලද්දේ පොදු දේපොල පනත යටතේ බැවිනි. එකී තරුණයින්ට අද දක්වාම පොදු දේපොල පනත යටතේ නඩු පැවරීම නිසා අනේක විධ කම්කටොලු වලට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව රනිල්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දී තිබේ.
කෙසේ වෙතත් අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහට එරෙහි මෙම නඩුව 'ට්‍රේලරය' පමණක් වන අතර 'චිත්‍රපටිය' පෙන්වනු ලබන්නේ පසුව බවයි. බිහිසුනු දර්ශන ඇතුලත් එම චිත්‍රපටය නම් 'බටලන්ද වධකයෙකුගේ කතාව' යි.
(රනිල් වික්‍රමසිංහ අද උසාවි භූමියට ගෙන ආ අවස්ථාව, අත් අඩංගුවට ගනිද්දී නිකුත් කළ රිසිට් පත, අධිකරණයේ විදුලිය විසන්ධි වූ අවස්ථාව, රනිල් සහ මෛත්‍රීපාල අධිකරණයේ අසුන්ගෙන සිටි අවස්ථාව, රනිල් රැගෙන යාමට බන්ධනාගාර බස් රිය පැමිණි අවස්ථාව, රනිල් මාංචු සහිතව බන්ධනාගාර බස් රිය තුල, මෙහි සේයාරූ වල දැක්වේ)
---------------------------
by (2025-08-22 22:32:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි