-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.24, ප.ව.8.45) ලංකාවේ හිටපු 8 වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අගෝස්තු 22 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ය.
රනිල් වික්‍රමසිංහ මෙසේ අත්අඩංගුවට ,ගෙන එදිනම අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ, රජයේ මුදලින් සිදු කළ පුද්ගලික විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අනුව ය. අධිකරණය ඔහුව ලබන 26 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. මේ වන විට ඔහු සිටින්නේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් ය.
මෙම සිදුවීම ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙන්ම අධිකරණ ඉතිහාසයේත් සුවිශේෂී සිදුවීමක් බව අවිවාදිත ය. මෙම සිදුවීම සම්බන්ධව මේ වන විට ලාංකික ජන සමාජය තුළ විසංවාදයක් මතු වී ඇත. මෙම ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරන පිරිසක් හා එයට අප්‍රසාදය පළ කරන පිරිසක් ලෙස දෙපිරිසක් සිටිති.
මෙම ක්‍රියාවලිය පැසසුමට ලක් කරන්නන් ගේ ප්‍රධාන අදහස වන්නේ, තරාතිරම නොබලා නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කිරීම රටකට අත්‍යාවශ්‍ය බවය. අප්‍රසාදය පළ කරන්නන් ඊට විවිධ හේතු ගෙන හැර දක්වති. ඇතැමුන්ට අනුව මෙය දේශපාලන පළිගැනීමකි. ඇතැමුන් කියන්නේ, නීතිය ක්‍රියාත්මක කළ යුතු වුවත්, හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව මේ තරම් දරුණු ලෙස නීතිය ක්‍රියාවේ නො යෙදිය යුතු බව ය. තවත් සමහරු කියන්නේ මීට වඩා දරුණු ඝනයේ වැරැදි මොහු කර තිබිය දී ත් මෙවැනි කුඩා කරුණක් අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට යෑම වැරැදි බව ය.
කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා ඇතැමුන් සතුටු වෙති. ඇතැමුන් හඬති; දෙස් දෙවොල් දෙති; විලාප දෙති.
අද වන විට, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සජබය නොමැතිව අනෙක් බොහෝ පක්ෂ එකට එකතුවී " ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු " යනුවෙන් සඳහන් සටන්පාඨයක් ඔස්සේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් ද ආරම්භ කොට තිබේ.
මේ සටහන ලියන්නට මා පෙළඹුණේ ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති මේ සංදර්භය දුටු විටය. මා දැනට ජීවත්වන ප්‍රංශයේ, හිටපු ජනාධිපතිවරුන්ට මේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක වූ සහ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය ගැන ඉතා ලුහුඬින් තොරතුරු ස්වල්පයක් ලාංකාවේ ජීවත් වන ජනතාව හමුවේ ගෙන හැර දැක්වීමට මෙය කදිම අවස්ථාවක් යැයි මම සිතමි.
පළමුවෙන් ම කිව යුතු කාරණය වන්නේ, ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරු කිහිප දෙනෙකුම මේ වන විට අධිකරණය හමුවේ වැරදිකරුවන් වී තිබෙනවා පමණක් නොව දඬුවම් ද ලබා ඇති බව ය.
1981 සිට 1995 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රංශුවා මිතෙරෝන් (François Mitterrand) ය. මිතෙරෝන් වාමාංශය නියෝජනය කළ නායකයෙකි. ඔහුගේ නම දූෂණ චෝදනා කීපයක් සමඟ සම්බන්ධ විය. ඒවා අතර, නවසීලන්තයේ ඕක්ලන්ඩ් වරායේ තිබූ Rainbow Warrior නමැති නැවට 1985 දී බෝම්බ අටවා එය පුපුරා විනාශ කිරීම බරපතල චෝදනාවක් ය. මෙම පුපුරුවා හැරීම සිදු කර ඇත්තේ ප්‍රංශුවා මිතෙරෝන් ජනාධිපතිවරයාගේ විධානය යටතේ සිදු කළ CIA පන්නයේ රහස් මෙහෙයුමකින් බව පසුව හෙළි විය.
60 දශකයේ සිට ප්‍රංශය, නවීන ආයුධ පිළිබඳ පරීක්ෂණ සිදු කළ අතර, ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ, ඔවුන් යටතේ පාලනය කරමින් තිබුණු ප්‍රංශ පොලිනීසියාව (French Polynesian) යන දූපත් කලාපය ය. මෙම ස්ථානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම්, වායුගෝලීය පීඩන පරීක්ෂණය වැනි බොහෝ දෑ සිදු කළේය. මේ නිසා පරිසරයට සේම ජනතාවගේ සෞඛ්‍යයටත් බලපෑම් ඇති වෙන බව බොහෝ ගවේෂණ වලින් පෙන්වා දුන්නේ ය.
Greenpeace නමැති පරිසර සංවිධානය, ප්‍රංශය විසින් සිදු කරන මෙම පරීක්ෂන වලට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ඒ සඳහා ඔවුන් Rainbow Warrior නමැති නෞකාව භාවිතා කළේය. 1985 ජුලි මාසය වන විට මේ නැව නවතා තිබුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වරායේ ය. ප්‍රංශුවා මිතෙරෝන්ගේ විධානයකට අනුව පුපුරුවා හරින්නේ මෙම නැව ය.
ප්‍රංශුවා මිතෙරෝන් ජනාධිපති ධුරයේ සිටි නිසා මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පුද්ගලිකව නඩු ගොනු වුණේ නැතත්, එම පුපුරුවා හැරීමට සහභාගී වුණු ප්‍රංශ නාවුක හමුදා නිලධාරියෙකු වූ Alain Mafart ට සහ ගුවන් හමුදා නිලධාරිනියක් වූ Dominique Prieur ට එරෙහිව නවසීලන්ත අධිකරණයේ නඩුවක් පවරා ඔවුන් දෙදෙනාට වසර 10 බැගින් සිරදඬුවම් නියම කළේය.
මිතෙරෝන් ජනාධිපතිට එරෙහි අනෙක් බරපතල චෝදනාව වූයේ 1983 - 1986 අතර කාලය තුළ නීති විරෝධී ලෙස රහසින් දුරකථන ඇමතුම් සවන් දීම සඳහා ජාලයක් ජනාධිපති නිල මැදුරේ පවත්වාගෙන යෑම ය. තමන්ට එරෙහි දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් සහ අධිකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලයන් තුන්සීයකට අධික පිරිසකගේ දුරකථන ඇමතුම් වලට මෙසේ රහසේ සවන් දී ඇති බව පසුව හෙළි විය.
ඒ වන විට ප්‍රංශුවා මිතෙරෝන් ජනාධිපති ධුරයේ සිටි නිසා ඔහුට එරෙහිව පුද්ගලිකව නඩු ගොනු වුණේ නැතත්, ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ජනරාල් ක්‍රිස්ටියන් පියොන් සහ ජෝස් මාර්ෂෝන් නමැති නිලධාරීන් දෙදෙනාට එරෙහිව පැවැති නඩු විභාගයෙන් පසු ඔවුන්ට සිර ඳඩුවම් විඳින්නට සිදු විය.
මිතෙරෝන් ගේ ජනාධිපති ධූර කාලය 1995 මැයි මස අවසන් විය. ජනාධිපතිව සිටියදී නීතිමය ආරක්ෂාව තිබුණද, ධූරයෙන් බැහැර වූ පසු ඔහුට නීතිමය ආරක්ෂාවක් තිබුණේ නැත. නමුත් ඔහු ජනාධිපති ධූරයෙන් බැහැර වන විට ඔහු සිටියේ දැඩි රෝගී තත්ත්වයක ය. 1996 ජනවාරි ඔහු මිය ගියේ ය. ඒ වන විට ගෙවී තිබුණේ කෙටි කාලයක් නිසා ඔහුට එරෙහිව නඩු ගොනු කිරීමට ප්‍රමාණවත් කාලයක් නො වීය.
ඊලඟට 1995–2007 දක්වා කාලයේ ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූයේ ජැක් ශිරාක් (Jacques Chirac) ය. ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු ඔහුට අධිකරණය හමුවේ නඩුවක් පැවරුවේය. ඒ 1977 - 1995 කාලය තුළ ඔහු පැරීසියේ නගරාධිපති ලෙස සිටියදී සිදු කළ දූෂණයකට එරෙහිව ය.
නඩුව ගොනු කොට තිබුණේ රැකියාවක් නොකර, රැකියාවක් කළ බවට නගර සභාවේ මුදල් ගෙවා තිබීමට එරෙහිව ය. එය රාජ්‍ය මුදල් දුෂණය කිරීමක් බව අධිකරණය විසින් තීරණය කළේය. 2011 දී ඔහුට වසර දෙකක අත්හිට වූ සිරදඬුවම් නියම විය. එසේ සිදු වූයේ සහනයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි නිසාය.
2007–2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධූරයේ සිටියේ නිකොලා සර්කොසි (Nicolas Sarkozy) ය. ඔහුටත් අධිකරණය හමුවේ නඩු කීපයක් පවරා ඇත..
සාර්කෝසිට එල්ල වූ එක් චෝදනාවක් වන්නේ 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා ගැනීම සඳහා ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි සමඟ දූෂිත ගනුදෙනුවක් සිදු කිරීම පිළිබඳවය.
නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් ලබා ගැනීමේ චෝදනාව මත මාර්තු 27 දා හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසිට වසර හතක සිර දඬුවමක් නියම කරන ලෙස නඩු පවරන්නන් විසින් අධිකරණයෙන් ඉල්ලනු ලැබීය. ඊට අමතරව යුරෝ 300,000 ක දඩයක් සහ වසර පහක තහනමක් ද නඩු පවරන්නන් ඉල්ලා ඇත. මේ සඳහා අධිකරණයේ විනිශ්චය මේ වසරේ දී ලබාදීමට නියමිතව ඇත.
2012 මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට අදහස් කරන ලද යුරෝ මිලියන ගණනක් හරවා යැවීම සහ එය වසන් කිරීම සඳහා මහජන සම්බන්ධතා සමාගමක් කුලියට ගැනීම පිළිබඳ තවත් චෝදනාවක් හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසිට එල්ල විය. 2021 සැප්තැම්බර් 30 වන දින, සාකෝසි සහ ඔහුගේ සම-විත්තිකරුවන් මෙම දූෂණ නඩු විභාගය අවසානයේ වරදකරුවන් බවට පත් විය. හිටපු ජනාධිපති මෙම වරද පිළිගැනීම නිසා, ඔහුට වසරක සිර දඬුවමක් නියම විය. නමුත් ඔහුට විද්‍යුත් බ්‍රේස්ලට් එකක් සමඟ නිවාස අඩස්සියේ මෙම දඬුවම විඳීමට අවස්ථාව ලබා දුන්නේ ය.
නිකොලා සාර්කෝසිගේ 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරයට ලිබියාවෙන් මුදල් ලබා දුන් බවට සැක කෙරෙන විමර්ශනයේ කොටසක් ලෙස සිදු කරන ලද අධිකරණ දුරකථනවලට සවන්දීමේ වරදට ද 2014 දී නඩුවක් පැවරීය. වසර දහයක නඩු විභාගයකින් පසු, නිකොලස් සාර්කෝසි, ඔහුගේ නීතිඥ තියරි හර්සොග් සහ ගිල්බට් ඇසිබර්ට් යන තිදෙනාටම 2024 දී දඬුවම් නියම විය.
දඬුවම් ලෙස හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසිට වසර 3 ක සිරදඬුවමක් පැනවීය. ඉන් දෙකක් අත්හිටුවන ලද අතර, එකක් ඔහුගේ චලනයන් නිරීක්ෂණය කිරීමට ඉඩ සැලසෙන පරිදි විද්‍යුත් ටැගයක් සහිතව ඔහුව නිවාස අඩස්සියේ රඳවා තැබී ය.
ඉහතින් නම් සඳහන් කළ ප්‍රංශයේ සිටි ජනාධිපතිවරු තිදෙනාම, ප්‍රංශයේ දියුණුව උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටු කළ නායකයන් බව අවිවාදිතය. එසේම ඒ තිදෙනාම දේශපාලන වශයෙන් ගත් විට වම සහ දකුණු නියෝජනය කළ දේශපාලඥයන්ය.
ජනාධිපති ධූරයේ වගකීම නිමා වූ පසු ඔවුන් කර ඇති දූෂිත ක්‍රියාවන්ට එරෙහිව රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය. එසේ නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව එම ජනාධිපතිවරු නියෝජනය කළ දේශපාලන පක්ෂවල සිටි මැති ඇමතිවරු හෝ එම පක්ෂ වල සාමාජිකයෝ හෝ උද්ඝෝෂණ සංවිධානය කිරීමටවත්, රැස්වීම් පැවැත්වීමටවත් කිසිවිටෙක ක්‍රියා කළේ නැත.
දඬුවම් ලබාදීම ගැන ජනමාධ්‍ය ඔස්සේ අනෙකුත් දේශපාලන පක්ෂවලට බැණ වදින, දෙස් දෙවොල් දෙන ක්‍රියා පිළිවෙත් අනුගමනය කළේ නැත. අධිකරණ තීරණය දේශපාලන පිළිගැනීමක් ලෙසට විග්‍රහ කිරීමට හෝ දඬුවම් ලැබූ ජනාධිපතිවරුන් සිදු කළ සේවය ගැන සලකා බලා ඇති දඬුවම ගැන දෙස් දෙවොල් තිබ්බේ හෝ නැත.
අනෙක් අතට, ආණ්ඩු කිරීමේ සහ අධිකරණ තීන්දු, අධිකරණය විසින් ප්‍රකාශ කිරීමටත් පෙර ප්‍රකාශ කිරීමේ පශ්චාත්භාගයේ රුදාවෙන් දඟලන ගොන් තකතීරු සමාජ මාධ්‍ය පිස්සන් ද ප්‍රංශ ජාතිකයන් අතර සිටියේ නැත. එසේම එවැනි පිස්සන්ගේ වාචාල බෙරිහන් දීම් කට ඇරගෙන බලා සිටින්නට තරම් මෝඩ චූන් ගන්නා ප්‍රංශය ජාතික ජනතාවක් ද මෙහි නැත.
ආණ්ඩු හදන්නත් ඒ ආණ්ඩු වැරැදි නම් ඒවා පළවා හැර වෙනත් ආණ්ඩු ගොඩනඟා ගන්නටත් ජනතාව සහභාගී වන නමුත්, නීති විරෝධී ක්‍රියා කළ කිසිවකු ආරක්ෂා කිරීමට ඔවුන් තමන්ගේ එක වචනයකින් හෝ පාවිච්චි නො කරති. නීතිය සැමට සමාන විය යුතු බව රටේ සමස්ත ජනතාවගේ දැනුවත් අපේක්ෂාවයි. ලංකාවේ ජීවත්වන ජනතාවත් යම් දිනක මෙවැනි උසස් මට්ටමකට ළඟා වුවහොත්, එදාට ලංකාවේ නිදහස් පුරවැසියකු බිහි වී ඇතැයි යන සතුට අපට විඳිය හැකි වනු ඇත.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-08-24 15:33:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි