-ජේ.ආර්. ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.24, ප.ව.9.30) “හොරු ඇල්ලීම” නම් සමාජ-දේශපාලන ස්ලෝගන් එකක් ලංකාවේ කලක සිට ජනප්‍රිය විය. මේ අතර, ලංකාවේ දේශපාලනයේ මෙතෙක් සිදු නොවු අනපේක්ෂිත සිදුවීමක් අගෝස්තු 22 වන දා රාත්‍රීයේ සිදු විය. එනම්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතයේ ඉලක්කයක් විය. මේ ආණ්ඩුව විසින් රනිල් වික්‍රමසිංහව කිසිම අවස්ථාවක අත් අඩංගුවට නොගන්නේ යැයි මතයක් ද පල වෙමින් තිබිණි. කෙසේ වෙතත් කවුරුන් හෝ විසින් රනිල් වික්‍රමසිංහ අත් අඩංගුව ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිට ඇත. දැන් එය ප්‍රායෝගීකව ඉටු වී ඇත. අප මේ ලිපිය ලියන මොහොතේ, අත්අඩංගුවට පත් රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව වාර්තාවේ, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
රනිල් වික්‍රමසිංහගේ මෙම අනපේක්ෂිත අත්අඩංගුවට පත් වීම, එක් අතකින්, තොරතුරු පිපාසාවෙන් සිටි සමාජ මාධ්‍යට විවිධාකාරයේ නිවුස් මැවිය හැකි අවස්ථාවක් විය. අනිත් අතට, දේශපාලනිකව අනාථ වී සිටි විපක්ෂයට ඉන් අවදිවීමට අවස්ථාවක් ද ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහ බැලීමට ගොස් එන විපක්ෂ දේශපාලකයින් පසු පස පන්න පන්නා වොයිස් කට් ඉල්ලන මාධවේදීන් පොරකන බව සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි. රනිල් වික්‍රමසිංහ බැලීමට ගොස් අපසු යමින් සිටි මහින්ද රාජපක්ෂ කීවේ ‘මේ සුලු දෙයකට නේ අත්අඩංගුවට අරන් තියෙන්නේ, දේශපාලනය කරනවා නම් මේවා බලාපොරොත්තු විය යුතු’ බවයි, එය මහින්ද සුලඟ සිහි ගන්වන කථාවක් විය. කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත් විය. ලංකාවේ දේශපාලකයින්ගේ ශබ්ද කෝෂයට අනුව එය අනාගතය සඳහා වු “ නරක පුර්වා දර්ශයකි” එහෙමත් නැත්තං “දේශපාලන පලි ගැනීමකි”. මේ තත්වය හමුවේ ආණ්ඩුවට දැන් තිබෙන අභියෝගය වන්නේ මේ තත්වය කලමනාකරණය කරන්නේ කෙසේද යන්නයි.
රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට පත් වන්නේ, ලංකාවේ දේශපාලනයට අනුව නම්, ඉතාම සරල පොදු නීතිමය සිද්ධාන්තයකටයි. එනම් “පොදු දේපොල අවභාවිතා කිරීම” යන කාරනාවටයි. මෙය ඕනැම සමාජ-දේශපාලන තත්වයක් යටතේ විග්‍රහ කළ හැකි අතර ඊට ඕනැ තරම් නීති-රීති ද ගොඩනැගිය හැකි විෂයකි. ලංකාවේ රාජ්‍යයේ ඉතාම පහල නිලධාරීයාගේ සිට ජනාධිපතිවරයා දක්වා පොදු දේපොල භාවිතා කරති. මේ තුල සිදු වන අවභාවිතය විවිධාකාරය, එමෙන්ම සංකීර්ණය. ලංකාවේ මහජන ඡන්දයෙන් දේශපාලකයෙකු වීම කප් රුක පහල වීමකි. දේශපාලකයාට ගනිකාවකගේ සේවයට ද, විස්කි වීදුරුවට ද මුදල් ලැබෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්ය. ඕනැම තරාතිරමකම දේශපාලකයෙකු වීමම පොදු දේපොල භාවිතයට මෙන්ම අවභාවිතයට හුරුවීමකි, ඒ මත යැපීමකි. කෙසේ වෙතත් “පොදු දේපොල අවභාවිතය” පාලනය කිරීම අප වැනි රටක අත්‍යාවශ්‍ය සමාජ-දේශපාලන කාරනයකි, වැලැක්විය යුතුම අපරාධයකි. පසුගිය ආණ්ඩුවල දේශපාලකයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධව නීතිමය ක්‍රියාදාමයන් මේ වන විට ක්‍රියාත්මක වන බව දැකිය හැක. ඔවුන්ට ඇති ඇතැම් චෝදනා ඉතාම අපුල දනවන සුලුය.
1977 න් පසු බිහි වු සෑම දේශපාලන පක්ෂයකටම ඒවාට නායකත්වය දුන් ජනාධිපතිවරයෙකුටම රට තුල ශිෂ්ට සම්පන්න සමාජ-දේශපාලන සංස්කෘතියක් සහ ඵලදායි ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීමට හැකියාව තිබිනි. නමුත්, කිසිම දේශපාලකයෙකු ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. ලංකාවේ සමාජ-දේශපාලනය “පාදඩකරණය”ට ලක් වු යේ ජේ.ආර්.ජයවර්ධනගේ කාලයේ සිටය. එතැන් සිට, අද දක්වා මේ පාදඩ දේශපාලන ක්‍රමය විවිධ දේශපාලන බල මුලු යටතේ සක්‍රීයව ක්‍රියාත්මක වේ. දීර්ඝ දේශපාලන ගමනක අවසානය ලං වත්ම, අද, වසර 48 කට පසු රනිල් වික්‍රමසිංහ සිරගත වන්නේ ද එදා රටේ පැලපදියම් වු මේ “සමාජ-දේශපාලන පාදඩකරණය” නිසාය. මේ පාදඩකරණය තුල බිහි වන්නේ “පාදඩ දේශපාලකයින්” මිස දියුණු මනුෂ්‍ය ආකල්පයකින් පිරිපුන් නායකයින් නොවේ. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය බොහෝ විට රැඳී තිබුනේ ඔහු වටා සිටි පිරිසක් ඔහු ආරක්ෂා කළ නිසාත්, රනිල් ඔවුන්ව ආරක්ෂා කළ නිසාත්ය. ලංකාවේ දේශපාලනයේ රනිල් වික්‍රමසිංහ ප්‍රචලිත වුයේ දේශපාලන “ප්‍රාඥයෙකු” ලෙසයි. මෑතක දී ඔහු ජනප්‍රිය වුයේ “රට බේරාගත් නායකයා” ලෙසයි. අනිත් අතට, තමන් දේශපාලන “ගේම්” කාරයෙක්ය යන ලේබලය වෙනස් කිරීමට ද රනිල්ට අවශ්‍ය වු බවක් පෙනෙන්නට නොතිබිණි.
රනිල් වික්‍රමසිංහ, අවිවාදයෙන්ම ලංකාවේ දේශපාලනයේ සුවිශේෂි සලකුනකි, එය ගොඩ නැගෙන්නේ ඔහුගේ දේශපාලන “පෞර්ෂය” සහ “භාවිතය” නිසාය. ඔහු කිසි සේත්ම මේ මොහොතේ ඔහු සිටින තත්වයේ සිටිය යුතු කෙනෙක් නොවේ. ඒත්, ඒ තත්වයට ඔහු පත් වුවේ ඇයි? ඒ අන් කාරනයක් නිසා නොව, තමන්ට අවස්ථාව ලැබුන වේලාවේ රනිල් තමන්ගේ මුතුන් මිත්තන් රටේ පැල පදියම් කළ පාදඩ සමාජ-දේශපාලනය වෙනස් කළේ නැති නිසා ය. ජේ.ආර්. ජයවර්ධන මේ මහ පොලවේ පැල පදියම් කළ අශිෂ්ට දේශපාලනයට ඔහුගේ සියලුම අනුගාමිකයින් සාහසික ලෙස ගොදුරු විය. එහි අවසානය රනිල් වික්‍රමසිංහ විය. රනිල් වික්‍රමසිංහ “පොදු දේපොල” අවභාවිතා කළා යැයි සිරගත කිරිමෙන් ලංකාවේ පාදඩ-සමාජ දේශපාලනය ශූන්‍ය වන්නේද? - කිසිසේත්ම නැත. රනිල් වික්‍රමසිංහ සැබැවින්ම දේශපාලනයේ ප්‍රාඥයෙකු නොවේ, ලංකාවේ වැඩිම දේශපාලන අවස්ථා ලැබු දේශපාලකයා ඔහු වුවද, එයින් ඔහු රට තුල ශිෂ්ට සම්පන්න සමාජ-දේශපාලන පරිසරයක් නිර්මාණය කිරිමට දායක වුයේ නැත, ඊට නායකත්වය දුන්නේ නැත. මේ පවතින පාදඩ සමාජ-දේශපාලනය තුල, ඔහුට හෙට ද අවස්ථාවක් ලැබිය හැක. එහෙත්, රනිල් තමන්ට සුපුරුදු දේශපාලන “පෞර්ෂය සහ භාවිතය” අත් නොහරිනු ඇත!
අනපේක්ෂිතව, හදිස්සියේම රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීමට “විවිධ කාරනා” තිබිය හැක. ඇතැම් විට ලංකාවට ආවේනික “දේශපාලන-සූදු” අතර අලුත් සූදුවක් ද විය හැක. මේ ඕනැම කාරනයක් තුල අපට විග්‍රහ කළ හැකි පොදු සාධකය වන්නේ අපේ රටේ අදටත් ඉතාම ගැඹුරින් පැල පදියම් වී ඇති, අප සඳහන් කරන මේ “පාදඩ සමාජ-දේශපාලන”භාවිතයයි. මේ තුල රටේ පෘතග්ජන රට වැසියාගේ සිට අසීමිත සමාජ-දේශපාලන බලයක් තිබු ජනාධිපතිවරයකු වුවද ඊට ගොදුරු විය හැක. අනිත් අතට, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත් වු මෙම කාරණය තුල දැකිය හැකි තවත් කාරණයක් වන්නේ, මේ සමාජ-දේශපාලන පාදඩකරණය රටේ දේශපාලන බලය ලබා ගැනීමටත්, එය පවත්වා ගැනීමටත් අවශ්‍ය බවයි.
අද, ඔහු ගොදුරු වු නීතිය හැදීමට ඔහුද සම්මාදම් විය. රට වඩා විවෘත ප්‍රජාතන්ත්‍රවාදී පියවරකට ඔසවා තැබිම එහි අරමුණ වන්නට ඇත. නමුත්, රටේ දශක පහක කාලයක් තුල මුල් බැස තිබු “පාදඩ සමාජ-දේශපාලන ක්‍රමය” වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධන වලට නොහැකි විය. රට පත්ව ඇති සමාජ-දේශපාලන ව්‍යසනය පිලිබඳ රනිල් වික්‍රමසිංහලා වැනි අය අසංවේදීය. 1977 සිටම අපේ රටේ බොහෝ අවස්ථාවල ප්‍රායෝගීකව ක්‍රියාත්මක වුයේ පාදඩ සමාජ-දේශපාලනයයි. රටේ සමස්ථ නීති-පද්ධතියම, සියලුම සමාජ-සංස්කෘතික හරයන් ද මේ පාදඩ සමාජ-දේශපාලනයට ගොදුරු විය. සමස්ත රට ජාතියම ඊට අනුගත විය. රටේ සමාජ මාධ්‍ය ද ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍ය නිරික්ෂණය කරන්නෙකුට අවබෝධ කරගත හැක. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්කර ගත්තේ රනිල් වික්‍රමසිංහම යැයි කීම මෙහිදි සාධාරණ යැයි සිතේ.
ලංකාවේ දේශපාලනයේ “පාදඩකරණය” අද වන විට කුරුවල් වී ඇත. එය ශිෂ්ට සම්පන්න මුහුණවරක් දීම අතිශය දුෂ්කරය. අද, විවිධ පසු බෑම්, අඩු ලුහුඬු කම් හමුවේ වුවද රටේ නීතිය ස්ථාපිත වීමට පටන්ගත් සේයාවක් දැකිය හැක. ඒ තුල යම්කිසි යහපත් සමාජ-දේශපාලනය දිශානතියකට රට හැරීමට උත්සාහ දරයි. අතීතයේ සිදු වු දේශපාලන අපචාර වලට, විශේෂයෙන්ම මහා පරිමාණ දේශපාලන අපරාධවලට, අද යුක්තිය පසිඳලීමට උත්සාහ දැරීම උඩුගං බලා පිහිනීමකි. එහෙත්, එය කෙසේ හෝ කළ යුතුය. මෙහිදි අවධාරණය කළ යුත්තේ, අද රටේ තිබෙන අසීමාන්තීක පාදඩ සමාජ-දේශපාලන ක්‍රමය වෙනුවට “ශීෂ්ට සම්පන්න” සමාජ දේශපාලන ක්‍රමෝපායක් බිහිකරගත යුතු බවයි. නමුත්, මේ තිබෙන පාදඩ ක්‍රමය වඩාත් තීව්ර කරමින් නම් එය කළ නොහැකි ය. වරක් දෙවරක් නොව, පරම්පරා ගණනක් අප කුමන හෝ ආකාරයක සමාජ දේශපාලන අපචාරයකට ගොදුරු වු රට වැසියන් වෙමු. එයින් මිදිය හැක්කේ රට වැසියාට ප්‍රඥාව පහල වීමෙන් පමණි.
---------------------------
by (2025-08-24 16:06:47)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි