~

යකඩෝ බැලුවාම රනිල් ඇවිදින කැරකොප්පුවක්නේ..! මහජන මුදල් කොල්ල කෑ දූෂිත රනිල්ට ඇප ලැබෙයි..! පෙන්වූ ආරාධනා පත්‍රය බොරු එකක්..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.26, ප.ව‍.8.10) රට බංකොලොත් වී තිබිය දී මහජන මුදල් රුපියල් එක්කෝටි හැට හත් ලක්ෂයක පමණ අති විශාල මුදලක් දින දෙකක් තුල වියදම් කරමින් තමන්ගේ පුද්ගලික සංචාරයක යෙදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුව රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නඩුව අද යලිත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුනු විට හෙළි වූයේ රනිල් වික්‍රමසිංහ යනු 'ඇවිදින කැරකොප්පුවක්' තරමේ භයානක රෝග කන්දකින් පෙළුනු පුද්ගලයෙක් බවයි. 

රනිල්ට ඇප ලබා ගැනීම සඳහා ඔහු වෙනවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්තාවක් ඉදිරිපත් කරමින් රනිල්ට ඇති ලෙඩ කන්ද හෙළි කෙළේ ය. 

ඒ අනුව රනිල්ට ඇති ලෙඩ කන්ද මෙසේ ය.

1. හෘද වස්තුවේ පටක මිය යාමේ තත්ත්වයක් තිබේ.
2. හෘද වස්තුවේ කිරීටක ධමනි 4 න් 3 ක්ම අවහිර වී තිබේ
3. වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙයි.
4. අවදානම් මට්ටමේ දියවැඩියා රෝගී තත්ත්වයක් තිබේ.
5. අග්න්‍යාශයේ ඉහල කොටසේ ආසාදික තත්ත්වයක් තිබේ.
6. ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක් තිබේ.
7. අධි රුධිර පීඩනයෙන් සහ කැකැරවිලෙන් පෙළෙයි. එය ක්ෂණික හෘදයාබාධයක් ඇති වීමේ තත්ත්වයකි.
8. පෙනහළු වල ආසාදිත තත්ත්වයක් තිබේ.
9. ප්‍රතිශක්තිය අඩු මට්ටමක තිබේ.
10. නින්දේ දී හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබේ. විටෙක විනාඩි 2-3 ක් හුස්ම හිරවේ.

"ස්වාමිනි කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ ටික තියෙනවා" කී අනුජ ප්‍රේමරත්න මේ හේතු මත රනිල් වික්‍රමසිංහගේ ජීවිතය දැඩි සේ අවදානම් තත්ත්වයක පවතින බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙච්චර ලෙඩ තියෙද්දිද ඉන්දියාවේ යන්න ඉල්ලුවේ?

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ ප්‍රතිචාර දැක්විය.

" ස්වාමිනි, මේ කියන විදිහට මේ සැකකරුර නව අනූවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඔච්චර දේශපාලඥයින් බලන්න යන්නේ. ඔහොම තියෙද්දිද පසුගිය නඩුවාරයේ ඉන්දියාවේ යන්න ඉල්ලුවේ. මගේ උගත් මිත්‍රයාම කියනවා තමන්ගේ සේවාදායකයා ලෙඩ ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි අනුජ ගණන් ගන්නේ. අනික අපි රිමාන්ඩ් කරපුවාම තමයි මොහුගේ ලෙඩ දැනගෙන තියෙන්නේ. මේ බහුතරයක් වෛද්‍ය වාර්තා අරගෙන තියෙන්නේ ඊයේ. අනික පෞද්ගලික රෝහල්වලින්. මේවා කොහොමද අධිකරණය මේවා පිළිගන්නේ. අනික ඔය රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙත් නැහැ. එබැවින් මා ඉල්ලා සිටිනවා අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් විධිමත් වාර්තාවක් කැඳවන්න කියලා. පසුගිය නඩුවාරයේ ඉදිරිපත් කළාට වඩා කිසිදු සුවිශේෂි කරුණක් අද ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරුන් මාරුවෙලා විතරයි. එබැවින් ඇප ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. "

මේ අතර පෙර නඩු දින අනුජ ප්‍රේමරත්න ඉදිරිපත් කළ රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය සඳහා ලැබී තිබුනා යැයි කී 'ආරාධනා පත්‍රය' සත්‍ය එකක්දැයි සොයා කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ. ඊට හේතු වූයේ රනිල්ගේ දූෂනය සම්බන්ධයෙන් ඊට පෙර ප්‍රකාශ දුන් 38 දෙනාගෙන් කිසිවෙකු හෝ අඩුම තරමේ රනිල්ගේ දිගු කාලීන පුද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා පෙරේරාගේ ප්‍රකාශ වල හෝ අදාල 'ආරාධනා පත්‍රය' ගැන කිසිවක් සඳහන්ව නොතිබීමයි. එවැන්නක් ප්‍රථම වරට ඉදිරිපත් කෙරුණේ පසුගිය නඩු දිනයේ දී පමණි. මහේස්ත්‍රාත්වරිය ඒ ගැන ඇත්ත නැත්ත සොයන්න යැයි නියෝග කෙළේ එනිසා ය.

රනිල් පෙන්වූ ආරාධනා පත්‍රය බොරු එකක්..

ඒ අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව ඒ ගැන කළ විමර්ශනයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරනය දන්වා සිටියේ එකී 'ආරාධනා පත්‍රය' සත්‍ය එකක් ලෙස පිළිගත නොහැකි බවත් එය අසත්‍ය ලේඛනයක් බවයි. ඒ සම්බන්ධයෙන් දිලීප පීරිස් මෙසේ ද කීවේය.

"ස්වාමිනි, පසුගිය නඩුවාරයේ අධිකරණය නියෝග කළා සැකකරු ඉදිරිපත් කළ වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් එවූ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. අපි ඒ පිළිබඳ විමර්ශනයක් කළා. නමුත් ඔය කියන ලිපියක් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයේ 2023 වර්ෂයට අදාළ ලිපිගොනුවේ නැහැ. ඒ වගේම ඔය ලිපිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේවත්, ජනාධිපති කාර්යාලයේවත් ලිපි ගොනුවල සොයාගන්න නැහැ. ඒ වගේම ඔය කියන ලිපිය ගැන ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දන්නෙත් නැහැ.ඒ වගේම මේ සංචාරය ගැන ලේඛනගත සාක්ෂි පරස්පරයි. එක පාරක් කියනවා Private Visit එකක් කියලා. ඊළඟට කියනවා Visit එකක් කියලා. පස්සේ ආයෙත් කියනවා Official Visit එකක් කියලා. සැකකරු කියනවානම් මේක Private Visit එකක් කියලා ඇයි ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ? මේ ගමන ආරම්භවෙලා තියෙන්නේ ඔය කියන ආරාධනා ලිපියෙන් නොවේ. ඊට පෙර අපි පෞද්ගලික සංචාරයකට එනවා කියලා මොවුන් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා."

කියුබානු සංචාරයට වඩා තුන් ගුණයක් පුද්ගලික දින දෙකේ ගමනට වියදම්..

මෙහිදි රනිල්ගේ ප්‍රශ්නගත සංචාරයේ වියදම් පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවේය.

" ස්වාමිනි, මේ සංචාරයට පෙර පැවති නිල රාජ්‍ය සංචාරයක් වෙන කියුබානු සංචාරයටත් වැයවෙලා තියෙන්නේ ලක්ෂ 50යි. එහෙම තියෙද්දි මේ පෞද්ගලික සංචාරයට රුපියල් ලක්ෂ 166ක් වැය කරලා තියෙනවා. මට කලින් සතියේ වැරදුණා මම කිව්වේ මේ සිදුවීම මහජන මුදල් අවභාවිතයක් කියලා.නැහැ ඒක ඓහෙම නෙවෙයි. මේක මහජන මුදල් කාබාසීනියා කිරීමක්. "

මේ ඇප දෙන අවස්ථාව නොවේ; ඒත් ඇප ලැබේ..

වැඩි දුරටත් කරුනු කී දිලීප පීරිස් කියා සිටියේ සැකකාර රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට අවස්ථාව මෙය නොවන බවයි. ඔහු ඇප ලබා දෙනවාට විරුද්ධ වෙමින් මෙසේ කීවේ ය.

" මේ සැකකරු ඇප ලබාගැනීමට නම් පෙර දිනයේ ඉදිරිපත් කළ කරුණුවලට එහා ගිය අසාමාන්‍ය සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. ස්වාමීනි මේ මොහොතේ සැකකරු ඉන්නේ ජාතික රෝහලේ. සැකකරු බලන්න දේශපාලඥයින් නෑගම් යනවා වගේ යනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැකකරුව බලලා ඇවිල්ලා කියනවා ඔහු සුවෙන් පහසුවෙන් ඉන්නවා කියලා. ඉතිං ස්වාමිනි මේ තත්ත්වය මත මේ සැකකරුට ඇප ලබාගන්න විත්තියේ නීතිඥයින් අසාමාන්‍ය කරුණු නොවෙයි, අසාමාන්‍යයෙනුත් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. එසේ ඉදිරිපත් නොවන්නේනම් සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. " 

කෙසේ වෙතත් පොදු දේපොල පනත යටතේ චෝදනා ගොනු කළ සැකකරුවෙකුට නඩුව විභාග වන තුරු ඇප ලබා නොදිය හැකි වුව ද ඉදිරිපත් වන සුවිශේෂී කරුණු සලකා බලා ඇප ලබා දිය හැකිය. ඒ අනුව අනුජ ප්‍රේමරත්න ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා අනුව රනිල්ගේ 'බරපතල රෝගී තත්ත්වය' සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප තුනක් මත රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොටුව මෙහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළා ය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ඇය මෙසේ කීවා ය

" අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි. "

මෙම නඩුව ලබන ඔක්තෝම්බර් 29 යළි කැඳවන ලෙස ද ඇය නියෝග කළා ය.

රනිල් දිගටම ප්‍රතිකාර ගනීද? ඉහෙන් බහින ලෙඩක් නැතිව ගෙදර යයිද?

සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ සිටිය දී මාරාන්තික ලෙඩ පෙන්වන, රෝද පුටු වලින් අධිකරණයට එන දේශපාලක චුදිතයන් ඇප ලැබීමෙන් අනතුරුව යස අපූරුවට ඉහෙන් බහින ලෙඩක් නැතිව ඇවිදගෙන යනවා අප දැක තිබේ. 

රනිල් ගැන අද කී ලෙඩ කන්ද අනුව නම්, ඔහුට මීට පෙර තම රෝග පිළිබඳ සංකූලතා ඇති වී ඒ පිළිබඳ වෛද්‍ය ප්‍රතිකාර ලබා තිබිය යුතුය. නමුත් ඒ එසේ වී නැත. කිසිදා බස් රථයක හෝ ගමන් කර නැති රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රභූ පැලැන්තියේ 'සනීප කුරුල්ලෙකුට' බන්ධනාගාර බසයක මාංචු සහිතව ගමන් කිරීමට සිදුවීම පවා නැති ලෙඩ ඇතිවන කම්පනයක් විය හැකි ය. නමුත් හෘද වස්තුවේ පටක මිය යාමේ තත්ත්වයක් තිබීම, හෘද වස්තුවේ කිරීටක ධමනි 4 න් 3 ක්ම අවහිර වී තිබීම ආදිය ක්ෂණිකව හැදුනු රෝග නොවේ. කිරීටක ධමනි 4න් 3ක්ම අවහිර වී ඇති නම් ඔහුට වහාම 'ස්ටෙන්ත්' සැපයිය යුතු ය. ඒ අනුව ඇප දුන්නා කියා ඔහු දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කළ නොහැකි ය.

රනිල් මහේස්ත්‍රාත්වරියට ණය ගැතියි..

නමුත් පෙර දා අනුජ ප්‍රේමරත්න ම අධිකරණයට දැනුම් දුන්නේ ඊට දින තුනකට පසුව රනිල්ට ඉන්දියාවේ සමුළුවක් ඇමතීමට යාමට තිබෙන බවයි. මේ තරම් ඇවිදින කැරකොප්පුවක් බඳු රෝගියෙක් එසේ යා හැක්කේ කෙසේ ද? ගියා නම් මැරෙන්නේ ඉන්දියාවේ දී විය හැකිය.

කෙසේ වෙතත් රනිල්ට තිබෙන ලෙඩ කන්ද හඳුනා ගැනීමට හැකිවූයේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත වීම නිසා ය. ඒ අනුව රනිල් සහ පවුලේ අය සේම රනිල්ගේ වහල්ලු ද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට ණය ගැති විය යුතු ය. 

අනුජ ප්‍රේමරත්න කී අනුව රනිල්ගේ ජීවිතයට බරපතල අවදානම් ගෙන දෙන ලෙඩ වලට ඔහු ජාතික රෝහලට වී හෝ පුද්ගලික රෝහලකට ඇතුලත් වී හෝ ඉදිරියටත් ප්‍රතිකාර ගන්නවා ද? නැතිනම් ඉහෙන් බහින රෝගයක් නොතිබුනා සේ රෝහලෙන් ඉවත් වී ගෙදර යනවා ද කියා ඉදිරියේ දී කාට කාටත් බලා ගත හැකිය.

අරගලයේ දී පොලිසියට රෝස මල් දුන්නත්, රනිල්ලාගේ වහල්ලුන්ගෙන් පොලිසියට බෝතල් ප්‍රහාර..

අවසාන වශයෙන් වාර්තා කළ යුත්තේ රනිල් මුදා ගැනීමේ මෙහෙයුමක් සංවිධානය කළ සුන් බුන් විපක්ෂයට අද කොළඹට කැඳවා ගැනීමට හැකිව තිබුනේ පන්සියයක හයසියයක පමණ පිරිසක් බවයි. ඒ අයද මුජිබර් රහ්මාන් වැනි කොළඹ දේශපාලකයන්ගේ ආධාරකරුවන් ය. ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකුට එල්ල කරන ලද බෝතල් ප්‍රහාරයක් නිසා පොලිස් නිලධාරියාගේ නහය තුවාල වී රෝහල් ගත කෙරිණ. මෙහිදී මතක් කළ යුත්තේ පසුගිය අරගල සමයේ දී දින සියයකට වඩා කාලයක් ලක්ෂ ගණනක තරුණ තරුණියන් ඇතුළු ජනතාව කොළඹට රැස්ව උද්ඝෝෂනයේ යෙදුනු නමුත් එකදු පොලිස් නිලධාරියෙකුට හෝ ප්‍රහාර එල්ල නොකළ බවයි. පොලිසිය සමග ගැටුම් ඇති කර නොගත් අතර ඒ වෙනුවට සමහර පොලිස් බැරියර් වලදී තරුණියන් පොලිසියට දුන්නේ රෝස මල් ය. තරුණයන් පොලිසියට පැවැත්වූයේ දේශන ය. එළව එළවා ගැහුවේ නීච දේශබන්දුට පමණි. රනිල්ලාගේ අවිචාරවත්, නොහික්මුනු, නූගත් ලුම්පන් වහල්ලුන් ගේ තත්ත්වය කවරේ දැයි අද සිද්ධියෙන් ජනතාව තේරුම් ගත යුතු ය.

(සේයාරුවේ දැක්වෙන්නේ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ නීතිඥයන් ය)

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-08-26 15:14:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links