~

රනිල් ලා වසඟ වූ වුල්වර්හැම්ප්ටන් සරසවියේ කුලපති ස්වරාජ් පෝල් කව්ද..? රනිල් නිල සංචාරයකට ආවා නම් ප්‍රොටෝකෝලයන් කෝ..? මෛත්‍රීට උපාධියක් පෙන්වා ගැහූ මහ පොළොව නුහුලනා ගැහිල්ලේ ගණන් හිලව් මෙන්න..!

-ලංකා ඊ නිව්ස් හි ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.26, ප.ව‍.11.00 -අවසාන සංස්කරණය-අගෝ-27) 1931 පෙබරවාරි 18 දින ඉන්දියාවේ ජලන්දර් නුවර උපත ලැබූ ස්වරාජ් පෝල්, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනයෙන් පසු ඇමරිකාවේ MIT හි ඉංජිනේරු විෂයයන් පිළිබඳ උපාධි රැසක් ලබා ගත් දක්ෂ තාක්ෂණවේදියෙකි. 1966 දී එක්සත් රාජධානියට පැමිණ, 1968 දී ඔහු පිහිටැවූ Caparo Group පසුව ලෝක ව්‍යාප්ත කර්මාන්ත ජාලයක් බවට පත්වීය.

1996 දී අගමැති ජෝන් මේජර්ගේ යෝජනාවක් මත, දෙවන එලිසබත් රැජින විසින් ඔහු House of Lords හි Life Peer ලෙස පත් කරන ලදී. පසුව 2008 දී ඔහු නියෝජ්‍ය කථානායක තනතුර ද රඳවා ගනිමින්, ඉන්දියානු සම්භවයක් පුද්ගලයෙකු ලෙස එම උසස් ගෞරවය දැරූ ප්‍රථමයා බවට පත්විය.

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ක්ෂේත්‍රය උදෙසා ඔහු ගෙන ආ විශාලම දායකත්වය නම් Wolverhampton විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස 1999 සිට 2025.08.21 දින දක්වා ඔහු මියයන තුරුම  කළ කැපවීමයි . විශ්වවිද්‍යාලය උසස් මට්ටමකට ගෙන ඒමට, ඔහු විසින් පෞද්ගලිකව පවුම් මිලියන ගණනක දායකත්වයක් ලබා දුන් අතර, දැනුම හා මූල්‍ය මගින් පදනම් වූ විශේෂාංග විකාශනයෙන් එය ඉහළට ගෙන යාමට දායක වූ බව වාර්තා වේ.

ස්වරාජ් පෝල් සාමිවරයා Padma Bhushan (1983), Freedom of the City of London (1998), Asian Business Lifetime Achievement Award (2008) ආදී වශයෙන් ගෞරව සම්මාන රැසක් ලබමින් තම ජීවිතය තුළ වාණිජ, අධ්‍යාපනික සහ සමාජීය වෘත්තීය වරප්‍රසාද සලකුණු කර ගත් අයෙක් වූයේය.

ඩිලාන් පෙරේරාගේ පෙර බිරිඳ, රනිල්ගේ කුමන්ත්‍රණ සහ ආචාර්ය උපාධි රහස..

ස්වරාජ් පෝල් සාමිවරයාගේ ජීවිත ගමනේ  ආලෝකය පමණක් නොව, ගැඹුරු අඳුරු මොහොතක් ද තිබුණි. ඒ ඔහුගේ දියණිය කුඩා කාලයේ අභාවයට පත්වීම සහ තරුණ පුතාගේ අකල්  මරණය ඔහුගේ පවුලේ ජීවිතයට දැඩි බලපෑමක් ඇති කළේය. එම හේතුව නිසා ඔහු නිතැතින්ම ධන පරිත්‍යාගශීලි මහත්මයෙකු විය.

ස්වරාජ් පෝල් ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කරන අයෙකු විය. මේ හේතුවෙන් ලංකාවේ බොහෝ දේශපාලකයෝ ඔහුව දැන හඳුනා ගත්හ. ඔහු බ්‍රිතාන්‍යයේ දැවැන්ත ධනවත් පුද්ගලයෙකු නිසා සට කපටි කමින් ඔහුගේ මුදල් කඩා වඩා ගැනීම සඳහා මෙන්ම වෙනත් වාසි අරමුණු වෙනුවෙන් ලංකාවේ දේශපාලකයෝ මෙන්ම තානාපති නිලධාරීහු ද ක්‍රියා කළහ. සට කපටිකමින් අනූන රනිල්ද ස්වරාජ් පෝල්ගේ කිට්ටු හිතවතෙකු විය.

බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්ධූරය දැරූ  නමුත් ධූරය අවසන් කර නැවත ශ්‍රී ලංකාවට  නොගොස් බ්‍රිතාන්‍යයේ සැඟවී සිටින රෝහිත බෝගොල්ලාගම සහ දුෂිත වංචා හෙළිවීම මත ලැජ්ජාවට වසර 5 ක කාලයක් නිවාඩු ගෙන සිටින සරෝජා සිරිසේන ද ස්වරාජ් පෝල්ගේ කිට්ටු හිතවත්තු වූහ.

බැසිල් රාජපක්ෂගේ අනුහසින් වසර 5කට වඩා කාලයක් අඛණ්ඩව විදේශ තානාපති සේවයේ යෙදී සිටි සරෝජා සිරිසේන හට සේවා දිගුවක් ලබා ගැනීමේ අරමුණින් ස්වරාජ් පෝල් රවටා ස්වරාජ් ගේද හිතවතෙකු වූ රනිල් ගේ බිරිඳ වූ මෛත්‍රී වික්‍රමසිංහ හට සම්මාන මහාචාර්ය උපාධියක් ලබා ගැනීමට කූට උපක්‍රමයක් සරෝජා විසින් දියත් කරන ලදී.

සරෝජා සිරිසේන විසින් වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කුලපති ස්වරාජ් පෝල් හට දිගින් දිගටම කරන ලද ඉල්ලීම් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳට සම්මාන මහාචාර්ය උපාධියක් ලබා දීමට වයෝවෘද්ධ ස්වරාජ් පෝල් පසුව එකඟ වී ඇත .

රනිල්ට නිල ආරාධනාවක් තිබුනා නම් ප්‍රොටෝකෝලයන් කෝ?

කෙසේ වෙතත් ලංකාවේ රාජ්‍ය නායකයා ට වුල්වර්හැම්ටන් සරසවියෙන් හෝ නිල වශයෙන් ආරාධනාවක් කළා නම් එය කළ යුතු ප්‍රොටෝකෝලයක් තිබේ. එනම් එම නිල ආරාධනාව පළමුව ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට යවා එමගින් ලංකාවේ විදේශ අමාත්‍යාංශයට යොමුකළ යුතුය. ඉන්පසුව විදේශ අමාත්‍යාංශයෙන් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් පත් කරන ලද නිලධාරීන් දෙදෙනෙකු විසින් රාජ්‍ය නායකයාගේ අනෙකුත් රාජකාරි සමග නොගැටන ලෙස දින යොදා ගත යුතු ය. රාජ්‍ය නායකයෙකු නිල වශයෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් ඒ සියලු ගුවන් ගමන් වියදම් රට තුල වියදම් සියල්ල බ්‍රිතාන්‍යය විසින් දරණු ලබයි. එපමණක් නොව රාජ්‍ය නායකයා බ්‍රිතාන්‍යයට පැමිණි පසු ගුවන් තොටුපොලේ දී ඔහුව බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිතයෙකු විසින් පිළිගනු ලබයි. රනිල් සහ මෛත්‍රී වික්‍රමසිංහගේ අදාල බ්‍රිතාන්‍ය සංචාරයේ දී ඒ කිසිවක් සිදුවූයේ නැත.

අනෙක් කරුණ නම් ස්වරාජ් පෝල් රනිල්ට පුද්ගලික ආරාධනාවක් කර ඇත්තේ වී නම් එය ද සිදුකර ඇත්තේ ස්වරාජ් පෝල් වුල්වර්හැම්ටන් සරසවියේ වසර 25 ක කාලයක් චාන්ස්ලර් තනතුර හෙබැවීම වෙනුවෙන් පැවැත්වූ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීම පිණිස ය. ප්‍රධාන සිදුවීම එයයි 

අවසානයේ වුල්වර්හැම්ටන් සංචාරය රනිල්ට හිරේ විලංගුවේ වැටෙන්නට හේතු වූ පසුගිය 22 වැනිදා ට දින කිහිපයකට පෙර වයෝවෘධ ස්වරාජ් පෝල් බ්‍රිතාන්‍යයේ දී මිය ගියේ ය. 

රනිල්ගේ බිරිඳ ට උපාධියක් පෙන්නා රනිලුත් හිරේට දක්කා මිලියන ගණනක මුදල් ගිලගත් මහකොමසාරිස් සරෝජා සිරිසේන.. 

2023.09.22 සහ 23 යන දෙදින සඳහා රුපියල් ලක්ෂ 166 කට අධික රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හිරේට යද්දී මේ මුදල් වලින් භාගයක් තම පොකට්ටුවට දමා ගත් නිලධාරිනියක ද සිටී. ඇය ඩිලාන් පෙරේරා ගේ කලින් බිරිඳ සරෝජා සිරිසේනයි. ශ්‍රී ලංකාවේ රජයේ මුදල් කාබාසිනියා කිරීමට ඉතාම දක්ෂ තානාපති නිලධාරිනිය කව්දැයි යමෙක් ඇසුවහොත් ඊට සුදුසුම පිළිතුර සරෝජා සිරිසේනගේ නම විය හැකි ය.

රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයක දී රවටා සේවා දිගු ලබා ගැනීමට උත්සාහ කළ සරෝජා සිරිසේන ගේ උත්සාහයන් අවස්ථා කිහිපයකදී බොඳ විය. එයට හේතුව ඇය විසින් තම සේවා දිගුව ලබා ගැනීමට කළ සියලු උපක්‍රම බිඳ වැටීමයි. අවසානයේ ඇය කළ මෙහෙයුම නම් වුල්වර්හැම්ටන් සංචාරයේ මෙහෙයුමයි.

ඒ අනුව එක ගලින් කුරුල්ලන් දෙන්නෙක් මරා ගැනීමට සරෝජා සිරිසේන මාන බැලුවා ය. පළමුවැන්න තමාට තවත් මාස තුනක හෝ සේවා දිගුවක් ලබා ගැනීමටත් දෙවැනි කරුණ නම් රනිල්ගේ සංචාරයෙන් විශාල මුදලක් යටි මඩි ගැසීමටත් ය. මීට පෙරද රනිල් වික්‍රමසිංහ පැමිණි සංචාර වලින් විශාල මුදලක් යටි මඩි ගසන ලද මෑ තුන්වැනි සංචාරයෙන් ද තමාගේ පොකට්ටුවට අයුතු මුදල් ඔබා ගැනීමට කටයුතු කළා ය.

රනිල්ගේ එංගලන්ත සංචාරයේ 'ගැහිල්ලේ' තරම..! කව්ද මේ Sky Wings Limited ?

හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සවාරිය පිළිබඳව නවතම තොරතුරු ගොඩ එමින් තිබේ. එම සංචාරය සඳහා වූ සියලු ගෙවීම් සෘජුව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සිදු නොවී, Sky Wings Limited නමැති ආයතනයක් හරහා සිදු කර ඇත

රනිල් ජනාධිපති වී අවස්ථා තුනකදී බ්‍රිතාන්‍යයට පැමිණි අතර මේ සියලු අවස්ථාවන්හිදී සරෝජා සිරිසේනගේ හිතවතෙකු වන Sky Wings Limited නම් හොලිඩේ ටුවර් සම්පාදනය කරන ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට අයත් ආයතනයක් වෙත හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සවාරි සැකසීම සඳහා භාර දී ඇත .

කෙසේ වෙතත් මේ Sky Wings Limited ආයතනය කිසිදු ආකාරයකින් මේ සඳහා සම්බන්ධ නොවී බිල්පත් පමණක් මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර ඇත. එය  සරෝජා සිරිසේනගේ උවමනාව මත ක්‍රියාත්මක වී ඇත. මේ හොර බිල්පත් ගනුදෙනුව සඳහා බ්‍රිතාන්‍යයේ  ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආයතන අංශ ප්‍රධානී අරුණ ප්‍රනාන්දු නමැත්තා මැදිහත් වී ඇත.

මහකොමසාරිස් කාර්යාලයට ජනාධිපතිවරයාගේ සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් සෘජු ගෙවීම් කිරීමට හැකියාව තිබුණු මොහොතක  Sky Wings Limited මගින් වාහන සඳහා කුලී මුදල් ගෙවීම බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයට වඩා 10 ගුණයකින් වැඩි මුදලක් ගෙවා ඇත. බට්ලර්වරයෙකු සඳහා බ්‍රිතාන්‍යයේ දවසකට පවුම් 120 ක් ගෙවීමට හැකියාව තිබියදී දවසකට පවුම් 1000 කට වඩා මුදලක් ගෙවා ඇත.

වාහන සඳහා මහ පොළව නුහුලන ගැහිල්ල..

ජනාධිපතිවරයා ගමන් ගත් ආරක්ෂක වාහන දෙක බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය මගින් මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් මත ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු බ්‍රිතාන්‍යයට පුද්ගලික හෝ රාජ්‍ය හෝ යන සංචාර දෙකකින් ඕනෑම සංචාරයක් සඳහා පැමිණිය ද ජනාධිපතිවරයාට ගමන් කිරීම සඳහා ආරක්ෂකයින් සහිත  වාහන දෙකක් බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය මගින් ලබා දේ. එයට හේතුව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වීමත්, LTTE සංවිධානයට හිතවත් බ්‍රිතාන්‍යයේ සිටින කණ්ඩායම් වලින් විය හැකි තර්ජනත් හේතුවෙනි. මේ සඳහා කිසිදු ගෙවීමක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මගින් ගෙවන්නේද  නැත.  

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය සරෝජා සිරිසේන විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලද Sky Wings Limited බිල්පතේ වාහන 5කට බිල්පත් ඉදිරිපත් කර තිබු නමුත් සැබැවින්ම  ජනාධිපතිවරයා වෙනුවෙන් කුලියට ලබා ගෙන තිබුනේ බෙන්ස් කාර් රථයක් සහ බෙන්ස් වෑන් රථයක් පමණි. මෙම රථ සඳහා දවසකට වියදම් වන උපරිම මුදල පවුම් 500 කි. ඒ අනුව දවස් දෙක සඳහා පවුම් 2000 කට අඩු මුදලක් වැය වෙද්දී ජනාධිපතිවරයාගේ සංචාරයේ වාහන වෙනුවෙන් පවුම් 11,000 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව හඟවා අමතර පවුම් 9000 ක එනම් ශ්‍රී ලංකා මුදලින් 35,000.00.00 (තිස්පන් ලක්ෂයක මුදලක් )  ගසා කා ඇති බව වාර්තා වේ.

බට්ලර් සඳහා ගැහිල්ල..

එමෙන්ම ජනාධිපති වරයාගේ ආවතේව කරුවා හෙවත්  බට්ලර්වරයෙකු සඳහා  වැඩිපුර ලක්ෂ 5 කට ආසන්න හොර බිලක් ඉදිරිපත් කර ඇත. බට්ලර් වරයා සදහා දින දෙකටම වියදම් වනුයේ දින දෙකටම පවුම් 250 කි. නමුත් ඔහු සදහා පවුම් 2000 ක බිලක් ඉදිරිපත් කර අමතර පවුම් 1750 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් හත් ලක්ෂයකට ආසන්න මුදලක් යටි මඩි ගසා ඇත  

එලෙස මෙම සංචාරය අතරතුර  Sky Wings  Limited ආයතනය විසින් ඉදිරිපත් කර ඇති සියලු වියදම් සඳහා 10 ගුණයක මිල වැඩි කිරීමක් ඇතුලත් කර සරෝජා සිරිසේන විසින් එම බිල්පත් විදේශ කටයුතු අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇත.

රනිල් සමග සරෝජා සිරිසේනත් යකඩ කූරු ගැනිය යුතුයි.. 

රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍යයේ සිදු කළ සියලු සංචාර සඳහා මෙලෙස නියමිත මුදලට වඩා 10 ගුණයක වැඩි මුදලක බිල්පත් Sky wings Limited නම් ආයතනය හරහා ඉදිරිපත් කර අති විශාල මහජන මුදල් තොගයක් මංකොල්ල  කෑමට බ්‍රිතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ ඇයගේ ගෝලයා වූ අමාත්‍ය උපදේශක අරුණ ප්‍රනාන්දු විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු විදේශ කටයුතු ඇමති අලි සබ්රි විසින් බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාර සඳහා ද කූඨ ආකාරයට මුදල් විශාල තොගයක් ගසා කෑමට මහකොමසාරිස් කාර්යාලයේ හිටපු තක්කඩි නිලධාරි කණ්ඩායම කටයුතු කර ඇත . නමුත් රනිල් ජනාධිපති කාර්යාලයෙන් ද, විදේශ අමාත්‍යාංශයෙන්ද, හමුදාවල වියදම් වලින්ද මේ හොර බිල් ගෙවීම නිසා ඔහු අංක එකට වැරදි කරුවා වේ. 

රනිල් පිළිබඳ සේම මේ ආකාරයෙන් මහජන මුදල් ගසා කෑමට ආධාර අනුබලය දුන් බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තක්කඩි කණ්ඩායම ගැන ද පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වහ වහා සිදුකළ යුතු ය.

(සේයාරුවේ දැක්වෙන්නේ රනිල් මෛත්‍රී සහභාගී වූ ස්වරාජ් පෝල්ගේ දිවා භෝජන සංග්‍රමයයි. හිස මුඩුව සිටින වයෝවෘධයා ස්වරාජ් පෝල් ය.)

-ලංකා ඊ නිව්ස් හි ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු විසිනි 

---------------------------
by     (2025-08-27 14:28:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links