-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.27, ප.ව.10.30) වර්තමානයේ අප රටේ බොහොමයක් කතා බහට ලක්වන මාතෘකාවක් ලෙස ශ්‍රී ලංකාවේ පොල් හා පොල් ආශ්රිත නිශ්පාදන පිළිබඳව පෙන්වා දිය හැක. ලංකාව ලොව සිව් වැනියට වැඩිම පොල් නිෂ්පාදනය කරන රටකි. පොල් පිලිබඳව ප්‍රථම ලිඛිත සාක්ෂි හමුවන්නේ විජයාගමනයත් සමගිනි. කුවේනි විසින් විජය කුමරු හට පොල් වතුර බීමට දී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ලංකාවේ පොල් නිෂ්පාදනය ඉහල නමුත් ඒකපුද්ගල පොල් පරිභෝජනය ලෝකයේ දෙවැනි වැඩිම රට වේ. 2024 වර්ෂයේ ඉතා ප්‍රබල ලෙස පොල් හිඟයක් අරම්භ විය. එමගින් පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් පමණ දක්වා ඉහළ ගිය අතර, ගත වූ වසර 30 තුළ ලංකාවේ පොල් පරිභෝජනය ඉහළ ගිය ද රටේ පොල් නිෂ්පාදනය අවම විය. ප්‍රධාන හේතු ලෙස රිලා, අලි සහ දඬුලේනුන් වැනි සතුන්ගෙන් වන වගා හානිය මෙන්ම සුදු මැස්සාගේ හානිය ද ප්රබලව බලපා ඇත. ජනගහනය වැඩි වීම මත පොල් ඉඩම් කට්ටිකර විකිණීම ද පොල් හිඟයට බලපෑමක් ඇතිකර තිබේ. එසේම වසර ගණනාවක් පුරාවට පොල් වගාවට අවශ්‍ය පොහොර යෙදීම සිදු නොකිරීමත්, රට තුල නව වගා ක්‍රම ඇති නොකිරීමත් මේ පොල් හිඟයට සෘජු හා වක්‍රව බලපා තිබේ.
කෙසේ වෙතත් මේ විවිධ වූ කාරණා පදනම්ව පොල් හිඟයක් හේතුවෙන් හෝ පොල්ලෙලි මිල අන් කවරදාටත් වඩා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. වර්තමානයේ දැඩි අර්බුදයකට ලක්ව ඇති පොල්ලෙලි මිල පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය යුතු වේ. මේ අදහාගත නොහැකි ගැටළුව මත අපට නොදැනීම රටේ ආර්ථිකයට එල්ලවන බලපෑම සුළු පටු නොවේ. වසර දෙකක් තුල මෙම මිළ වැඩිවීම පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන කාරණය වනුයේ පොල්ලෙලි මිග වැඩි වීම 2024 සාපේක්ෂව 2025 අගෝස්තු වන විට වනවිට 340% ක වැඩි වීමකි. 2024 වසරේ අගෝස්තු මාසය වනවිට රු:4.00ත් රු:5.00ත් අතර මිලකට ට පැවති පොල්ලෙල්ල 2025 අගෝස්තු මස වන විට රු: 20.00 ත් රු:22.00 අතර මිලක් දක්වා අසාමාන්‍ය ලෙස වැඩි වී ඇත. බැලූ බැල්මට මෙය කෘතීමව ඉහළ නංවමින් ආර්ථිකයට ඉහල විදේශ විනිමයක් ගෙන එන පොල්ලෙලි ආශ්රිත නිශ්පාදන කර්මාන්ත කඩා වට්ටමින් නවරජයේ, අපනයන ආර්ථිකය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙල අඩාල කිරීමට දරණ වෑයමක් ලෙස පෙනී යයි.
ඕනෑම නිශ්පාදනයක ප්‍රධාන යෙදවුම අමුද්‍රව්‍ය පදනම්ව සිදුවේ. මෙම නිශ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ පොල්ලෙලි ය. එම පොල්ලෙලි මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් රටට සිදුවන බලපෑම විමසා බැලීමේදී,
1 . පොල්ලෙලි ආශ්රිත අපනයන නිශ්පාදන අඩුවීම
2 . ලැබෙන විදේශීය ඇණවුම් සඳහා තරඟකාරී රටවලට සාපේක්ෂ මිලක් ලබා දීමට නොහැකි වීම
3 . පොල්ලෙලි ආශ්රිත වැවුම් මාධ්‍ය කර්මාන්ත ශාලා වැසීයාම සහ මහා පරිමාණ කර්මාන්තශාලා වල නිශ්පාදන අඩුවීම
4 . රට තුල ජනතාවට සෘජු සහ වක්‍රව ගොඩනැගී තිබුණු රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවීම
5 .ජාත්‍යන්තරය පුරාවට විවිධ සන්නාම ඔස්සේ ප්‍රචලිතව තිබූ ශ්‍රී ලාංකීය ව්‍යාපාර ජාලය ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යාම.
පොල්ලෙලි හිඟයක් අසාමාන්‍ය ලෙස මවා පෑම දෙස සූක්ෂමව බලන විට මෙය යම් අවස්ථාවක දේශපාලන බලපෑමක්, ආණ්ඩු විරෝධීන් විසින් ගැටළුවක් ඇති කිරීමට උත්සාහ දැරීමක් ලෙස ද සැළකීමට හැකිය. මන්ද සහල්, පොල්, ලුණු ආදී ද්‍රව්‍ය හිඟයක් මවා පෑම පසුගිය කාල වකවානුවේදී සිදුවූ, සාමාන්‍යය තත්ත්වයන් කෘතිමව අසාමාන්‍යව ඉහල දැමීමක් බැවින්, පොල්ලෙලි හිඟයක් පෙන්වීම සහ අසාමන්‍ය ලෙස ලෙලි මිළ වැඩිවීම ද තවත් එවැනිම අතුරු කුමන්ත්‍රණයක් විය හැකිය. මන්ද යත් වත්මන් ආණ්ඩුව හරහා මීට මාස කිහිපයකට ඉහත දී පොල් ආනයනය කිරීම සිදුකළ අවස්ථාවේදී රට තුල පොල් මිළ පහත බැසීමත් සමග පොල් හා පොල් ලෙලි ද සපයාගැනීමට හැකිවිය. නමුත් විවිධ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ඩීසි සඳහා (කැපූ පොල් මද ) ලබාදෙන පොල් තොග ඒ සඳහා ලබාදීම නතරකර තොග රැස්කරමින් තබා ගැනීම ද මෙම ලෙලි හිඟයට බලපෑ තවත් ප්‍රධානතම හේතුවක් නිසා ය.
පසුගිය වසර තුල ඩොලර් මිලියන150 ක විදේශ විනිමයක් ගෙන ආ සහ ඩොලර් මිලියන 250 කට අධික විදෙස් විනිමයක් ඉපැයිය හැකි නිශ්පාදන ක්ෂේත්රයක් අමුද්‍රව්‍ය මිළ අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීම මත කඩාවැටෙමින් පවතී. නිශ්පාදන ආශ්රිත විදෙස් විනිමය වැඩිකර ගැනීම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන් ප්රමුඛ නව රජයේ අපේක්ෂාව වුවත් මෙම ගැටළුව ඊට ද බාධාවක්ව පවතී.
1990 අග භාගය දක්වාම නිසි වටිනාකමක් නොලැබුණු ශ්‍රී ලාංකීය පොල්ලෙලි සඳහා වටිනාකමක් ලබා ගත හැකි වූයේ පොල්ලෙලි ආශ්රිත නිශ්පාදන ක්‍රියාවලිය සහ අපනයන කටයුතු හේතුවෙනි. ලංකාවේ නිශ්පාදිත වගා මාධ්‍ය සඳහා ජාත්‍යන්තර වෙළදපළේ දැවැන්ත ඉල්ලුමක් ඇති අවස්ථාවක, එම වටිනා අවස්ථාව මග නොහැර හැකි ඉක්මණින් මේ සඳහා මැදිහත්ව සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරමු.
පොල් සංවර්ධන අධිකාරිය, කර්මාන්ත අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය සහ අනෙකුත් මේ හා සම්බන්ධ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන මැදිහත් වී මේ සඳහා කඩිනම් පියවර ගෙන, පොල්ලෙලි සඳහා මිළ පාලනයක් හෝ අදාල සුදුසු පියවර කඩිනමින් ගෙන, මෙම කර්මාන්ත වැසීයාම වලක්වා ගනිමින්, රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මේ සම්පත සුරැකීමට අවධානය යොමු කරණු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
---------------------------
by (2025-08-27 17:07:11)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි