~

ජේතවනාරාමයට ගල් ගසා අධිකරණය බියගැන්වූ “කළු ලකී”ගේ ගෝලයෝ..! යුක්තියේ දෙවඟන අතේ ඇති අසිපත භාවිත කරන්න..!!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.27, ප.ව‍.11.30) ඒ වසර 1983 කාන්තා දිනයයි. එනම් මාර්තු අට වන දා ය. එදින ලංකා සම සමාජ පක්ෂයේ නායිකාවක් වන විවියන් ගුණවර්ධන කාන්තාවන් පිරිසක් සමඟ පෙළපාලියකින් කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණමින් සිටියේ සංදේශයක් භාරදීමට ය. එහෙත් කොල්ලුපිටිය පොලීසිය පෙළපාලිය බලහත්කාරයෙන් නතර කළ අතර එදා හැට අට හැවිරිදි, විවියන් ගුණවර්ධනට ගනේෂලිංගම් නම් පොලිස් නිලධාරියා කම්මුලට ගසා, පා පහරක් ද දුන්නේ ය. ඉන් පසුව විවියන් ඇතුළු කාන්තාවන් කොල්ලුපිටිය පොලිසියට කුදලා ගෙන ගියේ ය. තම පෙළපාලිය කඩාකප්පල් කිරීම පිළිබඳව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළාය. එම පෙත්සම කීර්තිමත් විනිසුරුවරුන් වූ කොලින් තෝර්මේ, බාන්ස් රත්වත්තේ සහ ජේ.එෆ් සෝසා විසින් විභාග කරනු ලැබූ අතර ඔවුහු එම වසරේ ජූනි 10 වන දා එම නඩුවේ තීන්දුව ලබා දෙමින් අදාළ පොලිස් නිලධාරියාට රුපියල් 1500 ක දඩයක් නියම කළහ. පසු දින උදෑසන විනිසුරුවරුන්ගේ කුරුඳුවත්තේ නිළ නිවාස ඉදිරියට පැමිණි මැරයෝ කුණුහරුප කියමින් එම නිවාසවලට ගල් ගැසූහ. විනිසුරුවන්ට තර්ජනය කළහ. විනිසුරුවරු කුරුඳුවත්ත පොලීසයට සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට තම නිවෙස් ඉදිරිපිට තත්ත්වය පිළිබඳ පැමිණිලි කිරීමට දුරකතන ඇමතුම් ගත් නමුත් කිසිවෙක් එම ඇමතුම්වලට පිළිතුරු නොදුන්හ. මේ මැර ප්‍රහාරය මෙහෙය වූයේ පී. ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු හෙවත් “කළු ලකී” නම් එජාප මැරයා ය. ඔහු දිවුරුම් ප්‍රකාශයක් හරහා එහි වගකීම භාර ගත්තේ ය. ගනේෂලිංගම් නම් පොලිස් නිලධාරියාගේ දඩය පැය හතළිස් අටක් යෑමට පෙර ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගෙවා දමනු ලැබීය.

එජාප "කළු ලකී" මෙහෙයුම යළිත්…

“කළු ලකී” නම් එජාප මැරයා එදා මෙහෙය වූ අන්දමේ අධිකරණයට තර්ජනය කිරීමේ මෙහෙයුමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය දා දැකිය හැකි විය.

“ස්වාමීනි … පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මට බාධා කිරීම් ඇති වුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා. මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි… එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදුවුණා. ඔබ තුමියටත් එසේ වෙන්න ඇති. අපිට උසාවියට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක්. මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණයට සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවඟන අතේ තිබෙන අසිපත භාවිතා කරන ලෙස මා ඉල්ලා සිටිනවා” අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය අඟහරුවාදා (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අපේ අධිකරණ නිදහසට එල්ලවී ඇති බරපතල තර්ජනය ගැන එසේ කරුණු දැක්වීය.

ඇප ලැබුණේ අධිකරණයට කළ බලපෑම හේතුවෙන්..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලැබුණේ  තමන් අධිකරණයට කළ බලපෑම හේතුවෙන් බව විපක්ෂ නායකයෝ ඉතා විවෘත සහ පැහැදිලිව අධිකරණ භූමියේ සිට ප්‍රකාශ කළහ. එය තමන් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමක් වශයෙන් විපක්ෂය සමරනු දැකිය හැකිය. එය ඔවුන්ගේ ජයග්‍රහණයක් බවට සැකයක් නැත. එහෙත් සාක්ෂි සහිත සැකකරුවෙක් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වන්නේ කුමන පදනමකින්ද යන්න අපි නොදනිමු. පසුගිය අඟහරුවාදා යනු මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ අධිකරණ නිදහසේ කළු පැල්ලමක් සනිටුවහන් කළ දිනයකි. රටක් වශයෙන් අප ලැජ්ජා විය යුතු දිනයකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිව් දිනකට රිමාන්ඩ් කිරීම මෙරට ප්‍රභූ පංතිය කම්පනයට සහ බියට පත් කිරීමට හේතු වූ අතර නව අභියෝගයට මුහුණදීම සඳහා ඔවුහු සියළු දේශපාලන මතභේද ඉවත දමා එක පෙරමුණකට පැමිණියහ. රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රනිල් වික්‍රමසිංහ ට ඉතා සුවිශේෂී තත්ත්වයක් යටතේ හැර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නොහැකිය. ඒ සඳහා මහාධිකරණයට යා යුතුය.  එහෙත් රනිල් වික්‍රමසිංහට ගොනු කර ඇති චෝදනාවන්ගේ ස්වරූපය අනුව මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම වඩාත් දුෂ්කර වනු ඇතැයි තක්සේරු කළ ඔහුගේ නීතිඥයෝ මහේස්ත්‍රාත් අධිකරණයටම යොමු වූහ.

අධිකරණයට ප්‍රසිද්ධියේ තර්ජන සහ අපහාස කිරීම…

මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉතා සුවිශේෂී තත්ත්වයක් යටතේ ඇප ලබා ගැනීමේ පළමු උපක්‍රමය වූයේ අධිකරණයට ප්‍රසිද්ධියේ තර්ජන, බලපෑම්  සහ අපහාස කිරීමය. එය ක්‍රියාත්මක වූයේ පහත ආකාරයටය:

1) කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සිදු කළ නියෝගය ජවිපෙ මූලස්ථානය වන පැලවත්තෙන් ලබාදුන් තීන්දුවක් බව විපක්ෂයේ නායකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම 
2) කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරගේ අධිකරණ තීන්දුව පිළිබඳ විපක්ෂ නායකයෝ මාධ්‍ය සාකච්ඡා සහ මාධ්‍යයන්ට ප්‍රකාශ ලබාදෙමින් දින හතරකට අධික කාලයක් අධිකරණයට අනිසි බලපෑම් කළහ.
3) කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉලක්ක කරගත් අපහාස, උපහාස, චෝදනා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම. මේ මෙහෙයුම ප්‍රසිද්ධ වේදිකාවේ සහ සමාජ මාධ්‍යයන්හි ක්‍රියාත්මක වූ අතර එහි නායකත්වය ගනු ලැබූවේ විපක්ෂයේ නායකයන් සහ ක්‍රියාකාරීන්ය
4) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහරින ලෙස තර්ජනය සහ බලකරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ අවට ප්‍රදේශය පසුගිය අගෝස්තු 26 වන දා වැටලීම. මේ සඳහා විපක්ෂය සංවිධානාත්මකව සිය ආධාරකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය භූමියට කැඳවූ අතර විපක්ෂ නායකයෝ ඇතුළු ප්‍රධානීන් සිය ගණනක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළත රැස් වූහ.

බෙල්ලනගේ නීති විරෝධී වෛද්‍ය වාර්තා…

ඉතා සුවිශේෂී තත්ත්වයක්  යටතේ ඇප ලබා ගැනීමේ දෙවන උපක්‍රමය වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන වෛද්‍ය පරීක්ෂණ මෙහෙයුමයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ද ඔහු එක විනාඩියක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළේ නැත. ඔහු රාත්‍රියේ  බන්ධනාගාරයට ගෙන ආ සැනින් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ අතර උදෑසන කොළඹ ජාතික රෝහලේ lCU වාට්ටුවකට මාරු කරන ලදී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හය දෙනෙකු යුතු මණ්ඩලයක් පත් කිරීමට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන පියවර ගත්තේ ය. එය නීති විරෝධී මෙන්ම අසාමාන්‍ය  ක්‍රියා මාර්ගයකි. මෙවැනි අවස්ථාවක සිදු වන්නේ ගරු අධිකරණය විසින් ස්වාධීන වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කිරීමය. එහෙත් එවැනි නියෝගයක් ගරු අධිකරණය විසින් නිකුත්කර නොමැති තත්ත්වයක් යටතේ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලනට වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට බලය ලැබුණේ කෙසේ ද? විශේෂයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයෙකු සිටිය දී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රඟපෑ භූමිකාව සැක කටයුතුය. 

එජාප ආසන සංවිධායක බෙල්ලන…

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන යනු ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඔහු කාලයක් එජාප දේශපාලනයේ නිරත වූ අතර පසු සජිත් පේමදාසගේ සමඟි ජන බලවේගය සමඟ එක් විය. ඔහු සජිත් ගෙන් ඉවත්වී පසුගිය ජූලි මාසයේ නැවත එජාපයට එක් විය. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන යනු එජාපයේ වර්තමාන උතුරු කොළඹ  ආසන සංවිධායකවරයා ය. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් ආර්. බෙල්ලන එජාප ආසන සංවිධායකධූරය දැරීම සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කළේ ය. මාස ගණනක් ගතවුව ද එම පැමිණිල්ල සම්බන්ධයෙන් අද වන තුරු කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැත. එජාපයේ වර්තමාන උතුරු කොළඹ  ආසන සංවිධායකවරයා වන ආර් බෙල්ලන,  එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීම ලබැඳියාවන් අතර ගැටුමක් ඇති කරන්නකි. ඔහු පසුගිය දින කිහිපයේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මාධ්‍යයට සිදු කළ ප්‍රකාශ මගින් පැහැදිලි වන්නේ ඉතා සුවිශේෂී තත්ත්වයක් යටතේ ඇප ලබා ගැනීමේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන වෛද්‍ය පරීක්ෂණ මෙහෙයුමට නායකත්වය ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන බවයි. 

අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතුයි….

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලනගේ වෛද්‍ය මණ්ඩල වාර්තාව ඉතා සුවිශේෂී තත්ත්වයක්  යටතේ ඇප ලබා ගැනීමේ සුදුසුකමක් නොවන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගෝස්තු 26 වන දා කරුණු දක්වමින් පැවසීය. මේ නඩුකරය පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා මෙම අවස්ථාවේදී ඇප පනත අදාළ වන්නේ නැතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ප්‍රදානය කරන්නේ නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේ ය. ඒ අනුව, පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී කියා  සිටියේ ය. “ඒ අනුව, ඇප ඉල්ලීම සමග පසුගිය 22 වන දාට වඩා අලුත් සුවිශේෂී කරුණු කිසිවක් අද ඉදිරිපත් වෙලා නෑ. මේ සැකකරුට ඇති රෝගී තත්ත්වයන් පිළිබදව අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතු යි” ඔහු අවධාරණය කළේ ය.

අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීම…

මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හය දෙනෙකු විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව පැවසූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, එම වාර්තාවට අනුව මෙම සැකකරු දෙවන මට්ටමේ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පසු වන බවත්, පාලනය කර නොහැකි අධිරුධිර පීඩන තත්ත්වයකින් පසු වන බවත්, වකුගඩු රෝගී තත්ත්වයක් මෙන් ම නිදා ගැනීමට බාධා සහිත තත්ත්වයකින් පසු වන බවත් ඇය සඳහන් කළා ය. ඒ අනුව, මෙම සැකකරු සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබිය යුතු පුද්ගලයෙකු බවත්, එසේ නොවුවහොත් ඔහුගේ ජීවිතයට අවදානමක් ඇති විය හැකි බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බව මහේස්ත්‍රාත්වරිය පැවසීය. ඒ අනුව, මෙම වෛද්‍ය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.

එදිරිවීර ප්‍රේමරත්න එරෙහි නීතිපති නඩු තීන්දුව...

විපක්ෂය මෙහෙයවූ අධිකරණයට ප්‍රසිද්ධියේ බලපෑම්, තර්ජනය සහ අපහාස කිරීම හරහා අධිකරණය බිය ගැන්වීමේ උපක්‍රමය සහ වෛද්‍ය පරීක්ෂණ මෙහෙයුම ජය ගත්තේ ය. පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතුය. බන්ධනාගාරයේ හෝ ජාතික රෝහලේ ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයන් අසාමාන්‍ය තත්ත්වයන් සේ නොසළකන බව එදිරිවීර ප්‍රේමරත්න එරෙහි නීතිපති නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන්ය. එම නඩු තීන්දුව නව නීති පටිපාටියක් බවට පත්විය. 

අහෝ ඛේදයකි, මහාචාර්ය ජී. එල් පීරිස්..

විපක්ෂ නායක සජිත් පේමදාස ඇතුළු විපක්ෂ නායකයන් අධිකරණය බිය ගැන්වීමේ උපක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබූවේ හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට අවස්ථාවක් ඇති බව දැන දැනය. ඒ පිළිබඳ මහාධිකරණයේදී යම් ප්‍රමාදයක් ඇතිවන්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණ තීරණයට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට හැකිය. මහාධිකරණයෙන් සාධාරණයක් ඉටු නොවූවේ නම් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව තිබේ. මේ නීතිමය ක්‍රියාදාමය දැන දැනම මහේස්ත්‍රාත් අධිකරණ තීරණයට එරෙහිව බලපෑම් සහ තර්ජනය කිරීමට මූලිකත්වය ගනු ලැබූවේ මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රාමාණික බුද්ධිමතෙකු ලෙස සැළකෙන මහාචාර්ය ජී. එල් පීරිස් ය. එය සැබවින්ම ඛෙදවාචකයකි. එදා නිවැරදි අධිකරණ තීන්දු ලබාදීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගසා හූ කියූ පක්ෂයක වර්තමාන නායකයන් මහේස්ත්‍රාත් අධිකරණ බිය ගන්වා තමන්ට අවශ්‍ය තීන්දු ලබා ගැනීම පිළිබඳ පුදුම විය යුතු නැත‍ෙ

අධිකරණයට දබරැඟිල්ල පෙන්වීම..

එහෙත් වර්තමාන විපක්ෂය මහේස්ත්‍රාත් අධිකරණයට දබර ඇඟිල්ල පෙන්වා බිය ගැන්වීම ඉදිරියේදී මහාධිකරණයට, අභියාචනාධිකරණට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ද යෑමට නියමිතයි. හෙට රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගතහොත් ඔවුන්ගේ මැරයෝ මහේස්ත්‍රාත් අධිකරණ තුළට කඩා වැදී තමන්ට අවශ්‍ය තීරණ ලබා ගැනීමට බලපෑම් කරනු ඇත. හිටපු ජනාධිපතිවරයාට ඇප ලබාදීම ජනතාවගේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අර්ථ දැක්වීමට උත්සාහ කළ ද අධිකරණය බිය කර තමන්ට අවශ්‍ය නියෝග ලබා ගැනීම අධිකරණ නිදහසේ මළගම අපි අවධාරණය කරමු.

මේ කවුද? මොනවද කරන්නේ?

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ බිය කර හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ පසුගිය අඟහරුවා දා (26) අධිකරණ භූමියේ සැරිසැරූ ප්‍රධාන චරිතයක් වූයේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතම හිතවතකු මෙන්ම මාලිමා ආණ්ඩුව යටතේ විසිදෙනෙකුට අධික පොලිස් ආරක්ෂාවක් සහිතව වැජඹෙන ටිරාන් අලස් ය. ලංකාවේ බල දේශපාලනය පිළිබඳ තියුණු අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට ටිරාන් අලස්ගේ දර්ශනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලැබීම පිළිබඳ පෙර සංඥාවකි. උඩ බලාගෙන කෙල ගැසීමට අකමැති බැවින් මේ පිළිබඳ වැඩි විස්තර හෙළි කිරීමට අපේ කැමැත්තක් නැත.

ශානිලාගේ ජීවිත සමඟ යළිත් සෙල්ලම් නොකරන්න…

එහෙත් මේ මොහොතේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතා සහෝදරාත්මකව සහ  ගෞරවයෙන් මතක් කළ යුතුව ඇත්තේ ඔබ දෙවුර මත ක්‍රම සහ සමාජ වෙනසක් පිළිබඳ ලක්ෂ හැට අටකගේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඇති බවයි. විශේෂයෙන් ශානි අබේසේකර, රංග දිසානායක ඇතුළු නිළධාරීන් රාශියක් තමන්ගේ මෙන්ම තම පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත අනතුරු ගැන නොසළකමින් ප්‍රභූ දූෂිත ජාලයට එරෙහිව සටන් කරමින් සිටිති. කරුණාකර ඔවුන්ට ධෛර්යයක් වන්න. ප්‍රභූ දේශපාලන පංතිය සමඟ ඇති කර ගන්නා එකඟතා, අවබෝධතා හරහා ඔවුන්ගේ ජීවිත අනතුරට පත් නොකරන්න. ඔවුන්ගේ සහ එම පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත විනාශ නොකරන්න. වසර 2015 යහපාලන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් ශානි අබේසේකර ඇතුළු පොලීස් නිළධාරීන්ට නිරපරාදේ වසර ගණනාවක් අත්අඩංගුවේ පසුවීමට සිදුවූ අතර තවත් අයට ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රටින් පලායෑමට සිදුවිය. 

අධිකරණ නිදහසට එරෙහි  තර්ජනය පරාජය කරමු..

අපේ රටේ ප්‍රභූ පංතියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වගාඩම්බර කථා මේ දිනවල නිරත ඇසේ. එහෙත් එම ඉලක්කයට යෑමට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ බිය කර හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලනගේ නීති විරෝධී මැදිහත්වීමට එරෙහිව දැඩි පියවර ගන්න. අධිකරණ නිදහසට එරෙහි තර්ජනය මේ මොහොතේ පරාජය නොකළහොත් ඉදිරියේ දී එය මහා වෘක්ෂයක්සේ වැඩෙනු ඇත.

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-08-27 20:40:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links