~

මියෑදුණු තැපැල් වර්ජනයේ "පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව"

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.28, ප.ව‍.8.30) තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පසුගිය  අගෝස්තු 17 වැනිදා පස්වරු 4 සිට සේවයෙන් ඉවත් වීමෙන් ආරම්භ කළ වැඩවර්ජනය අගෝස්තු 25 වන දින රාත්‍රියේ දී අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු, නිල වශයෙන් අවසන් කළේය. 

මෙම වර්ජනයට හේතු ලෙස ඔවුන් දැක් වූයේ, අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යන්ත්‍ර වල පැමිණීම සහ පිටවීම සටහන් කිරිම ඇතුළු කරුණු  19 ක් සම්බන්ධයෙන් පවතින ගැටලු වලට විසදුම් සොයා ගත යුතු බවය.

මෙම වර්ජනයට එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය, ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති 23 ක් සහභාගි විය. 

දිවයින පුරා තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 70ක සේවකයින් 18000ක් වැඩ වර්ජනයට එක්ව සිටියහ. තැපැල් වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයේ නිරත වුයේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබූ පසුබිමක ය. වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අතහැර සාකච්ඡා සදහා පැමිණෙන්නැයි තැපැල්පතිවරයා සහ ඇමැති වරයා වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටිය ද වර්ජකයෝ ඊට කන් දුන්නේ නැත.

මේ වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථානවල ලිපි ලක්ෂ 15 කට අධික ප්‍රමාණයක් ගොඩගැසුනු අතර, තැපැල් පාර්සල්  බෙදාහැරීම විශාල ලෙස පසුබෑමකට ලක් වී ජනතාව විශාල අපහසුතාවයකට පත් විය. 

රජයේ පාර්ශවයෙන් සෘජු තීන්දුවක්....

මේ අතර රජයේ පාර්ශවයෙන්.  ඇමැතිවරයා සිටියේ සෘජු තීන්දුවක ය. ඔහු කියා සිටියේ වර්ජකයෝ පවසන පරිදි අතිකාල දීමනා ලබාදීමට සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර වල පැමිණීම සහ පිටවීම සටහන් කිරීම නවතා දැමීමට රජය කිසිසේත්ම ක්‍රියා නොකරන බවය.

වර්ජකයෝ ඉදිරිපත් කර ඇති අනිත් ඉල්ලීම් 17 ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් මේ වන විටත් ගනිමින් සිටින බවත්, අතිකාල සහ ඇඟිලි සළකුණු යන්ත්‍ර සවිකිරීම යන කරුණු දෙකට අදාළ වර්ජකයන්ගේ ඉල්ලීම කිසිසේත්ම ඉටු නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අනතුරුව රජය නිවේදනය කළේ, වර්ජකයන්ගේ මාසික පඩිය ගෙවීම් නතර කරන්නටත් සේවයට නොපැමිණෙන අය සේවය අත්හැර ගියා සේ සැලකීමටත් සූදානම් බව ය.

මෙම වර්ජනයේ දී, වර්ජකයෝ, තමන් ඇඳ සිටින රෙදි උස්සා ජනතාවට පෙන්වීමේ සිට සත්‍යග්‍රහ කිරීම් දක්වා විරෝධතා ව්‍යාපාර සිදු කරන්නට පටන් ගත් නමුත්, අවසානයේ ඔවුන්ට සිදු වූයේ කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමකින් තොරව වර්ජනය නවතා නැවත සේවයට යෑමට ය.

වර්ජනය අසාර්ථක වුයේ ඇයි ? 

මෙම වර්ජනයෙන් සේවකයන්ගේ පූර්ණ හො අර්ධ හෝ අරමුණ ඉටු නොවූ බව ඉතා පැහැදිලිය. ඒ අනුව ප්‍රායෝගිකව බලන විට මෙම වර්ජනය අසාර්ථක වර්ජනයකි. වර්ජනය මෙසේ අසාර්ථක වුයේ ඇයි? 

වර්ජකයන්ගේ ඉල්ලීම් සැලසුම් කිරීමේ දුර්වලතා, ජනතා සහාය නොලැබීම, සටන් විධික්‍රම තෝරා ගැනීමේ නොහැකියාව යන කරුණු මෙම වර්ජනය අසාර්ථකවීමට බලපෑ කරුණු අතරින් ප්‍රධාන ය.

මේ සියල්ල සකස් කර ගැනීමේදී සලකා බැලිය යුතු ඉතා ම වැදගත් සහ ප්‍රධාන කාරණය වන්නේ පවතින දේශපාලනික සහ සාමාජයීය වාස්තවික තත්ත්වය ගණනය කිරීම ය. එය නොසලකා සැලසුම් සකස් කරන ඕනෑම ක්‍රියාවක් අවසන් වන්නේ අසාර්ථකත්වයෙන් සහ පරාජයෙනි. තැපැල් වර්ජනයට මුහුණ දීමට සිදු වූයේ එම ඉරණමට ය.

ඉල්ලීම්වල ප්‍රමුඛතා හඳුනා නොගැනීම...

ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී අදාළ ඉල්ලීම් වල ඇති වැදගත්කම පැහැදිලිව සකස් කළ යුතුය. වැඩි වැදගත් කමකින් යුතු ඉල්ලීම් අතරට, අඩු වැදගත් කමකින් යුත් ඉල්ලීම් ඇතුළත් කොට, ඒවා වැඩි බරකින් ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ විට රජය සහ ජනතාව ඒවාට එරෙහිව දක්වන්නේ දැඩි ප්‍රතිචාරයකි. 

ඇඟිලි සළකුණු යන්ත්‍ර සවිකිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සහ අතිකාල දීමනා ලබා ගැනීමේ යෝජනා මෙම වර්ජනය දූර්වල කිරීමට හේතු වූ අඩු වැදගත් කමකින්  හෝ ඇතැම් විට නොවැදගත් ඒවා විය. ඒ නිසා එම ඉල්ලීම් වැඩිපුරම ගැටුම් ඇති කළ ඉල්ලීම් විය. එයින් සිදු වූයේ වර්ජනයේ මුල් අරමුණ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමය..

ජනතා අනුකම්පාව බිඳ  වැටීම හා සටන් විධික්‍රමවල අසාර්ථකත්වය..

සතියකට වඩා වැඩි කාලයක් දිවයින පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා ලිපි සහ පාර්සල් බෙදා හැරීම පසුබෑමකට ලක් විය. මෙයින් සාමාන්‍ය ජනතාව විශාල අපහසුතාවයකට පත් විය. මේ නිසා වර්ජකයන් කෙරෙහි ජනතා අනුකම්පාව බිඳ  වැටෙන්නට පටන් ගත් අතර පසුව එය සම්පූර්ණයෙන්ම අඩු විය. අවසානයේ වර්ජකයන්ට එරෙහිව සමාජ විරෝධය තීව්‍ර වන්නට විය.

සටන් විධි ක්‍රමය තෝරා ගැනීම ද සම්පූර්ණයෙන්ම අසාර්ථකය. වර්ජනයට පෙර, අකුරට වැඩ කිරීම, සංකේතාත්මක විරෝධතා, ක්‍රමවත් මාධ්‍ය සහායක් ලබා ගැනීම වැනි පියවරයන් ගණනාවක් ගත යුතුව තිබුණි. ඒ කිසිවක් සිදු නො කොට හිටි හැටියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ප්‍රකාශ කොට ක්‍රියාත්මක කිරීමට යෑමෙන් පෙන්නුම් කළේ වර්ජකයන්ගේ අධි තක්සේරුවය. එය ඇතැම් විට පරාජිත දේශපාලන පක්ෂවල දිරච්ච ලණු කෑමේ ගොන්කමක් වන්නටත් පුළුවන. 

මෙම වර්ජනයේ දී, අනෙකුත් වෘත්තීය සමිති සහයෝගීතාවය තබා, තැපැල් සේවා ව තුළ සිටින අනෙකුත් ක්ෂේත්‍රයන් ගේ සහායවත් ලබා ගැනීමට මෙම වර්ජකයන් ට නොහැකි විය. මෙම වර්ජනය පොදු අරගලයක් බවට පත් කර ගැනීමට, අදාළ වෘත්තීය සමිති වලට නොහැකි විය. 

දේශපාලනික සහ සමාජීය වාස්තවික තත්ත්වය ගැන වැරැදි තක්සේරුව......

දේශපාලනිකව සහ සමාජීය වශයෙන් රට තුළ මේ වන විට පවතින වාස්තවික තත්ත්වය පිළිබඳව නිවැරැදි තක්සේරුවක් මෙම වර්ජනය කැඳවූවන්ට නොතිබුණු බව ඉතා පැහැදිලිය.

පවතින ආණ්ඩුව මීට පෙර පැවැති ආණ්ඩු වලට කිසි සේත් ම සමාන නොවන බව වටහා ගත යුතුය. එය පලමු කටයුත්ත විය යුතුව තිබිණ. මෙම ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ සිදු කරන කුමන්ත්‍රණයකින් හෝ ඔලු ගෙඩි මාරුවකින් හෝ කිසි විට බිඳ දැමීමට නො හැක. විපක්ෂය මොන මත පළ කරතත්, මේ ආණ්ඩුව බිඳ දැමීමට නම් අඩුම තරමින් තව වසර හතරක් බලා සිටිය යුතු බව ස්ථීරය. 

අනෙක් අතට මේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් හෝ දැඩි ලෙස පළුදුවීමකට ලක් වී නැත. සුළු වශයෙන් හෝ යම් කලකිරීමක් තිබුණත්, ඒ කලකිරීම පවා මතු වී ඇත්තේ, දූෂිතයන්ට දඬුවම් දීම වේගවත් නොවේ යන හැඟීම මතය.

ජනතා අපේක්ෂාව සහ ආණ්ඩුව හඳුනා නොගැනීම.......

මේ ආණ්ඩුව බලයට පත් වී තවමත් ගෙවී ඇත්තේ වසරකටත් අඩු කාලයකි. ඒ කාලය තුළ මේ ආණ්ඩුව කරවන්නන් විසින් පෙන්වා ඇති අදූෂිත භාවය, වරප්‍රසාද  අත්හැරීමේ හා කැප කිරීමේ ආදර්ශය මගින්, මේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය හා ප්‍රසාදය තවත් වැඩි කරගෙන ඇති බව මැදහත් මනසකින් බලන්නෙකුට වටහා ගැනීමට අපහසු නැත.

මීට පෙර පැවැති ආණ්ඩුවලට සාපේක්ෂව, වත්මන් පාලකයන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටළු වලට විසඳුම් සොයා ගැනීමට ඇති හැකියාව පුළුල් ය. තමන්ගේ වරප්‍රසාද කැප කරන පාලකයන් සිටින ආණ්ඩුවක් සමඟ ගනුදෙනු කිරීමේ දී, පැරණි දූෂිත පාලකයන් සහිත ආණ්ඩු සමඟ ගනුදෙනු කළ ආකාරයට මෙන් ගනුදෙනු කිරීමට යෑම අනුවණ කමකි.

විපක්ෂයේ ලනු කෑම.....

මේ ආණ්ඩුව බලයට පත් වූ දිනට පසුදා සිටම විපක්ෂය උත්සාහ ගනිමින් සිටින්නේ, පවතින ආණ්ඩුව බිඳ දමා තමන් වෙත ආණ්ඩු බලය ලබා ගැනීමට ය. එය සාමාන්‍ය සිද්ධියකි. නමුත් රටක වැඩකරන පංතියේ වෘත්තීය සටන් ඇතිවෙන්නේ අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ ගැටළු විසඳා ගැනීමටය. එම සටනේ ස්වභාවය, සටන ආරම්භ කිරීමේ අනුපිළිවෙල, සටන පවත්වාගෙන යාම සහ සටන ජයග්‍රහණයෙන් කෙලවර කර ගැනීම යන මේ සියල්ල නිවැරදි ලෙස ඉටුකර ගත හැක්කේ, ඒ අවස්ථාවේ රට තුළ පවතින දේශපාලන හා සමාජයීය වාස්තවික තත්ත්වය නිවැරදිව හඳුනා ගත හොත් පමණි.

අසාර්ථක තැපැල් වර්ජනයේ සැබෑ යථාර්ථය වූයේ, පවතින දේශපාලන හා සමාජයීය වාස්තවික තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන ඊට අනුව ක්‍රියාත්මක වීමට වෘත්තීය සමිති නායකයෝ අපොහොසත් වීමය. මෙය තැපෑලට පමණක් සීමා වන්නේ නැත. ඉදිරියේ දී ඕනෑම ක්ෂේත්‍රයක් තුළ ඇති වන සටන් වලට මෙය පොදු සාධකයක් වනු ඇත.

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-08-28 15:09:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links