~

දූෂනය නිසා ලෝකයට වසරකට ඩොලර් මිලියන 305,000,000 ක් (ට්‍රිලියන 3.5ක්) අහිමි වෙනවා..! නමුත් අන්ත දුප්පත්කම නැති කරන්න යන්නේ වසරකට ඩොලර් මිලියන 325 යි..! එනිසා දූෂනයට විරුද්ධ වීම සංස්කෘතියක් කර ගත යුතුයි..!

-අගමැතිනි ආචාර්ය හරිනි දූෂනයේ ගැඹුර කියාදෙයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.28, ප.ව‍.9.45) දූෂනය යනු ගෝලීය මට්ටමින් පවතින අභියෝගයක් බවත්,  දූෂනය නිසා ලෝකයට වාර්ෂිකව සිදුවන අහිමි වීම ඩොලර් ට්‍රිලියන 3.5 කට ආසන්න නමුත් අන්ත හා නිරපේක්ෂ දරිද්‍රතාව අවසන් කිරීමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 70-325 අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ආර්ථිකයකට දූෂණය ඇති කරන බලපෑම කෙතරම් ද යන්න අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. දූෂනය නිසා සිදුවන මහජන මුදල් නාස්තියට වඩා සිදුවන මහජන විශ්වාසය පළුදු වීම සේම සිදුවන දේශපාලනික, සමාජමය හානිය අති විශාල බවද ඇය අවධාරණය කළා ය. 

ඇය මෙසේ කීවේ අද (28) බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති 'දූෂණ විරෝධී නීතිය හා සුපිළිපන්බව' යන මැයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන,  අල්ලසින් හා දූෂණයෙන් තොරවූ පළාත් පාලන ආයතන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් පවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩමුළුවට සහභාගී වෙමිනි. මෙම වැඩමුළුවට අභිනවයෙන් පත්වූ පළාත් පාලන සභිකයෝ පිරිසක් ද සහභාගී වූහ. වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවා ය.

“ඔබ නියෝජනය කරන්නේ පරිපාලන අංශය හා ජනතාව හමුවන මූලිකම ස්ථානයයි. අප ගන්නා සෑම තීරණයක්ම ක්‍රියාමාර්ගයක්ම සලසන සෑම සේවයක්ම ජනතාවට ලැබෙන්නේ ඔබ හරහා. 

එහිදී  විවිධ අංශවල සංවර්ධනයන් ඇතිකිරීම මෙන්ම පුරවැසියන්ගේ විශ්වාසය ඇතිකිරීමත් කළ යුතු වෙනවා. නමුත් එහිදී දූෂණය වාංචාව ඇතුළු තවත් අවදානම් ගණනාවක් පැනනැගිය හැකි බව ඔබ තේරුම් ගත යුතුයි. මේ නිසා අප විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. වගවීම සහතික කළ යුතුයි. 

දූෂනය යනු ගෝලීය මට්ටමින් පවතින අභියෝගයක්.  ලෝක ආර්ථික සංසදයේ වාර්තා අනුව, දූෂනය නිසා ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව සිදුවන අහිමි වීම ඩොලර් ට්‍රිලියන 3.5 කට ආසන්නයි.  නමුත් අන්ත හා නිරපේක්ෂ දරිද්‍රතාව අවසන් කිරීමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 70-325 අතර ප්‍රමාණයක්. මෙයින් ආර්ථිකයකට දූෂනය ඇති කරන බලපෑම කෙතරම් ද යන්න පැහැදිලියි. මේ ආකාරයට ආර්ථිකයකට අහිමිවන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා යටිතල පහසුකම් වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා පවතින මුදල්. මහජන මුදල් නාස්තිය පමණක් නොවේ. මහජන විශ්වාසය පළුදු වීම මෙන්ම සිදුවන දේශපාලනික, සමාජමය හානිය අති විශාලයි. 

දූෂනය සංස්කෘතියක් වෙලා.. වෙනස් කළ යුත්තේ ඔබමයි..

අපි දූෂනය ගැන කථා කරද්දී මහා පරිමාණ දූෂනයන් හා සුළු පරිමාණ හැටියට වර්ගීකරණය කරනවා. ඒකේ ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒක සංස්කෘතියක් වෙලා. එය වෙනස් කිරීම තමයි වැදගත් වෙන්නෙ. දූෂනය නිසා ප්‍රජාවට සිදුවන බලපෑම නතර කිරීම තමයි වැදගත් වෙන්නෙ. දූෂිත සංස්කෘතිය තුළ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා සම්බන්ධතා හෝ මුදල් අවශ්‍ය වෙනවා. නමුත් බහුතරය මෙවන් සම්බන්ධතා නොමැති පිරිසයි. එහෙම අය මේ රටේ වැඩක් කරගන්නේ කොහොමද? 

මේ යථාර්ථය, දූෂිත සංස්කෘතිය අප තේරුම් ගත යුතුයි. මෙය වෙනස් කළ යුත්තේ ඔබමයි. මෙතැන සිටින බහුතරයක් ඔබ මේ දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමට උරදුන් පිරිස සහ දූෂන විරෝධී බව නියෝජනය කරන පිරිසක්. එය යථාර්ථයක් කරන්න තමයි දැන් අපට අවස්ථාව ලැබිලා තියෙන්නේ. අප පුරවැසියන්ට වගකිව යුතුයි. සාධාරණබව ඔවුන්ට දැනිය යුතුයි. මහජන සම්පත් ඵලදායීව හා විනිවිදභාවයෙන් භාවිතා කරන බව සහතික කිරීමට කැපවී සිටින බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීම අතිශය වැදගත්.

නමුත් වෙනස් කිරීම කියන්නේ නිලධාරීන් සමඟ අරගල ඇති කර ගැනීම නොවේ. නිලධාරීන් මාරු කිරීම නොවේ. අප මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ වෙනස තාක්ෂනික වෙනසක් නොවේ. සංස්කෘතිකමය වෙනසක්. ආධ්‍යාත්මික තත්වයක්. මෙය ඇති කිරීමටයි ඔබ සියළු දෙනා මේ ස්ථානවලට තනතුරුවලට පත්වී තිබෙන්නේ. එම පරිසරය ගොඩනැංවීම, ආදර්ශය ලබා දීම, මඟ පෙන්වීම ඔබෙන් සිදු වෙන බව මම දන්නවා. ඔබ ඒ වෙනුවෙන් පෙනී සිටි අය. 

නමුත් මේ දූෂන විරෝධි සංස්කෘතිය අප කණ්ඩායමක් අතර පමණක් තබාගෙන අප කණ්ඩායමක් ලෙස වෙනස්ව සීටීම ප්‍රමාණවත් නෑ.  එය සමස්ත රටේම සංස්කෘතිය බවට පත්කරගැනීමයි අපට ඇති අභියෝගය.  මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම පොදු සමාජය ද ආමන්ත්‍රණය කරන ඉතා පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. නීතිය ශක්තිමත් කිරීම මෙන්ම විනිවිදභාවය, රාජ්‍ය වියදම් පාලනය ඇතුළු සියල්ලට එහා ගිය ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා.

අප අපගේ හෘද සාක්ෂිය අවදි කරගත යුතුයි..

ඒ සඳහා අප අපගේ හෘද සාක්ෂිය අවදි කරගත යුතුයි. මෙය සටනක් නොවේ. නමුත් මෙම පරිවර්තනීය වෙනස සඳහා ශක්තිමත්ව, එඩිතරව ඔබේ වගකීම ඉෂ්ඨ කරන්න එයට අවශ්‍ය නායකත්වය ලබා දෙන්න," යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය. 

මෙම අවස්ථාවට  රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්. එම්. එච්. අබේරත්න , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් , අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග.එස්.ඒ. දිසානායක , නවක පළාත් පාලන සභිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

---------------------------
by     (2025-08-28 16:28:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links