~

දේපොල රාජසන්තක වෙතැයි බියෙන් රාජිත බාර වෙයි..! 'සැකකරු විශ්වාස කරන්න බෑ' යි කී විනිසුරු රාජිතව රිමාන්ඩ් කරයි..!

-රාජිත කළ පාඩුව රනිල්ට වැඩියි; රු කෝටි දෙකයි ලක්ෂ හැට දෙකකට වැඩියි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.29, ප.ව‍.9.45) අධිකරණය මග හරිමින් සැඟවී සිටි හිටපු ඇමැති දොස්තර නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය පසුගිය 21දා නොතීසි නිකුත් කර තිබියදී අද දිනයේ ද අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් තම දේපොල රාජසන්තක වීමේ අනතුරක් තිබෙන බව දැනගැනීමෙන් අනතුරුව රාජිත අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. 

නමුත් ඔහු පෙනී සිටියේ නොතීසි නිකුත් කර තිබූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නොවේ. වෙනත් නඩු කරයක් විභාග වෙමින් තිබූ ‍කොළඹ මහාධිකරණ හමුවේ ය. එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ, රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් භාරයට පත්කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව බන්ධනාකාර නිලධාරීන් රාජිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ලබන සැප්තැම්බර් 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියම කළේය. ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රාජිතව ලබන 03 වනදා පෙරවරු 9.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා  බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කෙළේ ය.

පැමිණිල්ල නිර්නාමික නමුත්..

අධිකරණයේ දී නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළාය.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු "සී වූ" සමාගම වෙත පැවරීමට මෙම සැකකරු කටයුතු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබු බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවාය.

අනුමැතියකින් තොරව "Approved" කීවා..

පොදු මූල්‍ය රෙගුලාසිවලට අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවකින් අනුමැතියක් ලබාගෙන එය යම් සමාගමකට පවරනවාද? නැද්ද? යන්න තීන්දු කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එහෙත් මෙම සැකකරු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නීත්‍යානුකූල අනුමැතියෙන් ලබා ගැනීමකින් තොරව "Approved" යනුවෙන් සඳහන් කරමින් අනුමැතිය ලබාදී ඇති බවත් සඳහන් කළාය.

නිලබලය අයුතු ලෙස භාවිතා කරමින් අත්නෝමතිකව.. 

මෙවැනි ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමට පෙර පාරිසරික අධ්‍යයන ඇගැයීම් වාර්තා මෙන්ම ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගත යුතු වුවත් මොහු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිය නිලබලය අයුතු ලෙස පරිහරණය කරමින් අත්නෝමතික මෙන්ම තනි කැමැත්තට කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය අදාළ කොරියානු සමාගම වෙත පැවරීමට කටයුතු කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නාය. 

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව අදාළ කොරියානු සමාගමට එය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පහසුකම් නොතිබූ බවත් අවසානයේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලි කැණීම් සඳහා යොදා ගන්නා "වැලි ගෝව්වා" නැමති නෞකාවත් එම සමාගම වෙත ලබාදීමට කටයුතු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඇය පෙන්වා දුන්නාය.

පාඩුව රනිල් කළාට වඩා වැඩියි; රු කෝටි දෙකයි ලක්ෂ හැට දෙකකට වැඩියි..

මේ තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවත් ඇය කියා සිටියාය. 

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජූලි මස දෙවනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම සැකකරුට දැනුම්දීම් සිදුකළත් ඔහු අසනීප බව සඳහන් කරමින් කොමිසම හමුවට නොපැමිණි බවත් වෛද්‍ය වාර්තාවක් වෙනුවට ඔහු විසින් බෙහෙත් වට්ටෝරුවක් කොමිසමට එවා තිබූවත් ඇය කියා සිටියාය. (මෙහි සඳහන් කළ බෙහෙත් වට්ටෝරුව ලියා තිබුනේ ද දැනට කුප්‍රකට වී ඇති දොස්තර රුක්ෂාන් බෙල්ලන විසිනි)

ඉන් අනතුරුව ඔහු විසින් අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔහු එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරල්වරිය පෙන්වා දුන්නාය. 

එම ප්‍රතිශෝධන පෙත්සමට අදාළව මහාධිකරණය විසින් නොතීසි පමණක් නිකුත් කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කිසිදු අතුරු නියෝගයක් නිකුත් නොකළ බව ඇය අධිකරණයට පෙන්වා දුන්නාය.

ඉන් අනතුරුව මෙම සැකකරු විමර්ශනවලට සහාය නොවී මඟහරිමින් සිටින නිසා අගෝස්තු මස 12 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් වරෙන්තුවක් ලබාගත් බවත් ඇය සඳහන් කළාය. 

කොමිසමට එන්නේ නැතිව පුතා ලවා මාධ්‍ය සංදර්ශන තිබ්බා..

සැකකරු කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදීම වෙනුවට කොමිසම සහ අධිකරණය මඟහරිමින් ඔහුගේ පුත්‍රයා සහ වෙනත් සහාය දක්වන පිරිස් ලවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ බවත් මේ හේතුවෙන් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඇය කියා සිටියේය. 

ඒ අනුව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.

මේ වන විට සියලු දූෂිතයන්ගේ නීතිඥයා ලෙස අධිකරණ හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න රාජිත වෙනුවෙන් ද පෙනී සිටිමින් ඕනෑම ඇප කොන්දේසි මත නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සැකකරු විශ්වාස කරන්න බෑ..

දෙපාර්ශයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත‍්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් "සැකකරුවකුට නීතියෙන් නියම කර ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකියාව තිබෙනවා. ඒ අයිතිවාසිකම අධිකරණය පිළිගන්නවා. නමුත් මෙම සැකකරු මුල් අවස්ථාවේ සිට මේ දක්වා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට නොමැති බව අධිකරණයට පෙනී යනවා. ඔහු විමර්ශනයවලට සහාය ලබා නොදීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස්වන පරිච්ඡේදය යටතේ පියවර ගැනීමට අල්ලස් කොමිසමට සිදු වී තිබෙනවා. මෙම වාතාවරණය යටතේ සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට සහාය ලබාදෙනු ඇතැයි විශ්වාස කරන්න බැහැ. එසේ වූවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙනී යනවා" යනුවෙන් සඳහන් කරමින් රාජිතගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාර නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

---------------------------
by     (2025-08-29 16:29:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links