~

රනිල්ට දැන් සනීප ද..? වෛද්‍ය වාර්තා දුන් විශේෂඥ වෛද්‍යවරු රෙදි අඳිනවා ද?

-ආනුභාවනන්ද අසයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.29, ප.ව‍.10.40) සෑම අඳුරුවලාවකම රිදී රේඛාවක් තිබේ. රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීමේ සිද්ධියේදීත් රිදී රේඛාවක් මතු විය. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, හිටපු ජනාධිපතිවරයාව සිව් දිනකට රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමඟිනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාරගත විය යුතු වුවද ඔහු එක විනාඩියක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළේ නැත. එදින රාත්‍රියේ  බන්ධනාගාරයට ගෙන ආ ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඒ සැනින් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ අතර උදෑසන කොළඹ ජාතික රෝහලේ lCU වාට්ටුවකට මාරු කරන ලදී. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හය දෙනෙකු යුතු මණ්ඩලයක් පත් කිරීමට එජාප ආසන සංවිධායක සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන පියවර ගත්තේ ය.

හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා…

එජාප ආසන සංවිධායකගේ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව පසුගිය අඟහරුවාදා (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට ඉදිරිපත් කරනු ලැබූවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබාගැනීම සඳහා ය. මේ වෛද්‍ය මණ්ඩල වාර්තාව පදනම් කර ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයට  කරුණු ඉදිරිපත් කළේ ය.

"ස්වාමීනි, මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළාට පස්සේ බන්ධනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ කීපයක් කර තිබෙනවා. ඒ පරීක්ෂණ කළේ, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වුණේ මේ සැකකරු බන්ධනාගාර රෝහලේ තියාගන්න බෑ කියලා. ඒ අනුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා "  යැයි පැවසූ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න "ස්වාමීනි, සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘදය වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේ ම නින්දේදී හුස්ම හිරවීමක් සිදු වෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24 ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්. බන්ධනාගාරගත වීමෙන් ඔහුගේ මානසික ආතතිය වැඩි වෙනවා" යනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කළේ ය. 

රනිල් පැන්නේ මාරකයක් ද?

වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගැඹුරින් හැදෑරීමක් නොකළ සාමාන්‍ය පුද්ගලයෙකු වුවද ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න  ඉදිරිපත් කළ විස්තරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බියට මෙන්ම කම්පාවට පත්වනවා නොඅනුමාන ය. අපි මේ වාර්තාවේ ඉදිරිපත් වූ කරුණු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සහ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසූවෙමු. ඔවුන්ගේ පොදු අදහස වූයේ “හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා” යන නිරීක්ෂණය පිළිබඳව වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු අතර එය බොහෝ දුරට හදිසි ශල්‍යකර්මයක් විය හැකි බවයි. හිටපු ජනාධිපතිවරයාට තිබෙන අනෙකුත් රෝග සහ සංකූලතා සළකන විට ඔහු ඇඳෙන් නො බැස දිර්ඝ කාලයක් විවේක ගතයුතු බව ඔවුහු පෙන්වා දුන්හ. සැබැවින්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාරකයක් පැන තිබේ. ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සිව් දිනකට රිමාන්ඩ් බන්ධනාගාරගත නොකරන්නට මේ භයානක රෝගී තත්ත්වයන් හෙළි වන්නේ නැත. විශේෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින දෙකකට පසුව ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුවට සහභාගීවීමට සූදානමින් සිටියේ ය. අපට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවේ මෙවැනි සෞඛ්‍ය තත්ත්වයක් යටතේ ගුවන් ගමන් මෙන්ම ශරීරය වෙහෙසීම භයානක තත්ත්වයක් නිර්මාණය කළ හැකි බවයි. හිටපු ජනාධිපතිවරයා විශාල අනතුරකින් ගැලවී තිබේ. එය මේ සිද්ධියේ රිදී රේඛාවයි.

වසර හතකට පෙර ලබාගත් වෛද්‍ය වාර්තා සැළකිල්ලට ගත් අධිකරණය…

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලනගේ වෛද්‍ය මණ්ඩල වාර්තාව ඉතා සුවිශේෂී තත්ත්වයක්  යටතේ ඇප ලබා ගැනීමේ සුදුසුකමක් නොවන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අගෝස්තු 26 වන දා කරුණු දක්වමින් පැවසීය. මේ නඩුකරය පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති නිසා මෙම අවස්ථාවේදී ඇප පනත අදාළ වන්නේ නැතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ප්‍රදානය කරන්නේ නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේ ය. බෙල්ලනගේ වෛද්‍ය මණ්ඩල වාර්තාව වෙනුවට අධිකරණ වෛද්‍ය මණ්ඩයක් පත් කරන ලෙසට ඔහු මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලීමක් කළේ ය. එය සාමාන්‍ය අධිකරණ සම්ප්‍රදායයි. එහෙත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. ඒ වෙනුවට ඇය බෙල්ලනගේ වෛද්‍ය මණ්ඩල වාර්තාව මත පදනම්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප නියම කළා ය. එම ඇප ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ වසර හතකට පමණ පෙර ලබාගත් වෛද්‍ය වාර්තා පවා අධිකරණයට ඉදිරිපත් කළහ. එතරම් පැරණි වෛද්‍ය වාර්තා සළකා බලන ලෝකයේ එකම අධිකරණ පද්ධතිය පවතින්නේ අපේ රටේ විය හැකිය. 

ඇමතිවරු බල්ලාට ඇද දැමූ බෙල්ලන..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබාදීමෙන් පසුව මාධ්‍ය ප්‍රකාශයක් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට සිදු කළ යුතු සැත්කම් සඳහා වසර තුනකට අධික කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු බවයි. හිටපු ජනාධිපතිවරයා ICU වාට්ටුවක සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට නියමිත බව ද ඔහු මාධ්‍යයට හෙළි කළේ ය. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලනගේ ප්‍රකාශ ඉතා වැදගත්වන්නේ ඔහු හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳ මාධ්‍යයට සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂන පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙන බැවිනි. පසු බදාදා (27) පැවැති මාධ්‍ය හමුවකදී වැඩ බලන සෞඛ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි මේ බව පැවසීය.

"රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට එහෙම නිවේදන නිකුත් කිරීමට කිසිම අයිතියක් නෑ. එයාගෙ සෙක්ෂන් එකේත් නෙවෙයි අර මහත්තයා ඇඩ්මිට් වෙලා හිටියේ. අපිට රෝගියෙක් ආවම ඒ හැම රෝගියෙක්ම රෝගියෙක්. ඒ වගේම අපි කරන්න පුලුවන් උපරිම දේ කරනවා සෞඛ්‍ය අමාත්‍යංශය විදියට. නමුත් ජාතික රෝහලේ ඔය කියන පුද්ගලයා කරන්නේ එයාට අයිති නැති ජොබ් එකක්. ඒකට අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕන. මොකද රෝගියෙක්ගේ තොරතුරු ඔහු කුමන තරාතිරමක වුනත් ජනමාධ්‍යකට ලබාදීමට කිසිදු අයිතියක් නෑ. ඔහුගේ සමහර ක්‍රියා කලාප නීත්‍යාකූල නෑ. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුට එළියට නිවේදන නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නෑ" යැයි වැඩ බලන සෞඛ්‍ය ඇමති වෛද්‍ය හසංක විජේමුනි අවධාරණය කළේ ය. 

පොල් පිත්තෙන් කපා ගත හැකි ඇමතිවරු…

එහෙත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බෙල්ලන සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස හෝ වැඩ බලන සෞඛ්‍ය ඇමති වෛද්‍ය හසංක විජේමුනි තඹ පයිසෙකට මායිම් කරන්නේ නැත. ඔහු ක්‍රියාත්මක වන්නේ තම පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහගේ නියෝග සහ මඟ පෙන්නවීම් යටතේ ය. ඒ අනුව ඔහු දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරයි. ඔහුගේ ක්‍රියා මාර්ග සාධාරණ බව අපගේ තක්සේරුවයි. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරමින් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව තමන්ට එජාප ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධව කටයුතු කළ හැකි නම් මාලිමා ආණ්ඩුවේ ඇමැතිවරු තඹ පයිසෙකට මායිම් කළ යුතු නැත. සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ලා වැනි මාලිමා ඇමතිවරු පොල් පිත්තෙන් කපා ගත හැකිය. එවැනි මාලිමාවේ ඇමතිවරුන්ගේ පශ්චාත්භාගයේ අකටයුතුකම් කළත් ඔවුන්ට වගක් නැත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ රෙදි ගලවා, රනිල් ගෙදර යයි…

මේ අතර හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී ඉතා භයානක සෞඛ්‍ය තත්ත්වයකට මුහුණ දී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය වාට්ටුවක සිට අද (29) ගෙදර ගියේ ය. ඔහු එසේ ගෙදර ගියේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හය දෙනෙකුගේ වාර්තාව ව්‍යාජයක් බව රටට ම ප්‍රදර්ශනය කරමිනි. එම විශේෂඥ වෛද්‍යවරු දැන් රෙදි අඳිනවා දැයි අපි නොදනිමු. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ග අප දැඩිව විවේචනය කළ ද ඔහු සමඟ කිසිදු පෞද්ගලික ආරෝවක් අපට නැත. එබැවින් අපි ඔහුට ඉක්මන් සුවය මෙන්ම දීර්ඝායු ප්‍රාර්ථනා කරමු! 

අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ අවධානයට…

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ප්‍රසිද්ධියේ තර්ජන, බලපෑම්  සහ අපහාස කිරීම මෙන්ම “අපූරු වෛද්‍ය වාර්තා” මෙහෙයුමක් හරහා හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විපක්ෂය ලැජ්ජා විය යුතුය. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට ඇතුළුවීමට බාධා කරමින් විපක්ෂයේ මැරයෝ යකා නැටූහ. අධිකරණයට සහ මහෙස්ත්‍රාත්වරියට අපහාසහ කළහ. පොලිස් නිළධාරීන්ට පහර දුන්හ. මෙය එදා “කළු ලකී” නම් එජාප මැරයා මෙහෙය වූ අන්දමේ අධිකරණයට තර්ජනය කිරීමේ මෙහෙයුමකි. දශක හතරකට පසුව ද ඔවුහු එම විනාශය යළි අපේ අධිකරණයට සිදු කරමින් සිටිති. මේ පිළිබඳ  අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ දැඩි අවධානය යොමු වනු ඇති අපි ප්‍රාර්ථනය කරමු. 

-ආනුභාවනන්ද 

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-08-29 17:14:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links