(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.30, ප.ව.10.30) ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ', සලින්ද හෙවත් 'කමාන්ඩෝ සලින්ද' හෙවත් 'පිට්ටුවා', නිර්මල ප්‍රසංග හෙවත් 'බැකෝ සමන්', නිලංග පෙරේරා හෙවත් 'පානදුරේ නිලංග' සහ එදිරිසිංහ කංකානම්ගේ ලහිරු මධුෂාන් හෙවත් 'තැඹිලි ලහිරු' යන ප්‍රබල අපරාධකරුවන් 05 දෙනා අද (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආහ.
අද (30) රාත්‍රී 07.20 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට පත් අපරාධකරුවන් සමග සිටි බැකෝ සමන් නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිය සහ දරුවා ඊයේ ශ්‍රී ලංකාවට ගෙන ආ අතර ඔවුහු වැඩිදුර පරීක්ෂන සඳහා මේ වන විට පොලිසිය භාරයේ පසුවෙති.
අද අපරාධකරුවන් රැගෙන ආ අවස්ථාවේ දී අවස්ථාවේ දී කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂක රැකවල් තර කර තිබිණ.
ඉන්දුනීසියාවට ගිය පොලිස් කණ්ඩායමට නායකත්වය දුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
කටුනායකට රැගෙන ආ අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලීසියේ, පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
අමාත්‍ය ආනන්ද විජේපාල එහි පැමිණ සිටියේ අපරාධකරුවන් රැගෙන ආ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රශංසාව පුද කිරීමට ය.
අපරාධකරුවන් පිරිස කොළඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව පිරිස දැඩි රැකවල් මැද කොළඹ කරා රැගෙන ගිය අතර ඊට පෙර ඇමැති ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය අමතා කෙටි ප්‍රකාශයන් කළහ. එහිදී පොලිස්පතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ නිවටුන් වන මෙවැනි අපරාධකරුවන් වීරයින් සේ මාධ්‍ය මගින් ඔසවා නොතබන ලෙසයි.
"කබ්බෝ ෆෝර්ම් කරන්න එපා" යයි ඔහු කෙටියෙන් ඒ ගැන හැඳින්වීය.
අදාල වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-08-30 18:06:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි