(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.31, ප.ව.10.25) අල්ලස සහ දූෂනය රටින් තුරන් කිරීමෙහි ලා අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව නව පණක් ලද්දාක් සේ ක්‍රියා කිරීමේ දී ශෂීන්ද්‍ර රාජපක්ෂ ලා වැනි ලොකු ලොකු තෝරු මෝරු සිය දැලට කොටු කර ගනිද්දී පොඩි පොඩි හාල්මැස්සන්ද අත හරින්නේ නැත.
ඊට හොඳ උදාහරණයක් වන්නේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තරවරයෙකු කළ පැමිණිල්ලකට අනුව, කොන්දොස්තර සේවය කරනු ලබන පුද්ගලික බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබා දීම සඳහා එක් ගමන් වාරයකට රු.200/- (රුපියල් දෙසීයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ දී බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අල්ලා ගැනීමකි. සිද්ධිය වූයේ අගෝස්තු මස 12 දා උදේ ය.
එමෙන්ම අල්ලස් ගැනීම් අල්ලා ගැනීමේ දී දකුණ හෝ උතුර කියා ද වෙනසක් නැතිව ක්‍රියා කරන බව ද පෙනී යයි. නවතම අල්ලස් ගැනීමේ දී අල්ලාගෙන ඇත්තේ උතුරේ සේවය කරන සුරා බදු නිලධාරීන් තිදෙනෙකි. ප්‍රකට ආරක්ෂක තොරතුරු වාර්තාකරුවෙකු වන ගයාන් කුමාර වීරසිංහ වාර්තා කරන අන්දමට සිද්ධිය මෙසේ ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගත් බව කියන සැකකරුවෙක් නිදහස් කිරීමට යැයි පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් එම සැකකරුගේ සහෝදරියකගෙන් ලබාගත් සුරාබදු නිලධාරීන් තිදෙනෙක් උතුරු පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
වංකාන සුරාබදු ස්ථානයේ සේවයේ නිරත සුරාබදු නියාමකවරයෙක්, සුරාබදු සාජන් වරයෙක් සහ සුරාබදු පරීක්ෂකවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සිය සහෝදරයා අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්, සහෝදරයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20 මුදලක් ඉල්ලා සිටින බවට සැකකරුගේ සහෝදරිය විසින් ඊයේ (30) දහවල් උතුරු පළාත් අපරාධ කොට්ඨාශය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම කර ඇත.
එහිදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව සමඟ වඩුක්කෝට්ටේ පොලිස් වසමේ පිහිටි වංකානේ සුරාබදු කාර්යාලය අසලට ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් විසින් මුදල් රැගෙන එම ස්ථානයට පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීමට අනුවය. එම ස්ථානයට ගොස් දුරකථන ඇමතුමක් ඇය විසින් ලබාගත් අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බව සඳහන් කළ අයෙක් විසින් ඇයට පවසා ඇත්තේ මුදල් රැගෙන සුරාබදු කාර්යාලට තුළට පැමිණෙන ලෙසය. ඒ අනුව ඇය කාර්යාලයට ගොස් මුදල් ලබාදී සිය සහෝදරයා මුදාගෙන පිටතට පැමිණ ඇත. එම අවස්ථාවේදී උතුරු පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සුරාබදු කාර්යාලයට කඩා වැදී තිබේ. එම අවස්ථාවේදී සුරාබදු කාර්යාලයේ නිල ඇඳුමින් සිටි සුරාබදු නිලධාරියෙක් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 20ක මුදලද රැගෙන පළායාමට දැඩි උත්සහයක නිරත ව ඇත. දැඩි පරීශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සෙසු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලසට අධාර හා අනුබල දීම සම්බන්ධයෙනි.
සැකකාර සුරාබදු නිලධාරීන් අවුරුදු 36, 32 හා 48 වයස්වල පසුවන්නන්ය. ඔවුන් යාපනය, සහ ආරියන්පති හී පදිංචිකරුවන්ය.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මෙම සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පසුව අල්ලස් මුදල් ගෙන මුදා හරින ලද සැකකරු තෙලිප්පලේ රෝහලට ඇතුලත් කර ඇත.
---------------------------
by (2025-08-31 19:24:03)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි