(ලංකා ඊ නිව්ස් -2025.සැප්.01, ප.ව.9.45) ජනාධිපති අනුර කුමාර දිසානායක උතුරේ කරන දෙදින සංචාරය තුල අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයකට සහභාගී විය. ඒ අතරින් වඩාත් ආකර්ශනීය වූයේ යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා ගම්මානයක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීමයි. ලංකාවට අයත් දූපතක ඉදිකෙරෙන ප්‍රථම ක්‍රීඩාංගනය මෙය වනු ඇත. දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත් කිරීම පිළිබඳ සැලසුමද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණ. 'මන්ඩතිව්' හෙවත් 'මකුළු දූපත' යාපනය හා සම්බන්ධ මාර්ගයකින් යුක්ත වර්ග කිලෝමීටර් 15 ක පමණ විශාලත්වයකින් යුක්ත දූපතකි. දැනට එක්දහස් හත්සියයක් පමණ ජනතාවක් වාසය කරති. පාසැල් දෙකක් ද පිහිටා තිබේ.
මන්ඩතිව් දූපතේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක් සමග ක්‍රීඩා නගරයක් ඉදිකිරීමේ සැලසුම අනුව මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස ගෘහස්ථ තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදිකෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිතය.
යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදිකෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000 කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.
එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉතිහාස ගතවනු ඇත. කෙසේ වෙතත් මෙය රාජපක්ෂලා තම ගම් පළාතේ හැදූ අද වන විට වල්වැදී ඇති සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මෙන් අසාර්ථක නොවනු ඇතැයි සිතමු.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය මේ වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03 ක් ඇතුළත පැවැත්වීමටත් හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා සිය කතාව අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ කළ විමසීමක දී සභාපතිවරයා පැවසීය.
එහිදී ජනතාව ඇමතූ ජනාධිපති අනුර, සියලු සීමාවන් සහ සියලු වෙනස්කම් දෙවැනි කොට ක්‍රීඩාවෙන් ජනතාව එක් කළ හැකි බව ද අද ඉදිකිරීම් ඇරඹෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රිඩාංගණයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් බවද ප්‍රකාශ කෙළේ ය. අනාගතයේ සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයින් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සහ සියලු ජාතීන්ට අයත් ජනතාව එකම ප්‍රේක්ෂකාගාරයක ඔල්වරසන් නගන රාජ්‍යයක් තම සුබ සිහිනය බවද පැවසු ජනාධිපතිවරයා, එය යථාර්ථයක් කර ගැනීමට එක්වන ලෙසද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ ය.
සාමාන්‍යයෙන් එක් දිනක් තුල විශාල වැඩ රාජකාරි ප්‍රමාණයක යෙදෙන ජනාධිපති අනුර ගේ යාපනයේ සංචාරයේ දී ද එය දක්නට ලැබිණ. ඒ අනුව අද(01) පෙරවරුවේ ඔහු යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ තුන්වන අදියර සංඛේතාත්මකව ආරම්භ කිරීමේ චාම් උත්සවකට ද සහභාගී විය. ඒ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහා ද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම් ද සලසා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298 කි.
ඊලඟට ජනාධිපතිවරයා සහභාගී වූයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමට යි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය තුල ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.
මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.
යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
"අපේ ආණ්ඩුවේ අරමුණ මෙම පරිපාලනය ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කිරීමයි. රජයෙන් ඉටු කර ගත යුතු කාර්යයන් තමන්ට ඉතා සමීපව ඉටු කර ගැනීම සඳහා පහසුකම් සකස් කළ යුතුව තිබෙනවා. ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරනු ලබන සියලු ගනුදෙනු පරිගණක මෘදුකාංග පද්ධතියෙන් සහ ඔබගේ දුරකථනයෙන් කිරීමට හැකි පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව අපි කටයුතු කරමින් සිටිනවා. අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඩිජිටල්කරණයයි" ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ඊලඟට ජනාධිපතිවරයා සහභාගී වූයේ යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ආරම්භ කිරීමට යි. ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. යාපනය මහජන පුස්තකාලය සඳහා ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සහ ස්මාර්ට් කාඩ් ප්‍රවේශ පහසුකමක් හඳුන්වා දීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සහායක තාක්ෂණය ඇතුළත් විශේෂ ඒකකයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු විය. මෙම ව්‍යාපෘතිය සඳහා 2025අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.
ඉහත යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව මේ දිනවල තමිල්නාඩුවේ දේශපාලයකන්ගේ පා පන්දුවක් බවට පත්ව ඇති යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක ට ද සහභාගී විය. ඒ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ වෙනම වාර්තාවක් පළ කර ඇති අතර සිංහලයෙන්ද එය ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.
මේ අතර අනුර කුමාර ජනාධිපතිවරයා හෙට ට (සැප්-02) යෙදී ඇති ලෝක පොල් දිනයට සමගාමීව පේදුරුතුඩුව, කෝකිලායි, සිලාවතුර ප්‍රදේශ ඇතුලත් උතුරු පොල් ත්‍රිකෝනයේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ද සහභාගී වීමට නියමිත ය. මේ සඳහා මේ වසර තුල අක්කර 16000 ක පොල් පැල ලක්ෂ 10 ක් අලුතින් සිටුවීමට සැලසුම් සකස් කර තිබේ. ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක් තරම් විශාල මුදලක් වෙන් කර තිබේ.
---------------------------
by (2025-09-01 16:51:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි