~

"අපි නොකළොත් කව්ද කරන්නේ? අපේ රජය පරීක්ෂන කරන්නේ ජනතාව වෙනුවෙන් මිස ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න නොවේ"..! -අධිකරණ ඇමැති කුරුක්කුලමඩම් සමුහ මිනී වල නිරීක්ෂනය කරමින් කියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.04, ප.ව‍.8.45) මාලිමා රජය පරීක්ෂණ සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න  නොවන බවත්,   කුරුක්කල්මඩම් සමූහ මිනී වල සම්බන්ධයෙන් පැමිණිලි ඇතිනම් ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අතුරුදහන් වු පුද්ගලයින්ට ගෞරවණීය අවසානයක් ලබාදීමට  කටයුතු කිරීම මේ රජයේ අරමුණ බවත් මේ රජයෙන් එය ඉටු නොකරන්නේ නම් කරන්නේ කව්ද? යැයි මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිණි වළ නිරීක්ෂනයට ගිය අධිකරණ ඇමැති නීතිඥ හර්ෂන නානායක්කාර පවසයි.

මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිණි වළක් ඇති බවට පැමිණිලි ලැබී ඇති ස්ථාන අවට ප්‍රදේශය නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව අද ( 04) පෙරවරුවේ මාධ්‍ය වෙත  අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

කුරුක්කල්මඩම් සමූහ මිනීවලේ තත්ත්වය වෙනස්..

"පසුගිය වකවානුවලදී අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන වත්මන් රජය ආරම්භ කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ජනතාව වත්මන් ආණ්ඩුව පිළිබඳව තැබු විශ්වාසය හේතුවෙන් අතුරුදහන්වු තැනැත්තන් සම්බන්ධ පැමිණිලි ලැබීම වැඩී වී තිබෙනවා. ඒ අනුව චෙමිමිණි සමුහ මිනි වලේ කැණිම් කටයුතු මේ වන විට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව  කාර්යාලයේ මැදිහත්වීමෙන් සාර්ථකව සිදු වෙනවා. එහෙත් කුරුක්කල්මඩම් මෙම ස්ථානයේ තත්ත්වය අනෙක් සමුහ මිනී වලවල්වල තත්වයන්ට වඩා වෙනස් බව කිව යුතුයි. 2014 වසරේදී මෙම ස්ථානය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. 2019 වසරේදී අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් මෙහි පරීක්ෂණ සිදු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරී පහසුකම් හා අවශ්‍ය ප්‍රතිපාදන සපයන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුල ඊට අවශ්‍ය සහාය ලබා දී නැහැ. අතීතය සම්බන්ධයෙන් කථා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ කාලය තුළ ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බව සඳහන් කළ යුතුයි. වත්මන් රජය බලයට පත් වු පසුව නැවතත් ලැබුණු පැමිණිලි අනුව අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ මැදිහත්වීමෙන් පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය විසින් ඒ සඳහා අවශ්‍ය නියෝග ලබා ගනිමින් ඉදිරි සති දෙක තුළ කොළඹින් අධිකරණ වෛද්‍යවරුන් ගෙන්වා නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබෙනවා.

අපි මෙම ස්ථානයට අද දිනයේ පැමිණීමට ප්‍රධාන හේතුව වුයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් මෙහි පරීක්ෂන කටයුතු සඳහා ලබා දිය යුතු පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීමටයි. කිසියම් ගැටළු පවතින්නේ නම් නිරාකරණය කරමින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අප කටයුතු කරනවා.

සාධාරණ අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවු පරීක්ෂන ක්‍රියාවලියක් වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය උපරිම දායකත්වය ලබා දෙනවා. යුක්තිය සහ සත්‍ය සෙවීම මේ රජයේ පරම වගකීමයි. සාමය හා සංහිඳියාව ඇති කිරීමට නම් අතීතයේ සිදු වු අමිහිරි අත්දැකීම්වලට සාධාරණය ඉටු කළ යුතුයි. කුරුක්කලමඩම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ලබා දෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව ලබා දෙන පැමිණිලිවල සුරක්ෂිත බව මෙන්ම තොරතුරු ලබා දෙන ජනතාවගේ ආරක්ෂාවත් සුරක්ෂිත කරනවා."

එමෙන්ම මෙවැනි පරීක්ෂණ කටයුතු සිදු කරමින් අතුරුදහන් වු පුද්ගලයින්ට ගෞරවණීය අවසානයක් ලබාදීමට අපි ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

ප්‍රශ්න සහ පිළිතුරු..  

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා  මෙසේ සඳහන් කළේය.

ප්‍රශ්නය - "මෙම ස්ථානයේ කැණිම් කටයුතු වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කර තිබෙනවාද ?"

පිළිතුර- "අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අය වැය තුළින් වාර්ෂිකව මුදල් වෙන් කරනවා. මෙම ස්ථානයේ කැණිම් වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කරනවාද යන්න අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විශේෂඥයින් ලබා දෙන නිර්දේශයන්ට අනුව අධිකරණය විසින් තීරණය කළ යුතුයි. මෙහි පවතින්නේ මුල්‍යමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවෙයි. මනුෂ්‍යත්වය පිළිබඳව වූ ප්‍රශ්නයක් බව අවබෝධ කර ගත යුතුයි."

ප්‍රශ්නය - "රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රමාදයන් පවතින බවට චෝදනාවක් තිබෙනවා."

පිළිතුර - "රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රමාදයන් සඳහා කාර්යාල මණ්ඩල හිඟය ඇතුළු කරුණු හේතුවී තිබෙනවා. මේ සියලු පරීක්ෂන කටයුතු අපි විවෘත මනසකින් සිදු කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, දකුණු අප්‍රිකාව, ස්ව්ට්සර්ලන්තය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මගින් අවශ්‍ය තාක්ෂනික සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා."

ප්‍රශ්නය - "ජීනීවා නුවර දී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී මේ පිළිබඳව කථා බහට ලක් වෙයිද ?"

පිළිතුර- "ඔව්. ඒ සම්බන්ධයෙන් කථාබහට ලක් වෙයි. අපේ රජය පරීක්ෂන සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න  නොවෙයි. වසරක් තුළ යුක්තිය සාධාරණය ඉටු කිරීමට බොහෝ දේ සිදු කර තිබෙනවා.  මේ පරීක්ෂන කටයුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමට සිදු කරන දෙයක් නොවෙයි.  අපේ රජයේ ප්‍රධාන පාර්ශ්වය වන ජනතා විමුක්ති පෙරමුණු 1988 – 89 වර්ෂවලදී මේ ආකාරයේම වින්දිතයින් බවට පත් වුණා. අතුරුදහන් වු තැනැත්තන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය අපේ රජයෙන් ඉටු වෙන්නේ නැත්නම් එය ඉටු වන්නේ කුමන රජයකින්ද ? අපි සියළුදෙනාට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කරනවා."

කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිනී වල සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ ජනතාව හමුවු අමාත්‍යවරයා පරීක්ෂන කටයුතු සාධාරණව ඉටු කරන බවට පොරොන්දුවක් ද දුන්නේ ය. 

---------------------------
by     (2025-09-04 15:13:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links