~

කටුනායකට ලැබුණු නව තාක්ෂනික 'දත්' නමෝ විත්තියෙන් කියා වැඩ පෙන්වයි..! වියදම් වූ මුදල එකෙන්ම පියවෙයි..!

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.05, ප.ව‍.11.00) අපරාධවලින් තොර රටක් වෙනුවෙන් සිදුකරන පරීක්ෂන සඳහා නව තාක්ෂනය යොදා ගැනීමේ මහිමය අද ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් විය. 

කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට, රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම Scan Machine දෙකක් සවිකෙළේ පසුගිය සැප්තැම්බර් 2 වැනිදා ය.  මෙම යන්ත්‍ර දෙක මගින් දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000 කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාෂණය කර රැගෙන යෑමට හැකි වන අතර ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාවද උදා විය.

ජර්මනියේ නිෂ්පාදිත මෙම ස්කෑන් යන්ත්‍ර මගින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු තුළ ඇති භාණ්ඩ වල ත්‍රිමාන දර්ශන ලබාගත හැකිවීම විශේෂත්වයකි.

මෙම යන්ත්‍ර දෙක ව්‍යාපාරිකයන් සඳහා වන “රක්ත මාවත” (Red Channel) සහ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ආරම්භක ස්ථානවල ස්ථාපිත කරන ලදී.

ඒවා සවිකර දින 3 ක් ගත වෙද්දී අද (05) ගුවන් තොටුපොළේ ඉහත කී කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ගුවන් මගියෙකු අත් අඩංගුවට ගැනීමට රේගුවට හැකිවිය.

මොහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙදසැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

ඔහු මෙම "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට අද (05) උදෑසන 07.45 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19 ක් ලෙස සකස් කළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් ඉතා සූක්ෂම සඟවා ගෙන සිටියදී පෙර කී නවීන ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. අලුත් ස්කෑන් යන්ත්‍රය අධාරයෙන් අත් අඩංගුවට ගත් ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය මෙය විය.

ඉන්දීය ජාතිකයා  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

ශ්‍රී ලංකාව අපරාධවලින් තොර රටක් බවට පත් කිරීමේ දී තවතවත් නව තාක්ෂනය වෙත යොමුවීමේ අගය මෙයින් මොනවට පෙන්නුම් කරයි. ඒ සඳහා මඳක් වැඩි වැය බරක් දැරුවද කම් නැති බව ඔප්පු කරන්නේ අද ඇල්ලූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම යනු ස්කෑන් යන්ත්‍ර දෙක සඳහාම වියදම් කළ මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි නිසා ය.

(සේයාරුවේ දැක්වෙන්නේ කටුනායක සවිකළ නව ස්කෑන් යන්ත්‍රයකි)

---------------------------
by     (2025-09-05 18:15:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links