(ලංකා ඊ නිව්ස් -2025.සැප්.06, ප.ව.10.30) කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන් විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙන්වන ලද, ඊයේ(05) පොලිසිය විසින් අල්ලා ගන්නා ලද, කන්ටේනර් දෙකක රසායන ද්‍රව්‍ය තොගය වළ දමා තිබූ පොහොට්ටු දේශපාලකයා වන සම්පත් මනම්පේරි නමැත්තාට අයත් තවත් ඉඩමක වල දා තිබුණු උණ්ඩ සහ අත් බෝම්බ තොගයක් අද(06) පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
ඊයේ(05) රසායන ද්‍රව්‍ය සොයාගත් හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ම ඔහුට අයත් වත්තක මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපූ කාණුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ 5 ක්, T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 18 ක්, බෝරා 12 ගිනි අවි උණ්ඩ 3 ක් අද සොයාගත් භාණ්ඩ අතර විය.
මෙම මෙහෙයුම සිදුකර තිබුනේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසිනි.
මේ අතර ඉඩම් හිමි පොහොට්ටු දේශපාලකයා වන සම්පත් මනම්පේරි දැනට සැඟව සිටින අතර ඔහුගේ සොයුරු පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි නමැත්තා අද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නිවේදනයක් නිකුත් කරමින් කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන් සමග සම්බන්ධතා තිබූ ඔවුන්ගේ දේශපාලකයා වන සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්ව අත්හිටුවන ලදැයි නිවේදනය කර තිබේ. ප්‍රශ්නය වන්නේ මේ සිද්ධිය වන තුරුම තම පක්ෂය විසින් අපේක්ෂකයෙක් ලෙස ද ඡන්දයට ඉදිරිපත් කරන ලද සාමාජිකයාගේ පාතාල සම්බන්ධකම් පොහොට්ටු නායකත්වය නොදැන සිටියේ මන්ද? යන්නයි.
බැකෝ සමන්ගේ පිරිස් විසින් ඝාතනය කරන ලදැයි සැකකරන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' නමැත්තා ඝාතනයට සති කිහිපයකට පෙර ප්‍රකට යූටියුබ් නාලිකාවකට දුන් ප්‍රකාශයක් අනුව ඔහු ඝාතනය කරනවා නම් කරන්නේ රාජපක්ෂලා විසින් යන ප්‍රකාශය කෙරෙහිද දැනට සිදුකරන පොලිස් විමර්ශන යොමු වී ඇතැයි වාර්තා වේ.
---------------------------
by (2025-09-06 17:05:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි