-LeN අධිකරණ වාර්තාකරු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.07, ප.ව.11.30) නීතිය වල් වැදී තිබූ රටක යළි නීතිය ස්ථාපනය කරමින් නිවැරදි දිශාවට රට මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකික රටවැසියන් නිශ්චිත සහ තීරණාත්මක තීන්දුවක් ගත්තේ ඒ පිළිබඳ සැබෑ වුවමනාවක් ඇති, තමන් හා සමාන අවවරප්රසාදිත පන්තියේ මිනිසෙක් වූ අනුර කුමාර දිසානායක පසුගිය සැප්තැම්බර් 21 දා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙ
රටේ වාසනාවට ඔහු හා සමානම පුද්ගලයන් කිහිප පොලක් ද ඒ කාල වකවානුවේම නීතිය වල්වැදුනු රටේ නීතිය ප්රතිශ්ඨාපනය කිරීමෙහි ලා ප්‍රධාන තනතුරු අරා පත්වීමට කාල වකවානු සැකසී තිබිණ. ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ජනාධිපතිවරයා විසින් සිදුකළ ඍජු පත්කිරීම් දෙක පසෙක තැබුවේ වී නමුත් පොලිස්පතිවරයා ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසූරිය නම් පහළ තැනින්ම පටන්ගෙන ඉහළම තැනට ආ අදූෂිත පොලිස් නිලධාරියාගේ පත්වීමත්, අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක නම් අයෝමය මිනිසා ගේ පත්වීමත්, නව අගවිනිසුරුවරයා ලෙස ඊට නොදෙවැනි අයෝමය මිනිසෙකු වූ ප්රිති පද්මන් සූරසේන ගේ පත්වීමත් කාලය විසින් රටට ලබා දුන් දෛවෝපගත වාසනාවකි.
අප එම පත්වීම් දෛවෝපගත යැයි කියන්නේ පාර භෞතිකවාදී අර්ථයෙන් නොවේ. රටක නීතිය නිවැරදි දිශාවකට යොමු කිරීමට කෙතරම් වුවමනාව තිබුන ද හැම දෙනාටම කළ නොහැකිය. ඊට අදාල නිශ්චිත තනතුරු තිබේ. එකම කාලයක දී එවැනි ප්‍රධානතම තනතුරු තුනක් සඳහා ඒ සඳහා සුදුසුම පුද්ගලයින් තිදෙනෙකු පත්වීම රට ලැබූ ආශ්වාදජනක ආශ්චර්යයකි. මෙම පුද්ගලයන් තිදෙනාගේ අභිලාෂයන් ද ජනාධිපතිවරයාගේ සේම රටේ ජනතාව විසින් පැතූ අභිලාෂයන් සමග අපූරුවට සමපාත වෙමින් තිබේ. ඒ අන් කිසිවක් වෙනුවෙන් නොව නීතිය වල්වැදුණු රටේ නීතිය යළි ප්රතිශ්ඨාපනය කිරීම සඳහා ම ය.
මෙහිදී අගවිනිසුරු ධූරය ප්‍රබල ය. ඒ බව මැනැවින් දත් දිගු අත්දැකීම් ඇති සූරසේන අගවිනිසුරුතුමන් අධිකරණ ක්ෂේත්රය සුද්ද කිරීමෙහි ලා අන් කිසිදු අගවිනිසුරුවරයෙක් නොගත් තීන්දු රැසක් ගනිමින් තිබේ. ඒ අනුව මේ වන විටත් චෝදනා එල්ල වූ මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු විනිසුරුවරුන් 15 කට අධික පිරිසක් ඔවුන් දැරූ තනතුරුවලින් පහ කිරීමට හා ඔවුන්ගේ සේවය අත්හිටුවීමට පසුගිය සති කිහිපය තුල සිදුකර තිබිණ.
එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ද සභාපතිවරයා වන අගවිනිසුරුවරයා සිදුකරණ අපූරු විමර්ශන ක්‍රියාවක් වන්නේ චුදිත විනිසුරුවරුන්ගේ නඩු ශාලාතුලට සාමාන්‍ය නඩුවලට සම්බන්ධ අය සේ වෙස්වළාගෙන සිය නිලධාරීන් යවා චුදිත විනිසුරුවන්ගේ කල්ක්‍රියාව දෑසින්ම දැක තීන්දු තීරණ ගැනීමට ක්‍රියා කිරීමයි.
පසුගියදා මතුගම මහේස්ත්‍රාත්වරිය ඒ.අයි. හෙට්ටිවත්තේ නමැත්තිය සම්බන්ධයෙන් ද එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබිණ.
මතුගම මහෙස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන දෙපොල කළ නියෝගයක් අනුව එම කොමිෂන් සභාවේ ලේකම්වරයා වන ප්‍රසන්න අල්විස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා මීට දින කීපයකට පෙර පෞද්ගලිකව මතුගම අධිකරණය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබිණ.
නඩු කටයුතුවලට පෙනී සිටීමට අධිකරණයට පැමිණි අය ලෙස වෙස්වළාගෙන අධිකරණ ශාලාව තුළට ගොස් වාඩි වී සිටිමින් කළ නිරීක්ෂණ අනුව එදින පෙරවරු 10.00 පසුවනතුරුත් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට නොපැමිණි බව තහවුරු කර ගැනීමට එම නිලධාරීන්ට හැකිවී තිබිණි. තමන් කවුරුන් දැයි හෙළිකළ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් ඇතුළු නිලධාරීන් දෙදෙනාම පෙර ලැබී තිබූ චෝදනාවලට අමතරව අධිකරණයට ලැබී තිබූ ඇතැම් ලිපි දීර්ඝ කාලයක් තිස්සේ විවෘත කිරීමක් හෝ සිදුකර නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය ලබාගත් නිවාඩු 2024 වසරේ සිටම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමත කර ගැනීමක් සිදු කර නොමැති බවත් තහවුරු කර ගැනීමට හැකිවී තිබිණි.
අධිකරණ කාර්ය මණ්ඩලයේ අදාළ නිලධෘරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කැඳවා සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, නිසි වේලාවට රාජකාරියට වාර්තා නොකිරීම, ප්‍රකාශයට පත් කළ ඇතැම් තීන්දු නිසියාකාරව සකස් කර නඩු ගොනුවට ඇතුළත් නොකිරීම හා රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත්වීම යනාදී චෝදනාවලට වරද පිළිගත් මතුගම මහෙස්ත්‍රාත්වරිය සිය ඉල්ලා අස්වීම අධිකරණ සේවා කොමිෂන් සභාවට භාර දී අධිකරණ සේවයෙන් ඉවත්වී තිබේ.
නව මහේස්ත්රාත්වරයෙකු පත් කරන තුරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර තිබේ.
මේ අතර මාතර අතිරේක දිසා විනිසුරුවරිය ද සේවයෙන් පහ කර තිබේ. ඒ පසුගිය සිකුරාදා(05) ය. ඇයට චෝදනා එල්ල වී තිබුනේ ඇය මීගමුව මහෙස්ත්‍රාත්වරිය ලෙස සේවය කරමින් සිටියදී ය. පසුව ඇය කොළඹ අංක අට මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ අතර, ඊටත් පසුව මාතර අතිරේක දිසා විනිසුරුවරිය ලෙස මාරුකර යවනු ලැබිණ.
ඇයගේ ක්‍රියා කලාපය අනුව ඇය තවදුරටත් අධිකරණ සේවයේ තබා ගැනීමට නුසුදුසු බවට නිගමනය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඇය වහාම සේවයෙන් පහ කිරීමට තීරණය කරන ලදී.
මෙවැනිම විවිධ චෝදනා එල්ල වී මේ වනවිට තාවකාලිකව සේවය අත්හිටුවා ඇති මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු විනිසුරුවරුන් කිහිපදෙනකු පිළිබඳව සිදුකරන විමර්ශන ද නුදුරේදීම ආරම්භ කර ඉක්මනින් තීන්දු තීරණ ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී.
(මෙම වාර්තාව සඳහා ඒ. ජේ. ඒ. අබේනායක ගේ වාර්තාවක කරුණු ද උපුටා ගැණින)
---------------------------
by (2025-09-07 21:51:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි