~

නේපාලයේ ප්‍රභූ දේශපාලනයට එරෙහි Gen Z සටන..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.10, පෙ.ව‍.3.20) “සමාජ මාධ්‍ය නොවෙයි, දූෂණය නවත්වන්න” යැයි කියමින් දහස් ගණනක් නේපාල තරුණ තරුණියෝ පසුගිය සඳුදා (8) සිට වීදි බැස සටන්කරමින් සිටිති. එම සටනේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට අගමැති කේ.පී. ෂර්මා ඔලි අඟහරුවාදා (9) සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂගේ සහ බංගලාදේශයේ ඒකාධිපති පාලකයා වූ ෂීක් හසීනාගේ ඉරණමට නේපාල අගමැති ඔලි ද ගොදුරු වූයේ ය.  අපේ ගෝල්ෆේස් ජන අරගලයේ මූලික බලපෑම නේපාලය දක්වා පැතිර ගොස් තිබෙන බව රහසක් නොවෙයි. අපේ ජනතා නැගිටීම කලාපීය වැදගත්කමක් සහිත දේශපාලන සංසිද්ධියකි. නේපාල තරුණයන්ගේ අරගලය විග්‍රහ කරන බොහෝ ජාත්‍යන්තර  දේශපාලන විචාරකයෝ ගෝල්ෆේස් ජනතා අරගලයේ දිගු කාලීන කලාපීය බලපෑම පිළිබඳ කරුණු දක්වති.  

පාලක ප්‍රභූ දේශපාලන පංතියට එරෙහිව…

අගමැති ඔලිගේ ආණ්ඩුව නේපාලය තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයත් සමඟ තරුණයෝ වීදි බැස විරෝධතා දැක්වූහ. ජනතා විරෝධය ඉදිරියේ නේපාල ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණය ඉවත් කර ගත්තේ ය. එහෙත් තරුණ සටන අවසන් වූයේ නැත. ඔවුන්ගේ අරගලය සමාජ මාධ්‍ය තහනමට වඩා ඔබ්බට ගිය සටනකි. එය නේපාලයේ පාලක ප්‍රභූ දේශපාලන පංතියට එරෙහි මාරාන්තික විරෝධයකි. එම පාලක දේශපාලන පංතියේ අල්ලස, දූෂණය සහ බලය අයතු ලෙස පරිහරණය කිරීමට එරෙහි ජනතා විරෝධයකි.

නේපාලය පුරා පැවති විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් අඟහරුවාදා උදෑසන අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය තනතුරෙන් ඉල්ලා අස්වූ නමුත් ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල් ඔහුව නැවත භාරකාර ආණ්ඩුවේ අගමැතිධූරයට පත් කළේ ය. ඉල්ලා අස්වූ අගමැති කේ.පී. ෂර්මා ඔලි, වසර 2024 දී පත්වූ පස් වන අගමැතිවරයා විය. එය නේපාලයේ පැවැති දේශපාලන අස්ථාරත්වය පිළිබඳ නිදසුනකි. ඔහු පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම පක්ෂය වන නේපාල කොමියුනිස්ට් පක්ෂයට (UML) නායකත්වය දෙන අතර ඔහු  චීන හිතවාදී  ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙකු වශයෙන් ප්‍රසිද්ධය. 

 “Gen Z” සටනට නායකත්වය දෙයි…

නේපාල ජනතා අරගලයට සම්බන්ධ වී සිටින්නේ ඉසෙඩ් පරම්පරාවේ හෙවත් “Gen Z” තරුණ තරුණියන්ය. Gen Z යනු වසර 1997 සිට 2012 කාලයේ උපත ලැබූවන්ය. මේ දක්වා කාලයේ ඔවුහු බහුතරයක් විශ්වවිද්‍යාල සිසුහු වෙති. නේපාලය යනු ලෝකයේ දිළිඳුකම අතරින් ඉහළින් සිටින රටකි. සමස්ත ජනගහනයෙන් සියයට විස්සකට වඩා අන්ත දුගීභාවයේ ගැලී සිටිති. විදේශ ආයෝජන පහළ මට්ටමක පවතින අතර ආර්ථිකය එක තැන් පල්වෙයි. නේපාලයේ ආර්ථික පසු බැසීමට මූලික හේතුව වී ඇත්තේ දේශපාලන පංතියේ අල්ලස සහ දූෂණය මෙන්ම රටේ දේශපාලන අස්ථාවරත්වයයි.   වර්තමාන නේපාලයේ තරුණ විරැකියාව සියයට විස්සකට වඩා ඉහළ බව නවතම ලෝක බැංකු වාර්තාවන්හි දැක්වෙයි. නේපාලයේ සමස්ත විරැකියාව සියයට දහතුනකි. මැද පෙරදිග හෝ අග්නිදිග ආසියාවේ රැකියා සොයා දිනපතා නේපාල තරුණයින් දෙදහකට වැඩි පිරිසක් රට හැර යන බව රජයේ සංඛ්‍යා ලේඛනයන්හි දැක්වෙයි. රටේ බහුතරයක් තරුණ තරුණියන් ආර්ථික අර්බූදයෙන් පීඩාවට පත් වන විට විශේෂයෙන්, දේශපාලන නායකයින්ගේ දරුවෝ සුඛෝපභෝගී ජීවන රටාවන්ට අනුගත වී සිටිති. ඔවුහු සිය පාලක දේශපාලන පංති අනුහසින් නේපාල සමාජයේ සියලු වාසි භුක්ති විඳිති. මේ සමාජ අසාධාරණ පිළිබඳ කැකෑරෙමින් පැවති තරුණයන්ගේ විරෝධය ඔලිගේ ආණ්ඩුවේ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයත් පොලා පැන තිබේ. 

පොලීසිය තරුණන්ට වෙඩි තබා ඝාතනය කරයි.. 

ඒ විරෝධය ප්‍රචණ්ඩ ස්වරූපයකට පරිවර්තනය වූයේ ආණ්ඩුව මූලික අවස්ථාවේ දී ම ජනතා විරෝධයන් මර්දනය කිරීමට උත්සාහ ගැනීමත් සමඟිනි. අගමැති ඔලිගේ ආණ්ඩුවේ නියෝගයන්ට අනුව පොලීසිය ජනතාවට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබුවේය. විරෝධතා පැවැති පළමු දිනයේදී  ඝාතනය කරනු ලැබූ තරුණයන් ගණන දහදෙනෙකුට අධිකය. අඟහරුවාදා (9) රාත්‍රිය වන විට එම සංඛ්‍යාව විස්සක් දක්වා ඉහළ ගොස් තිබූ අතර තුවාල ලැබූවන් තුන්සියයකට අධිකය. ආණ්ඩුවේ මර්දනයට ප්‍රතිචාර වශයෙන් අරගලකරුවෝ පාලක ප්‍රභූ දේශපාලඥයන් සහ ඔවුන්ගේ නිවාස සහ දේපල ඉලක්ක කර ගත්හ.

සමාජ මාධ්‍යය වීඩියෝහි විරෝධතාකරුවන් නේපාල කොංග්‍රස් පක්ෂ නායක ෂර් බහදූර් ඩියුබා සහ වත්මන් විදේශ අමාත්‍ය අර්සු රානා ඩියුබාට පහර දෙන ආකාරය දැකිය හැකි විය. ඔවුන් දෙදෙනාම ලේ ගලමින් සිටින බවක් පෙනෙන්නට තිබිණි.  

ජනාධිපති, අගමැති, විපක්ෂ නායක නිවාස, පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තබයි..

නේපාල කොංග්‍රස් පක්ෂ එරට විශාලතම පක්ෂය වන අතර එය පාලක සන්ධානයේ කොටසකි. අඟහරුවාදා අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වීමට පැය කිහිපයකට පෙර, විරෝධතාකරුවෝ නේපාල නායකයාගේ බෝල්කොට් හි පෞද්ගලික නිවසට ගිනි තැබූ අතර, ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල්, හිටපු අගමැති පුෂ්ප කමල් දහල්, සන්නිවේදන අමාත්‍ය ප්‍රිතිවි සුබා ගුරුන්ග්, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් සහ හිටපු අගමැති ෂර් බහදූර් ඩියුබා යන අයගේ දේපළවලට පහර දුන්හ. ඒවාට අමතරව නේපාලයේ ප්‍රධාන විපක්ෂය වන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) නායකයාගේ නිවස ද තරුණයෝ ගිනි තැබූහ. එයට අමතරව ඔවුහු පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ගොඩනැගිලි, දේශපාලන පක්ෂ මූලස්ථාන කිහිපයකට ද පහර දී ගිනි තැබූ බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කළේ ය. අඟහරුවාදා (09) සවස් වන විට අරගලකරුවෝ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගිනි තැබූහ. සමාජ ජාලා වාරණ තීන්දුවක් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි.

මේ අතර නේපාල ආණ්ඩුව විරෝධතාකරුවන් මර්දනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා රටවල් රාශියක් සිය විරෝධය දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්, විරෝධතාකරුවන්  ඝාතන කිරීම සහ ආරක්ෂක හමුදා විසින් අනවශ්‍ය සහ අසමානුපාතික බලය යෙදවීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබේ. 

සාමකාමී රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහසේ අයිතිවාසිකම්වලට ගරු කරන්න…

“අද නේපාලයේ විරෝධතාකරුවන්ගේ ඝාතන සහ තුවාල පිළිබඳව අපි කම්පනයට පත් වී සිටින අතර කඩිනම් හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලා සිටිමු.

දූෂණයට එරෙහිව සහ රජය විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් තරුණ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතා හි දී ආරක්ෂක අංශ විසින් අනවශ්‍ය හෝ අසමානුපාතිකව බලය යෙදවීම පිළිබඳ දැඩි කනස්සල්ලට හේතු වන චෝදනා කිහිපයක් අපට ලැබී තිබේ.

සාමකාමී රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහසේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස සහ සහතික කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් බලය සහ ගිනි අවි භාවිතය පිළිබඳ මූලික මූලධර්මවලට අනුකූලව සියලුම ආරක්ෂක අංශ කටයුතු කළ යුතුය.

නේපාලය සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ක්‍රියාකාරී සිවිල් අවකාශයක් භුක්ති විඳින අතර, තරුණයින්ගේ ගැටළු විසඳීමට හොඳම ක්‍රමය සංවාදයයි. නේපාලයේ මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වීම සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා වන පියවර නැවත සලකා බලන ලෙස අපි ඉල්ලා සිටිමු” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

අපකීර්තිමත් නේපාල හමුදාව මැදිහත් වෙයි, එක්සත් ජාතීන් සීරුවෙන්..

මේ අතර අඟහරුවාදා රාත්‍රියේ නේපාල හමුදාව විරෝධතාකරුවන් පාලනය කිරීමට තමන් මැදිහත් වන බව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය. නේපාල හමුදාව යනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනාවන්ට ලක් වූ කෲර අපකීර්තිමත් හමුදාවකි. ඔවුන්ගේ මැදිහත්වීම ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමීපව නිරීක්ෂණය කරනු ඇත.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිචාරය "ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව" පැවතිය යුතු බවට නේපාලයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය බලධාරීන්ට අනතුරු අඟවා ඇති අතර, "නැගී ඇති ගැටළු වලට මූලික හේතු විසඳීම සඳහා සංයුක්ත පියවර ගැනීමෙන් රටට ප්‍රතිලාභ ලැබෙනු ඇත" යනුවෙන් අවධාරණය කළේ ය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක් සඳුදා නේපාලයේ "සාමකාමී රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහසේ විශ්වීය අයිතිවාසිකම් සඳහා දැඩි සහයෝගය" තහවුරු කරමින් ප්‍රකාශයකට අත්සන් කළහ. ජර්මනිය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් අඟහරුවාදා එම ප්‍රකාශනයට අත්සන් කිරීමත් සමස්ත මැදිහත්වීම රටවල් දහය දක්වා ඉහළ ගියේය.

හමුදාව සමඟ සටන ඇරඹෙයි…

මේ සටහන ලියන බදාදා (10) අලුයම වන විට, කත්මණ්ඩු නගරයේ නේපාල හමුදාව සහ දැඩිව සන්නද්ධ පොලිසිය දැකගත හැකි බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි. හමුදාව විරෝධතාකරුවන් වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරමින් සිටියි. සමහර තරුණ අරගලකරුවෝ දැවෙන ටයර් සහිත මාර්ග බාධක නිර්මාණය කරමින් හමුදාවට තමන් සිටින ප්‍රදේශවලට ඇතුළුවීමට බාධා කරමින් සිටිති.  

ජනාධිපති, අගමැති විපක්ෂ නායකයන් මෙන්ම හිටපු අගමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීමෙන් සහ පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කළ ප්‍රහාර මගින් ප්‍රදර්ශනය වන්නේ පාලක ප්‍රභූ දේශපාලන පංතිය පිළිබඳ නේපාල ජනතාව තුළ තිබෙන විරෝධයයි. විශේෂයෙන් නේපාල තරුණයන් තුළ ඔවුන් පිළිබඳ තිබෙන පිළිකුලයි.

පාලක ප්‍රභූ දේශපාලන පංතියට එරෙහි මේ තරුණ කැරැල්ල ඇතැම් විට ආයුධ ශක්තියෙන් මෙල්ල කර ගත හැකි වනු ඇත. එහෙත් මේ තරුණයන්ගේ සටන කිසි දිනෙක පරාජය කළ නොහැකිය. ඒ  ඔවුන් සටන් කරන්නේ සමාජ සාධාරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන බැවිනි.

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-09-09 21:53:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links