-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.12, ප.ව.9.45) 'දකුණු ඇමරිකාවේ හිට්ලර්' යැයි තමන් විසින් හඳුන්වාගත් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ නීතිවිරෝධී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය ලබා ගැනීමට උත්සාහ කිරීමේ වරදට වසර විසිහතක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ බ්‍රහස්පතින්දා (11) සවස තීරණය කළේ ය. පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් සිව් දෙනෙක් බොල්සනාරෝ වැරදිකරු වශයෙන් තීරණය කළහ. මෙය ඵෙතිහාසික තීරණයකි. බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්ත ජයග්‍රහණයකි.
හමුදා කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමේ වරදට බොල්සනාරෝට දඬුවම් ලබාදීම වැළැක්වීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැවැන්ත දේශපාලන මැදිහත්වීමක් සහ තර්ජනයක් බ්‍රසීල රජයට සහ එරට අධිකරණ පද්ධතියට එල්ල කළේ ය. සිය සහෝදර ඒකාධිපතියා වන බොල්සනාරෝ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම වැළැක්වීම සඳහා බ්‍රසීලයට එරෙහිව සියයට පනහක තීරු බදු පැනවීමට ට්‍රම්ප් කටයුතු කළ අතර බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් එකළොස් දෙනාගෙන් අටදෙනෙකුට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළේ ය. බොල්සනාරෝට එරෙහි නඩුව විභාග කළ බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ද මොරායස් (Alexander de Moraes) ට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීය. වත්කම් තහනම් කළේ ය. එහෙත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තර්ජනයන්ට තමන් බිය නොමැති බව ප්‍රදර්ශනය කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව නිවේදනය කළේ ය. මෙය බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නිර්භීත සහ ඵෙතිහාසික මැදිහත්වීමකි. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මෙන්ම බොල්සනාරෝගේ ආධාරකරුවන්ගෙන් තමන් ඇතුළු පවුල් සාමාජිකයන්ට එල්ල වූ මරණ තර්ජන නොතකමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරු එරට අධිකරණ නිදහස වෙනුවෙන් පෙනී සිටියහ. වසර 1964 සිට 1985 දක්වා බ්‍රසීලයේ පැවැති කෲර හමුදා පාලනයෙන් පසුව නව ව්‍යවස්ථාවක් යටතේ බිහිවූ බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව රැක ගැනීමට ඔවුහු දිවිපරදුවට තබා කටයුතු කළහ.
වසර 2022 ඔක්තෝබර් 30 වන දා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බොල්සනාරෝ එම මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර තම වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජනාධිපතිධූරයට පත්වීම වැළැක්වීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් සැළසුම් කළ බවට චෝදනා එල්ල විය. එම හමුදා කුමන්ත්‍රණය පිළිබඳ පිටු 884 කින් යුත් බ්‍රසීල ෆෙඩරල් පොලිස් වාර්තාවක් නිකුත් කළ අතර එහි හිටපු ජනාධිපතිවරයා කුමන්ත්‍රණය සැලසුම් කිරීමේදී සහ සංවිධානය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවට සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයින් කුමන්ත්‍රණයට සම්බන්ධ කළ බවට චෝදනා කර තිබේ. නාවික හමුදාපති අද්මිරාල් අල්මීර් ගාර්නියර් සැන්ටොස් සහ යුධ හමුදාවේ මෙහෙයුම් අණදෙන නිලධාරී ජෙනරාල් එස්ටෙවම් තියෝෆිලෝ ඇතුළු සන්නද්ධ හමුදාවන්හි ඉහළ පෙළේ සාමාජිකයින් කිහිප දෙනෙකු බ්‍රසීල හමුදාවේ හිටපු කපිතාන්වරයෙකු වූ හිටපු ජනාධිපති බොල්සනාරෝගේ කුමන්ත්‍රණයට එකඟ වූ බව එම පොලිස් වාර්තාවේ දැක්වෙයි. වසර 2022 ඔක්තෝබර් ජනාධිතිවරණයෙන් ජයගත් ලූලා ද සිල්වා සහ බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ද මොරායස් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණකරුවෝ සැළසුම් කළහ.
වසර 2022 ඔක්තෝබර් මැතිවරණයේදී බොල්සනාරෝගේ උප ජනාධිපති අපේක්ෂකයා සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෝල්ටර් බ්‍රාගා නෙටෝ කුමන්ත්‍රණයේ ප්‍රධාන නිර්මාණකරු වශයෙන් සැළකෙයි. ඔහු ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලද කුමන්ත්‍රණ අදියර හයකින් සමන්විත වූ බව බ්‍රසීල ෆෙඩරල් පොලිස් වාර්තාවේ දැක්වෙයි. බොල්සොනාරෝගේ දේශපාලන පක්ෂයේ මූලස්ථානය වැටලීමේදී සොයා ගන්නා ලද අතින් ලියන ලද ලේඛනයක, බලය පැවරීම බාධා කිරීමට සහ 2022 මැතිවරණය අවලංගු කිරීමට හමුදා භාවිතා කිරීම සඳහා අදියර හයක මෙහෙයුමක් පිළිබඳ තොරතුරු සඳහන් කර තිබේ. එහි අවසාන අදියර වන්නේ ලූලා බලයට පත්වීම සහ ඔහු ජනාධිපති මන්දිරයට ඇතුළු වීම වැළැක්වීමය. යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ ප්‍රධානීන් වන ජෙනරාල් මාර්කෝ ඇන්ටෝනියෝ ෆ්‍රයර් ගෝමස් සහ ගුවන් ලුතිනන් බ්‍රිගේඩියර් කාලෝස් ද අල්මේදා බැප්ටිස්ටා ජූනියර් ඔවුන්ගේ සහාය කුමන්ත්‍රණයට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බොල්සොනාරෝ හමුදා කුමන්ත්‍රණයක් හරහා බලය ලබා ගැනීමේ අදහස අවසාන මොහොතේ අත්හැර දමා තිබේ.
“අපි කුමන්ත්‍රණයකට ඉතා ආසන්නව සිටියෙමු. එය පිස්සන්ගේ කුමන්ත්‍රණයක්” හමුදාව බලය අත්පත් කර ගැනීම නිවේදනය කිරීම සඳහා රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථාන අත්පත් කර ගැනීමට පෙර ලූලා ද සිල්වා ඇතුළු ඉහළ නායකයින් අත්අඩංගුවට ගැනීමට හෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සැලසුමේ ඇතුළත් තිබූ බව දේශපාලන විචාරක ඔක්ටේවියෝ ගුඩෙස් බ්‍රිතාන්‍යයේ “ගාඩියන්” පුවත්පතට හෙළි කළේ ය. ග්ලෝබෝ නිවුස් රූපවාහිනී ජාලයේ දේශපාලන විචාරකයෙකු වන ගුඩෙස් “ලෝකය මෙය පිළිගනී යැයි ඔවුන් සිතන්නේ කෙසේද?” දැයි ප්‍රශ්න කරයි. හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය කුමන්ත්‍රණයට එරෙහිව යෙදූ පීඩනය සහ හමුදා ප්‍රධානීන් කුමන්ත්‍රණයට එක්වීම ප්‍රතික්ෂේප කිරීම බොල්සොනාරෝගේ බලය අත්පත්කර ගැනීමේ උත්සාහය අසාර්ථක වීමට හේතුවූ බව ගුඩෙස් දැඩිව විශ්වාස කරයි. “බ්‍රසීලය එහි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බයිඩන්ට ණයගැතියි,” යැයි පවසන ගුඩෙස් “ට්‍රම්ප් බලයේ සිටියා නම් ඉතිහාසය බෙහෙවින් වෙනස් වනු ඇතැයි” අවධාරණය කළේ ය.
වසර 2023 ජනවාරි 1 වන දින ජනාධිපති ලූලා ද සිල්වාගේ පදවි ප්‍රාප්ති උත්සවය පැවැති අතර ජනවාරි 8 වන දා බොල්සනාරෝගේ ආධාරකරුවෝ බ්‍රසීල කොන්ග්‍රස් ගොඩනැගිල්ලට සහ ජනාධිපති මන්දිරයට කඩාවැදී එම ස්ථාන විනාශ කළහ (එම සිද්ධියේ සේයාරූ ලිපිය අවසානයේ දැක්වෙයි). මේ දක්ෂිණාංශික කැරැල්ල හමුදා කුමන්ත්‍රණයකට පදනම නිර්මාණය කිරීමට සංවිධානය කළ මෙහෙයුමක් බව පොලිස් වාර්තාවේ දැක්වෙයි. බොල්සනාරෝගේ ආධාරකරුවන් දියත් කළ බලය අත්පත් කර ගැනීමේ කැරැල්ලට ආරම්භයේදී බ්‍රසීලයේ පොලීසිය සහ හමුදාව නිහඬ සහයෝගයක් ලබාදෙනු දැකිය හැකි විය. ඔවුන්ව රජයේ මර්මස්ථාන වලින් පලවා හැරීමට ආරක්ෂක අංශ ක්‍රියා කරන්නේ කැරැල්ල ක්‍රියාත්මක වී පැය ගණනාවකට පසුවය. ඒ ලූලාගේ ආණ්ඩුව සිය අණසක පතුරුවමින් බලය යළි අත්පත් කර ගැනීමත් සමඟිනි.
ජෙයර් බොල්සනාරෝ යනු දකුණු ඇමරිකාවේ හිට්ලර් යැයි තමන් විසින් ආඩම්බරයෙන් හඳුන්වාගත් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාය. ඔහු බ්‍රසීල යුධ හමුදාවේ හිටපු කපිතාන්වරයෙකි. වසර 2019 ජනවාරි මාසයේ බොල්සනාරෝ බ්‍රසීලයේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ය. ඔහු අන්ත දක්ෂිණාංශික, ජාතිවාදී, වර්ගවාදී ඒකාධිපතියෙකි. ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධී අයෝමය හස්තයකින් රට පාලනය කළේ ය. පෘථිවියේ පෙනහැල්ල වශයෙන් සළකන ඇමසොන් වනය විනාශ කළ ඔහු එහි ජීවත්වන ආදිවාසීන් නින්දා සහගත ලෙස මර්දනය කළේ ය. ඒ පිළිබඳ එල්ල වූ ජාත්‍යන්තර විරෝධය පවා නොසළකා හැරියේ ය. ඔහුගේ ක්‍රියාමාර්ග විවේචනය කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව තම "ගව පට්ටිය" උසිගැන්වීම බොල්සනාරෝගේ උපක්‍රමය විය. වරෙක ජාත්‍යන්තර කීර්තියට ලක්වූ සාහිත්‍යකරුවකු වූ Paulo Coelho de Souza බොල්සනාරෝගේ ක්‍රියාමාර්ග විවේචනය කළේ ය. එයට ප්‍රතිචාරයක් වශයෙන් ඔහුගේ කෘති ප්‍රසිද්ධියේ ගිනිතබා විනාශ කිරීම සඳහා බොල්සනාරෝ සිය "ගව පට්ටිය" උසිගැන්වීය.
දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනයේදී මෙන්ම කෝවිඩ් මර්දනයෙදීත් ඔහු අනුගමනය කළේ ඔහුගේ “වැඩිමහල් සොහොයුරා” වන ඩොනල්ඩ් ට්‍රම්ප්ව ය. කෝවිඩ් වසංගතය මෙයට එක් නිදසුනකි. ආරම්භයේ දී කෝවිඩ් යනු විපක්ෂයේ මවාපෑමක් යැයි පැවසූ ඔහු පසුව එම රෝගය ප්‍රතිකාර නොගෙන සුවවන සෙම්ප්‍රතිශ්‍යාවක්, උණ රෝගයක් ලෙස ලඝු කළේ ය. ට්‍රම්ප් මෙන්ම වසංගත විශේෂඥ උපදෙස් ප්‍රතික්ෂේප කළ ඔහු මුඛ ආවරණය නොපැලඳ රටට "ගොං ආතල්" දුන්නේ ය. ට්‍රම්ප් මෙන්ම බොල්සනාරෝට ද කෝවිඩ් වැළඳුන අතර ඒ වන විට සොයා ගෙන තිබු ඉහළම බෙහෙත් ඒ අවස්ථාවේ ඔවුනට ලබාදුනි. විද්‍යාව බොරුවක් යැයි සිය ආධාරකරුවන්ට දේශනා කළ ඔවුහු විද්‍යාවේ පිහිටෙන් ජීවිත බේරා ගත්හ. බොල්සනාරෝ කෝවිඩ් එන්නත බොරුවක් බවට ජනතාවට කියා සිටියේ ය. කෝවිඩ් එන්නත පිළිබඳ දක්ෂිණාංශික ක්‍රමන්ත්‍රණ න්‍යායන් (conspiracy theories) සමාජ ගත කළේ ය. කෝවිඩ් වසංගතය නොසලකා හැරියේ ය. මේ ප්‍රවේශ හේතුවෙන් බ්‍රසීලයේ පුරවැසියන් 711,380ක් කෝවිඩ් වෙෙරසයට ගොදුරු වී මරණයට පත්වූ අතර එය ලෝකයේ දෙවන ඉහළම මරණ සංඛ්‍යාවයි. ඒ මරණ සංඛ්‍යාව අතරින් බහුතරය බ්‍රසීලයේ අඩු ආදායම් ලබන දිළිඳු ජනතාව සහ ආදිවාසී ජන කොටස් ය. ලෝකයේ ඉහළම කෝවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ට්‍රම්ප් පාලනය කළ ඇමරිකාවෙනි. එහි කෝවිඩ් මරණ සංඛ්‍යාව 1,219,487 කි.
වසර 2022 ඔක්තෝබරයේ දී පැවැති බ්‍රසීල ජනාධිපතිවරණයේ දී ජෙයර් බොල්සනාරෝට එරෙහිව ලූලා ද සිල්වා ඉදිරිපත් විය. බොල්සනාරෝගේ අන්ත දක්ෂිණාංශික, ජාතිකවාදී ප්‍රතිපත්තිවලට විකල්පයක් ලූලා බ්‍රසීල ජනතාවට ඉදිරිපත් කළේ ය. රටතුළ යළි මතුවී ඇති දිළිඳුකම පිටුදැකීම, ලෝක සම්පතක් වන ඇමසොන් වනාන්තරය ආරක්ෂා කිරීම, බ්‍රසීලයේ ආදිවාසී ප්‍රජාව ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ලූලා ඉදිරිපත් කළ අතර එම වැඩපිළිවෙළට බ්‍රසීල ජනතාව ආකර්ෂණය විය. විශේෂයෙන් කෝවිඩ් වසංගතයේ දී මරණයට තල්ලු කරනු ලැබූ දිළිඳු ජනතාව ලූලා වටා ඒකරාශී වූහ. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ දා සිට ජනාධිපතිවරණය පැවැත්වූ වසර 2022 ඔක්තෝබර් 2 වන දා වනතෙක් පැවති ජනමත සමීක්ෂණයන්හි දී, ලූලා බොල්සනාරෝට වඩා ඉදිරියෙන් සිටියේ ය. තම පරාජය ගැන ඉව වැටී සිටි බොල්සනාරෝ, දිගින් දිගටම ට්‍රම්ප්ගේ ගීතය ගායනය කළේ ය. එනම් තමන් මැතිවරණයෙන් පරාජය වුවහොත් මැතිවරණය දූෂිත බවයි. එබැවින් තමන් බලය අත්හැර නොයන බවයි. පෙර පැවැති බ්‍රසීල හමුදා පාලනය යටතේ අලුගෝසුවෙක් ලෙස කටයුතු කළ බොල්සනාරෝ, පසුගිය මැතිවරණ සටනේ දී දශක දෙකකට අධික කාලයක් පැවති හමුදා පාලනයේ ගුණ ගායනා කළේ ය. "මාව බලයෙන් ඉවත් කිරීමට හැකි වන්නේ දෙවියන් වහන්සේට පමණයි. හමුදා ඉන්නේ අපේ පැත්තේ" යැයි ඔහු කිහිපවිටක් ම පැවසූ අතර එමගින් ඔහු හමුදා ක්‍රමන්ත්‍රණයක් හරහා බලයේ සිටීමට උත්සාහ ගන්නේ දැයි විශාල සැකයක් බ්‍රසීල ජනයා අතර මතුවිය.
බොල්සනාරෝගේ මැතිවරණ සටන ආරම්භ කළ අවස්ථාවේ ඔහුගේ සහයට පැමිණියේ ලොව පුරා සිටින අන්ත දක්ෂිණාංශික සුදු වර්ගවාදී නව නාසි නායකයන් ය. හන්ගේරියාවේ වික්ටර් ඕබාන්, ඉතාලියේ ජෝර්ජියා මෙලෝනි, ප්‍රංශයේ මැරීන් ලෙපෙන් ඒ අතර කැපීපෙනිණි. එහෙත් තීරණාත්මක බලපෑමක් කළේ ඒ වන විට ජනාධිපතිවරණයෙන් පරාජයවී සිටි ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඔහු බොල්සනාරෝගේ ප්‍රතිපත්ති ඉහළින්ම අගය කරමින් ප්‍රසිද්ධියේ ම සහයෝගය ලබා දුන්නේ ය. වසර 2022 ඔක්තෝබර් 2 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ජයගත් නමුත් කිසිදු අපේක්ෂකයෙකුට සියයට පනහේ ඡන්ද සීමාව ඉක්මවා යෑමට නොහැකිවීම හේතුවෙන් ඔක්තෝබර් 30 වන දා ජනාධිපතිවරණයේ දෙවන වටය පැවැත්විණි. එහිදී ලූලා සියයට පනහේ සීමාව ඉක්මවායමින් වැඩි ඡන්ද 2,139, 645කින් ජනාධිපතිවරණය ජය ගත්තේ ය.
මැතිවරණයේ නිළ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී විනාඩි තිහක් යෑමට ප්‍රථම එවකට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ලූලාට සුබපැතුම් එක් කරමින් නිවේදයක් නිකුත් කළේ ය. ඉන් පසුව ලොව පුරා ලෝක නායකයෝ බ්‍රසීල නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳ සුභපතමින් බ්‍රසීලයේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය අගය කළහ. බොල්සනාරෝ ජනාධිපතිවරණ පරාජය වුවහොත් ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් දිගටම බලයේ සිටීමේ උත්සාහයක් පිළිබඳ තොරතුරු පැතිරයමින් තිබූ බැවින් ඇමරිකානු ජනාධිපතිවරයා බ්‍රසීල මැතිවරණ ප්‍රතිඵල ඉතා ඉක්මනින් පිලිගත් බව වාර්තා විය. වසර 2023 ජනවාරි පළමු වන දා ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා වශයෙන් වසර හතරක ධූර කාලයක් සඳහා දිවුරුම් දුන්නේ ය. ජනවාරි 8 වන දා බොල්සොනාරෝගේ ආධාරකරුවෝ නව ජනාධිපතිවරයාට සිය බලය ස්ථාපිත කරගැනීම වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයක් දියත් කළහ. ඔවුහු බ්‍රසීල කොන්ග්‍රස් ගොඩනැගිල්ලට සහ ජනාධිපති මන්දිරයට කඩාවැදී එම ස්ථාන විනාශ කළහ. මේ ප්‍රචණ්ඩත්වය හරහා හමුදා කුමන්ත්‍රණයකට ප්‍රවේශය ලබාදීම බොල්සොනාරෝ ඇතුළු කණ්ඩායමේ අරමුණ විය.
මෙය වසර 2021 ජනවාරි 6 වන දා එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ප්‍රචණ්ඩ දේශපාලන ක්‍රමන්ත්‍රණයකින් බලය ලබා ගැනීමට දැරූ උත්සාහයට බොහෝ සෙයින් සමානය. ජනාධිපති ට්‍රම්ප්ගේ ආශීර්වාද සහ මෙහෙයවීම යටතේ සිදුවූයේ වසර දෙසිය පනහකට පමණ ආසන්න ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරණයකින් පසුව සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව කඩාකප්පල් කර ට්‍රම්ප්ට නීතිවිරෝධී ලෙස ජනාධිපතිධූරය ලබා ගැනීමට සිදු කළ ආයුධ සන්නද්ධ ක්‍රමන්ත්‍රණයකි. එදින සුදු අන්තවාදී, ජාතිවාදී, නව නාසි ට්‍රම්ප් ආධාරකරුවෝ දෙදහක් පමණ කොන්ග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී එම ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වැළැක්වීමට උත්සාහ කළහ. අන්තවාදී ප්‍රහාරයන්ගෙන් එක් පොලිස් නිළධාරියෙකු මියගොස් තවත් 138 ක් තුවාල ලැබීය. අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූ ආරක්ෂක නිළධාරීන් පස්දෙනෙකු තමන්ට විඳීමට සිදුවූ මානසික ආතතියෙන් ගැලවීමට නොහැකිව මේ වන විට සියදිවි නසාගෙන තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් කුමන්ත්‍රණකාරී ලෙස බලය ලබා ගැනීමට උත්සාහ කළ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ සහ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ලූලා ද සිල්වා නැමැති වාමාංශික නායකයාට දේශපාලන ශක්තිය සහ අධිෂ්ඨාන තිබිණි. එහෙත් ඇමරිකානු ඉතිහාසයේ පළමුවරට ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වළක්වා ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බලය අත්පත්කර ගැනීමට උත්සාහ කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ජෝ බයිඩන්ට ශක්තියක් නොවීය. ‘පිස්සු බල්ලන්ට දඩාවතේ යෑමට ඉඩදිය නොහැකිය’. එය සමස්ත සමාජයටම විශාල තර්ජනයකි. බහු ජනයාගේ හිත සුව පිණිස එවැනි ‘බල්ලන් කෙසේ හෝ බැඳ දැමිය යුතුය’. ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා නම් කුඩා ශරීරයක් සහිත මිනිසා මෙන්ම බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය ලොවට ලබාදුන් ඉතා වැදගත් දේශපාලන පණිවිඩය එයයි. මේ පණිවිඩය අපේ රටට ද ඉතා වැදගත් ය. දකුණු ඇමරිකාවේ හිට්ලර් යැයි තමන් විසින් හඳුන්වාගත් බ්‍රසීලයේ ජෙයර් බොල්සනාරෝලා දශක දෙකකට අධික කාලයකට සිරදඬුවම් නියම වන විට අනෙකුත් “හාල් කෑලි” ගැන කථා කිරීමට තරම් දෙයක් නැත. නීතිය සැමට සමාන විය යුතුය. එහි ව්‍යතිරේක තිබිය නොහැකි ය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-09-12 16:25:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි