(ලංකා ඊ නිව්ස් -2025.සැප්.13, ප.ව.10.00) අති දූෂිත තක්කඩි පවුලක් වූ කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ මෙතෙක් අධි චෝදනා නොලැබූ අයෙක් වූයේ නම් ඒ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල පමණි. මීට පෙර ඒ පවුලේ කෙහෙළිය, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව ද අධි චෝදනා බාර දී තිබිණ. ඒ ගැන මේ ලිපිය අවසානයේ විස්තර කරමු.
ඊයේ (12) අල්ලස් කොමිසම විසින් අධි චෝදනා ගොනු කෙරුණේ කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව ය.
ඒකෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ ලේකම්වරයා ලෙස රාජකාරි කළ රමිත් රඹුක්වැල්ල මාස 21 ක කාලයක් තුළ රුපියල් කෝටි 27 කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, ඒවා උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම නිසා ය.
රමිත් රඹුක්වැල්ල පියාගේ ලේකම් ධුරයේ කටයුතු කරන අතරතුර එනම් 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් කෝටි 29 කට අධිකව, හරියටම ගණන් කීවොත් රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත. ඉන් රුපියල් කෝටි 27 කට අධිකව, හරියටම කීවොත් ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබේ.
උපයාගත් ආකාරය කීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8 ක් සහ රුපියල් 6 කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස 2 ක් ඇත. රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4 ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4 ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතී. එසේම රමිත් ගේ හා ඔහුගේ බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇති අතර ඒවා ද අල්ලස් කොමිසම විසින් අණාවරණය කරගෙන තිබේ.
රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලද්දේ ඒ අනුව ය.
මීට පෙර පසුගිය ජූලි 17 වැනිදා ද ඒ පවුලේ කෙහෙළිය, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව අධි චෝදනා බාර දී තිබිණ. ඒ ගැහිල්ල පොඩි නැත. ඇමැතිකරම් දැරූ අවුරුදු 4 ක් තුල දී කෙහෙළිය රුපියල් කෝටි 9700 ක වත්කම් උපයා තිබිණ.
ඒ කෙහෙළියට එරෙහි හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොණුකරන ලද අධි චෝදනා 13 ක නඩුවට අමතරව ය.
කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන පවුලේ සියළුම දෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ජූලි 17 දා අධි චෝදනා ගොණු කෙරුණේ දින 2 ක් තුළදී රුපියල් මිලියන 97 කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වීමේ චෝදනාවක ට ය. කොමිසම එහිදී අධි චෝදනා 43 ක් ගොණු කෙරිණ. ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ය.
මෙම නඩුකරයේ දී ප්‍රථමයෙන් බඩු අහුවුනේ මහ බැංකුවේ සැක කටයුතු ගනුදෙනු (STR) අංශය ට ය. එම අංශය කළ විමර්ශනයකදී සොයාගත් කරුණු අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශනයක් පවත්වා කෙහෙළිය ගේ බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු හා ස්ථිර තැන්පතු පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වූ කරුණු අනුව මහාධිකරණය හමුවේ අධි චෝදනා 43 ක් ගොණු කිරීම සිදුකෙරිණ.
2023 වසරේ දින 2 ක් තුළදී පමණක් ඉහත සඳහන් කෙහෙළිය පවුලේ අයගේ සැක කටයුතු ගිණුම්වලට රුපියල් මිලියන 100 කට ආසන්න මුදලක් ලැබී ඇති බව විමර්ශන වල දී හෙළි වූ අතර ඔවුන්ට ඒවා ද ලැබුනේ කෙසේදැයි කියා ගැනීමට නොහැකි විය.
එතැන් සිට කළ විමර්ශන වල දී කෙහෙළිය ඇමැති ලෙස කටයුතු කළ වසර 4 ක කාලය තුල උපයාගත් රු. බිලියන 97 ක හෙවත් රුපියල් කෝටි 9700 ක වත්කම් ගැන හෙළිදරව් විය. එකී කාලය නම් 2020 වසරේ අගෝස්තු මස 13 දා සහ 2024 වසරේ ජූලි මස 24 දා අතර වසර 4 ක කාලය තුළදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයයි.
කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා නැමැත්තිය වෙනුවෙන් 2003 වසරේ ජූනි 12දා පෞද්ගලික බැංකුව පිහිටි ස්ථාවර තැන්පතුවක රුපියල් 30,000,000.00ක මුදලක් තැන්පත් කර තිබේ. ඔහුගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල විසින් 2023 වසරේ ජූනි 14දා සහ දෙසැම්බර් 21දා රුපියල් 9,000,000.00ක සහ 2,000,000.00ක ජීවිත රක්ෂණ ඔප්පු දෙකක් මිලදී ගෙන ඇත.
එමෙන්ම දෙවැනි දුව වන චන්දුලා රමාලි රඹුක්වැල්ල 2023 වසරේ ජූනි 14දා එනම් ඉහත ගනුදෙනුව සිදුවූ දිනම රුපියල් 8,000,000.00ක ජීවිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගෙන තිබේ.
විත්තිකරුගේ 3 වැනි දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල යන අය ඉහත ගනුදෙනුව සිදුවූ දිනයට දින 2කට පෙර එනම් 2023 වසරේ ජූනි 12දා ගිණුම් 8ක රුපියල් 30,000,000.00ක ගිණුම් විවෘතකර ඇත. මෙයට අමතරව රුපියල් 34,000,000.00ක ජීවිත රක්ෂණ ඔප්පු 2ක් මිලදී ගෙන ඇත.
එයට අමතරව බෑනා ද එදිනම ස්ථාවර තැන්පතු 5ක රුපියල් 14,125,000.00ක මුදලක් ආයෝජනය කර තිබේ.
අයථා ලෙස උපයාගත් මුදලින් මිලදී ගත්තේ යැයි සැලකෙන දේපළ, බැංකු ගිණුම්, ස්ථාවර වත්කම් සහ ජීවිත රක්ෂණ ඔප්පු අල්ලස් කොමිසම විසින් කළ කරුණු දැක්වීම අනුව කොළඹ මහාධිකරණය විසින් අත්හිටුවන ලදී.
කෙහෙළිය හා ඔහුගේ පවුලේ උදවියට විරුද්ධව නඩු හා විමර්ශන 10ක් පැවැත් වේ.
කෙහෙළිය යනු පසුගිය වනචර යුගයේ එක ඇමැතියෙක් පමණි. ඒකා ගැහූ ගැහිල්ල මෙලෙස නම් අනික් උන් සහ මහ උන් ගැහූ ගැහිලි කෙසේ විය හැකිද?
---------------------------
by (2025-09-13 16:41:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි