(ලංකා ඊ නිව්ස් -2025.සැප්.17, ප.ව.10.40) කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන් විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙන්වන ලද, පසුගියදා මිද්දෙණියේ කන්තෝරුව වත්ත, තලාව උතුර, කාරියමඩිත්තේ පිහිටි වත්තක ඉඩමක වළ දා තිබී පොලිසිය විසින් අල්ලා ගන්නා ලද, කන්ටේනර් දෙකක තිබූ කිලෝ පනස් දහසක් තරම් විශාල රසායන ද්‍රව්‍ය තොගය එහි ගෙන්වා වළ දැමූ ඉඩම සහ නිවස හිමි, මෙතෙක් පොලිසියෙන් වසන් වී සිටි, මෙවර අඟුණකොල පැලැස්ස ප්‍රාදේශීය සභාවට පොහොට්ටුවෙන් තරඟ වැදුණු සම්පත් මනම්පේරි නමැත්තා අද(17) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වුයේ ය. ඔහු අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.
අඹුදරුවන්ද රැගෙන ප්‍රදේශයෙන් පළාගොස් සිටි සම්පත් මනම්පේරි බාර වීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉල්ලීම අනුව ඔහුව ලබන 24 දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර දුන්නා ය.
සම්පත් මනම්පේරිට අයත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමේ තිබී පොලිසිය අල්ලා ගත් රසායන ද්‍රව්‍ය මේ වන විට වැඩිදුර පරීක්ෂන සඳහා බාර දී තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ය. ඉන් ලබා ගත් සාම්පල 20 කින් 17 කම අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනිකයන් තිබූ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් කාර්යාංශයට ලබා දුන් වාර්තාවේ සඳහන් විය.
සම්පත් මනම්පේරිගේ ඉඩමේ තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ 5 ක්, T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 18 ක්, බෝරා 12 ගිනි අවි උණ්ඩ 3 ක් ප්‍රථමයෙන් සොයා ගත්තේ ය.
දෙවැනි වරට සම්පත් මනම්පේරිගේ පියාගේ නිවස සෝදිසි කිරීමේ දී පොලිසිය භාවිතා කරන නිල ඇඳුම්, බැටන් පොලු, මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවි හා ඒවාට යොදන උණ්ඩ සොයා ගැණින. ඒවා අතර ටී කටස් ගිනි අවියක්, බෝරා 12 උණ්ඩ යෙදිය හැකි බැරල් 2 ක් හා ඊට සවි කර ඇති ක්‍රියාකාරී කොටස්, ටී 56 ගිනි අවි පටි, වාහන වල ඉදිරිපස හා පිටුපස අංක තහඩු 4 ක් අයත් විය. 78 හැවිරිදි පියාද අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදුව පසුව ඇප මත මුදා හැරිණ.
අපරාධයන්ට හවුල් වූ සම්පත් මනම්පේරිගේ මල්ලී වූ හිටපු පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජයවික්‍රම මනම්පේරි පියල් විරාජ් හෙවත් පියල් මනම්පේරි ද අත් අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතව ය.
ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සම්පත් මනම්පේරිගේ නම ඈඳෙනවාත් සමග සම්පත් සමග එකම අංකයකින් යුත් වාහන භාවිතා කළ, සම්පත් සමග එකට සේයාරූ වල පෙනී සිටි ඔහු සමග කුළුපග සම්බන්ධතා පැවැත්වූ නාමල් රාජපක්ෂ පුදුමාකාර ලෙස කලබල විය. ඒ සමගම පොහොට්ටු පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කෙළේ සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටවූ බවයි. පුදුමයට කාරණය නම් සම්පත් හා සමානවම පොහොට්ටුවේ ප්‍රබලයෙක් වූ එම පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වූ සම්පත්ගේ මල්ලී පියල් ගේ පොහොට්ටු සාමාජිකත්වය අද දක්වා තහනම් කිරීමට එම පක්ෂයට අමතක වීමයි.
පොහොට්ටුවන්ට මත්ද්‍රව්‍ය හා නම ඈඳුනු තම සාමාජිකයන්ගේ, සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍යතාවයක් නැත. එසේ කරන්නේ නම් පොහොට්ටුවේ නායකයා වන මහින්ද රාජපක්ෂගේ ද සාමාජිකත්වය තහනම් කළ යුතුය. ඒ අනුව සම්පත්ගේ සාමාජිකත්ව තහනම් කළද පියල්ගේ සාමාජිකත්ව තහනම් නොකෙළේ අන් කිසිවක් නිසා නොව, සම්පත් නාමල් සමග එකට පෙනී සිටින ඡායාරූප ප්‍රසිද්ධ වුන ද පියල් නාමල් සමග එකට සිටින ඡායාරූප ප්‍රසිද්ධ නොවීමයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසේ පාපෝච්ඡාරණ අනුව වැල දිගට එකිනෙකා හෙළිදරව්වෙද්දී දැන් බලාපොරොත්තු විය යුත්තේ සම්පත් මනම්පේරිගේ පාපෝච්ඡාරණ අනුව හෙළිදරව් වන්නේ කවුරු කවුරුද යන්නයි. මන්ද යත් සම්පත් මනම්පේරි මෙම අයිස් මත්ද්‍රව්‍ය සමග සහ හසුවූ ගිනි අවි සමග සම්බන්ධතා තිබෙනවා මදිවාට රාජපක්ෂලාගේ වනචර යුගයේ ඝාතන වලට ද ඔහු සම්බන්ධ නිසා ය.
අපි බලා සිටිමු..!
(සම්පත් මනම්පේරි අද වලස්මුල්ල අධිකරණයට බාරවීමට ආ අවස්ථාව සේයාරුවේ දැක්වේ)
---------------------------
by (2025-09-17 17:28:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි