~

උදේ සවස දකින කුකුලාගේ කරමල සහ කුහක ආචාරියාගේ මානසික විකෘතිය..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.17, ප.ව‍.11.50) පසුගිය ජනාධිපතිවරණයේදී සජබ වේදිකාවෙන් එල්ල කළ මූලික ප්‍රහාරයක් වූයේ මාලිමාවට මෙරට ආර්ථිකය කළමනාකරණ කිරීමට නොහැකි බවයි. ඒ වෙනුවෙන් සජබ වේදිකාවේ බෙරිහන් දුන් ප්‍රධාන චරිතය වූයේ  ආචාර්ය හර්ෂ ද සිල්වා හෙවත් හර්ෂ ආචාරියාය. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඔහු සෑම වේදිකාවකම කැට තබා කියා සිටියේ මාලිමා ආණ්ඩුව යටතේ මාසයක් ඇතුළත රටේ ආර්ථිකය බිඳ වැටෙන බව මෙන්ම මාලිමාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩපිළිවෙලින් ඉවත්වී රට යළිත් බංකොලොත් කරන බවයි. මාලිමාවේ නායකයන්ට රට පාලනය කිරීමේ කිසිම පලපුරුද්දක් නොමැති අතර එම හැකියාව ඇත්තේ තමන් නියෝජනය කරන ප්‍රභූ දේශපාලන පංතියට පමණක් බව ඔහු රටට පැහැදිලි කර දුන්නේ ය. 

පාලක ප්‍රභූ පංතියේ මෙන්ම ඔවුන්ගේ සට්ටැඹිරාළලාගේ වියරුව…

එහෙත් මෙරට ජනතාව ආර්ථික ඔස්තාර්ලාගේ කථා තඹ පයිසෙකට විශ්වාස කළේ නැත. ඔවුහු තඹුත්තේගම ගැමි තරුණයෙකු ජනාධිපති වශයෙන් තෝරා ගත්හ. එය මෙරට පාලක ප්‍රභූ දේශපාලන පංතිය කිසිදිනෙක බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයකි. මේ පාලක ප්‍රභූ පංතිය මෙන්ම ඔවුන්ගේ  සට්ටැඹිරාළලා එම ජනතා තීරණයෙන් දැන් වියරු වැටී සිටිති. බොහෝ දෙනෙක් මානසික අවපීඩන තත්ත්වයට මුහුණ දී සිටින බව ඔවුන්ගේ කරණ විවිධ ප්‍රකාශ සාක්ෂි දරයි. ඔවුහු පසුගිය වසරකට ආසන්න  කාලය පුරා මාලිමා ආණ්ඩුව  බිඳ දැමීමට හැකි සෑම කුමන්ත්‍රණයක්ම දියත් කළහ. හැකි සෑම දේශපාලන ප්‍රහාරයක්ම එල්ල කළහ. එම ප්‍රහාර සහ කුමන්ත්‍රණවල මූලික ඉලක්කය වූයේ රටේ ආර්ථිකය බිඳ දමා රට අස්ථාවර කිරීමය. ඔවුන්ගේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනය වූයේ රටේ ආර්ථිකය ඉක්මනින් බිඳ වැටෙනු ඇති බවයි. මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාසයකින්, මාස තුනකින්, මාස හයකින් ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි මේ ආර්ථික ඔස්තාර්ලා සිහින දුටුහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික නොලැබෙනු ඇතැයි ඔවුහු අනාවැකි පල කළහ. අපනයන ආදායම බිඳ වැටෙනු ඇතැයි කියා සිටියහ. බදු ආදායම් ඉලක්ක සපුරා ගතනොහැකි වනු ඇතැයි අනුමාන කළහ. එහෙත් ඔවුන්ගේ ඒ කිසිදු සිහිනයක් සැබෑ නොවීය. 

හර්ෂගේ මානසික අවපීඩනය..

මේ සිහින බිඳ වැටීමෙන් මානසික අවපීඩන තත්ත්වයට පත්ව සිටින විපක්ෂයේ ප්‍රභූ දේශපාලකයෝ ඉදිරියේ සිදුවීමට නියමිත භයානක අනතුරු පිළිබඳව නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ බෙරිහන් දෙති. මේ අතරින් ප්‍රධාන වන්නේ හර්ෂ ආචාරියාය. විපක්ෂ නායකයා මෙන් උදෑසනම පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාවක් ලබා ගන්නා ඔහු රටේ ආර්ථිකය භයානක අනතුරකට මුහුණ දී ඇති බව කියමින් ගිරිය යටින් කෑගැසීම දැන් සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව තිබේ. ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම අසාමාන්‍ය ය. විසුළු සහ විකෘති සහගත ය. හර්ෂ ආචාරියා එජාපයේ ක්‍රියාකාරී දේශපාලනයට එක්වීමට පෙර සිට එජාපයේ (දැන් සජබ) ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශකයෙකු වශයෙන් කටයුතු කරන කබීර් හෂීම් ද (වසර 1994 සිට අඛණ්ඩව පාර්ලිමේන්තු නියෝජනය කරයි)  මාලිමා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල තියුණු ලෙස විවේචනය කරයි. එහෙත් ඔහු තුළින් හර්ෂගේ තරම් විසුළු සහ විකෘති සහගත තත්ත්වයක් ප්‍රදර්ශනය නොවෙයි. ඔහුගේ විවේචන තර්කාන්විත මෙන්ම ධනාත්මකය. 

ට්‍රම්ප් තීරු බදු හරහා අපේ ආර්ථිකය විනාශ කිරීමේ සිහිනය…

ඇමරිකානු තීරු බදු ප්‍රශ්නය ඉදිරියේ හර්ෂ ආචාරියාගේ හැසිරීම මජර සහ නින්දා සහගත ය. ඔහුගේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනය වූයේ ට්‍රම්ප්ගේ තීරු බදු හරහා අපේ ආර්ථිකය විනාශ වනු දැකීමය. විශේෂයෙන් දේශපාලන ප්‍රභූ පංතියට හැර අනෙකුත් බලවේගවලට ඇමරිකාව සමඟ සාකච්ඡා, ගණුදෙනු කළ නොහැකි බව ඔහුගේ දැඩි විශ්වාසය විය. ට්‍රම්ප් තීරු බදු ක්‍රියාත්මකවීමට නියමිත අවසාන පැයේ පවා ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ අපට කෙළවී ඉන්දියාව ගොඩ යනු ඇති බවයි. එයට හේතුව වශයෙන් ඔහු ගෙන හැර දැක් වූයේ මාලිමා ආණ්ඩුව යැවූ නියෝජිත කණ්ඩායමේ දුර්වලතාවයයි. එහෙත් අවසානයේ සිදු වූයේ අපට එරෙහිව පැන වූ තීරු බදු සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ඇමරිකානු රජය තීරණය කිරීමය. එය මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණයකි. මෙය  අපේ දේශපාලන ප්‍රභූ පංතිය මෙන්ම ඔවුන්ගේ සට්ටැඹිරාළලා සිහිනයකින් හෝ බලාපොරොත්තු නොවූ තත්ත්වයකි. ඔවුන්ගේ කුහක, මජර ප්‍රාර්ථනා යළි බිඳ වැටුණි. හර්ෂ ආචාරියා එහි වේදනාව සහ කෝපය පිට කරනු ලැබූවේ ඉන්දියාව සහ අපේ රට අතර රාජතාන්ත්‍රික අර්බූදයක් ඇති කිරීමට උත්සාහ දැරීම හරහා ය.

ඉන්දියාව ගිනි තැබීමේ පාදඩ දේශපාලනය..

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඇමරිකාව ඉන්දියාවට ඉහළ බදු ප්‍රතිශතයක් පැනවීම සම්බන්ධයෙන් සිනාසුන බවට පාර්ලිමේන්තුවේ දී චෝදනා කළ හර්ෂ ද සිල්වා “ඉන්දියාවට සිනාසෙන්න එපා” යැයි ඉල්ලීමක් කළේ ය. ඔහු පාර්ලිමේන්තුවේ දී සිංහල භාෂාවෙන් සිදු කළ එම ප්‍රකාශය සිය  X සමාජ මාධ්‍යයේ පල කළේ ය. තමා සිංහලෙන් සිදු කළ එම ප්‍රකාශයට ඉංග්‍රීසි උපසිරැසි යොදා ට්විට් කිරීමට හර්ෂ අමතක නොකළේ ය. එය  සාමාන්‍යයෙන් ඔහු සිදු නොකරන දෙයකි. හර්ෂගේ ඉලක්කය ඉතා පැහැදිලිය. ඔහුට අවශ්‍ය වූයේ සමාජ මාධ්‍ය හරහා ඉන්දියාව ගිනි තැබීමට ය. එනම් ඉන්දියානු ජනතාව තුළ ශ්‍රී ලංකා විරෝධයක් නිර්මාණය කිරීමය. දෙරට අතරේ හොඳ හිත පළුදු කිරීමය. වසර 1977 එජාප මැතිවරණ වේදිකාවේ සිට ඉන්දිරා ගාන්ධිට සහ ඔහුගේ පුත් සංජය ගාන්ධිට ‘එළදෙන සහ වහුපැටියා’ යැයි අපහාස කළ රණසිංහ ප්‍රේමදාස නිසා රටක් වශයෙන් අපට විශාල වන්දියක් ගෙවීමට සිදු විය. හර්ෂගේ සමාජ මාධ්‍ය සටහන ඉන්දියානුවන් අතර යම් අන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. එහෙත් වාසනාවකට ඉන්දීය ආණ්ඩුව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළේ ය.

මාලිමා පාර්ලිමේන්තු කණ්ඩායමේ මෝඩකම්..

ආචාර්ය හර්ෂ ද සිල්වා යනු චාමර සම්පත් වර්ගයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නොවෙයි. ඔහු අපේ පාර්ලිමේන්තුවේ ස්ථාපිත ප්‍රබලතම කමිටුවක් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ය. රටේ ආර්ථිකය පිළිබඳ එවැනි උසස් තනතුරක් දරන ඔහුගේ හැසිරීම නින්දා සහගත බව කිව යුතුය. හර්ෂට අනාගත දේශපාලන බලාපොරොත්තු රාශියක් තිබෙන බව පැහැදිලිය. සමගි ජන බලවේගයේ නායකත්වයට පවා ඔහුගේ නම යෝජනා වී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. එවැනි ඉලක්කයක් වෙත ගමන් කිරීමට නම් පළමුව ඔහු තම පටු දේශපාලන ජඩකම් අත්හැර දැමිය යුතු බව අපේ අදහසයි. මේ සිද්ධියේ දී හර්ෂලාගේ දේශපාලන නිරුවත මෙන්ම මාලිමා පාර්ලිමේන්තු කණ්ඩායමේ මෝඩ ස්වරූපය ද එකසේ ප්‍රදර්ශනය විය. 

හර්ෂගේ ප්‍රකාශ පිළිබඳ රීති ප්‍රශ්නයක් මතුනොකළේ මන්ද?

වර්තමාන ආණ්ඩුව මාලිමා මන්ත්‍රීවරුන් එකසිය පනස්නම දෙනෙකුගෙන් සමන්විතය. ඒ සියලු දෙනා පාර්ලිමේන්තුවට නවකයන් නොවෙයි. අගමැතිනි හරිනි අමරසූරිය, බිමල් රත්නායක, විජිත හේරත්, නලින්ද ජයතිස්ස, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, නිහාල් ගලප්පත්ති ඇතුළු සැලකිය යුතු පිරිසක් මෙයට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔවුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග සහ රීති ප්‍රශ්න පිළිබඳ  අවබෝධයක් ඇත. හර්ෂ ද සිල්වා, මාලිමා මන්ත්‍රීවරුන් ඉන්දියාවට සිනාසුන බවට බොරු චෝදනාවක් ඉදිරිපත් කරන විට එයට එරෙහිව කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව තිබිණි. අගමැතිනිය, සභානායක හෝ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ඒ අවස්ථාවේ නැගී සිට හර්ෂගේ බොරු චෝදනාව ප්‍රතික්ෂේප කළ යුතුව තිබිණි. ඒ අසත්‍ය ප්‍රකාශ පිළිබඳ රීති ප්‍රශ්නයක් (point of order) මතු කර අදාළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කථානායකගෙන් ඉල්ලීමක් කිරීමට අවස්ථාවක් තිබිණි. එහෙත් අවාසනාවකට ඒ කිසිවක් සිදුවූයේ නැත.

ආයෝජන මණ්ඩල නිළධාරීන් වරප්‍රසාද කමිටුවට ගෙන එන්නේ කවදා ද?

රෝහිත රාජපක්ෂගේ චන්ද්‍රිකා ප්‍රශ්නයේදී අගමැතිනිය ඇතුළු පාර්ලිමේන්තුව නොමග යැවීම පිළිබඳව එම ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රජයේ ආයතනයන්හි නිළධාරීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවිය හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂඥයෝ ප්‍රකාශ කළහ. එහෙත් අද වනතුරු ආණ්ඩුවට එම ක්‍රියා මාර්ගය ගැනීමට හැකිව නැත. මෙවැනි අවස්ථාවක වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා ඇමති වගකීම් නොමැති මාලිමා මන්ත්‍රීවරුන් දහදෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සූදානම් කර තැබීම වැදගත් බව අපේ විශ්වාසයයි. ඔවුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග සහ රීති ප්‍රශ්න පිළිබඳ තියුණු අවබෝධයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රවීණයන්ගේ සහාය ලබා ගත හැකිය. එවැනි සූදානමක් පැවතියේ නම් එදා ආචාර්ය හර්ෂ ද සිල්වා ආචාරියාට පාර්ලිමේන්තුවේ “සංදර්ශන” පවත්වන්නට ඉඩ ලැබෙන්නේ නැත.

උදේ සවස දකින කුකුලාගේ කරමල…

ජේ. ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී බී විජේතුංග යන ජනාධිපතිවරු නව සභාවාරයක් ආරම්භ කිරීමේ අවස්ථාවක හැර පාර්ලිමේන්තුවට පැමිණියේ ඉතාම කලාතුරකිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය, මුදල් ඇමතිනිය වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට පටන් ගත් අතර මහින්ද රාජපක්ෂ ද එම නව සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියේ ය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම ධූරයට පත්වී ගත වී ඇත්තේ මාස දහයකට ආසන්න කාලයකි. එහෙත් මේ කෙටි කාලයකට ඔහු තරම් පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපතිවරයෙකු නොමැති තරම් ය. මුල් අවධියේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතන විට එය රටටම විශේෂ පුවතකි. සමස්ත ජනතාවගේ විශේෂ අවධානය දිනා ගැනීමට ඔහුට හැකි විය. එහෙත් දැන් එය උදේ සවස දකින කුකුලාගේ කරමල මෙනි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන් පරණ පුරුද්දට මෙන් පාර්ලිමේන්තුව අමතනු දැකිය හැකිය. 

පැරණි එච්.එම්.වී තැටි වාදනය…

දැන් ඔහු බොහෝවිට පාර්ලිමේන්තුව අමතන්නේ මාලිමා ආණ්ඩුවට දේශපාලන විවේචන, අභියෝග එල්ල වන අවස්ථාවන්හිදී ය. අනුර කුමාර දිසානායක යනු අනුහස් සහිත නායකයෙකි. ඔහු එම වාසනාව සහ දක්ෂතාවය මාලිමා ආණ්ඩුව ගලවා ගැනීමට භාවිතා කරමින් සිටියි. හරිනි අමරසූරිය අගමැතිනිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවාදය “නාගන්නා” විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මාලිමා ආණ්ඩුව ගලවා ගැනීමට උත්සාහ කරයි. රෝහිත රාජපක්ෂගේ චන්ද්‍රිකාව පිළිබඳ වැරදි තොරතුරු අගමැතිනිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නිර්මාණය වූ සමාජ කතිකාවත වෙනතකට හැරවීම සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුදින පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේ ය. එහිදී රෝහිත රාජපක්ෂගේ චන්ද්‍රිකාව පිළිබඳ වචනයක් සඳහන් නොකළ ජනාධිපතිවරයා එම සමාජ ආන්දෝලනය වෙනකට ගෙනයෑමට අසාර්ථක උත්සාහයක නිරතවන බව දැකිය හැකි විය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ආමන්ත්‍රණ ජනතා අවධානයෙන් ක්‍රමයෙන් ගිලිහී යන්නේ එකම කරුණු දිගින් දිගටම පැවසීම නිසා සහ ජාතික වැදගත්කමකින් තොර සිල්ලර කථා නිසාය. නිදසුනකට මාලිමා ආණ්ඩුවේ පාතාල මර්දනය ගනිමු. ජනාධිපතිවරයා මාස ගණනක සිට හමුදා කඳවුරකින් ස්වයංක්‍රීය ගිනි අවි පිටවීම ගැන කියයි. එම ගිනි අවි යළි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකිව නැත.  එමෙන්ම පාතාල ක්‍රියාකාරකම්හි ද අඩුවක් නැත. ඔහුගේ මෑතකදී සිදු කළ පාර්ලිමේන්තු ආමන්ත්‍රණයන්හි කිසිදු නැවුම් බවක් නැත. ඒවා පැරණි එච්.එම්.වී තැටි මෙනි. 

ජනතා විශ්වාසය..

ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු ඇමතිය යුත්තේ ජාතික වැදගත්කමක් තිබෙන කරුණු මතු කිරීමට මිස සිල්ලර කථා සඳහා නොවෙයි. දේශපාලන පොර පිටියේ ලකුණු දමා ගැනීමට හෝ තම ආණ්ඩුව දේශපාලන වශයෙන් ගලවා ගැනීමට ද නොවෙයි. මාලිමා ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු තිබුණ ද රටේ ජනතාවගෙන් බහුතරයක් තවමත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පිළිබඳ දැඩි විශ්වාසයක් තබා සිටිති. මාලිමාවට ඡන්දය ලබානොදුන් බොහෝ දෙනෙක් පවා තවම ජනාධිපතිවරයාගේ වචනය විශ්වාස කරති. රට තවමත් ඔහු ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටියි. රටේ පොදු ජනතාව ඔහු පිළිබඳ  තබා ඇති එම විශ්වාසය පලුදු කර නොගැනීමට ක්‍රියා කිරීම කාටත් වැඩ දායක ය. 

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-09-17 21:08:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links