-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.22, ප.ව.3.40) පසුගිය දශකයකට අධික කාලයක් පුරා නරේන්ද්‍ර මෝදිගේ හින්දු අන්තවාදී, වර්ගවාදී, මුස්ලිම් විරෝධී දේශපාලනය ඉන්දියානු සමාජ දේහය පුරා පිළිකාවක් මෙන් පැතිර ගොස් තිබේ. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) මතවාදී ආධිපත්‍යයට සියළු ඉන්දියානු ජනමාධ්‍ය යටත් කර අවසානය. එය පාසැල්, විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට, සිනමාව, සංගීතය ඇතුළු කලා ක්ෂේත්‍ර සිය ග්‍රහණයට ගෙන තිබේ. ඉන්දියාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ද මෝදිගේ හින්දු අන්තවාදී, වර්ගවාදී, මුස්ලිම් විරෝධී දේශපාලනයෙන් වෙන්වීමට හැකිව නැත. මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කුසලානයේ දී ඒ බව යළි යළිත් තහවුරු විය.
නරේන්ද්‍ර මෝදි යනු ජනකාන්තවාදී, හින්දු අන්තවාදී, වර්ගවාදී, නායකයෙකි. ඔහු කුඩා කළ දේශපාලන අත්පොත තැබුවේ ලෝකයේ පැරණිම ෆැසිස්ට් සංවිධානයක් වන හින්දු මූලධර්මවාදී Rashtriya Swayamsevak Sangh (RSS) හරහාය. RSS බිහි වූයේ යුරෝපය පුරා ෆැසිස්ට්වාදය සහ නාසිවාදය පැතිර යන අවධියේ ය. කුඩා කාලයේම RSS “කොක්කට” ගොදුරු වූ නරේන්ද්‍ර මෝදි, තරුණ වියේදීම එහි පූර්ණ කාලීන ක්‍රියාධරයෙකු බවට පත් විය. දශක දෙකකට අධික කාලයක් RSS පූර්ණ කාලීනයෙකු වශයෙන් කටයුතු කළ මෝදි RSS හි ඉහළ නායකත්වය සඳහා සුදුසුකම් ලැබීය. භාරතීය ජනතා පක්ෂය ආරම්භ කරන විට එහි පදනම වූයේ RSS ෆැසිස්ට් සංවිධානයයි. එහෙත් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය ජනතාව අතරේ ජනප්‍රිය වන විට අතල් බිහාරී වජ්පායි, එල්. කේ අද්වානි වැනි එහි නායකයෝ දැඩි හින්දු මූලධර්මවාදී ප්‍රවේශ අත්හැර ජනප්‍රිය හින්දු දේශපාලනට යොමු වූහ. එයට මූලික හේතුව වූයේ සන්ධාන දේශපාලනය සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීමයි.
භාරතීය ජනතා පක්ෂයට තනි පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට දුෂ්කර බැවින් ඒ වකවානුවේ දේශපාලන සන්ධානයන්ට එක්වීමට සිදුවිය. දැඩි හින්දු මූලධර්මවාදී පක්ෂයක් සමඟ සන්ධානයන්ට එක්වීමට බොහෝ පක්ෂ අකමැත්තක් දැක් වූ බැවින් ඔවුන්ට නව මුහුණුවරක් අවශ්‍ය විය. වසර 2009 පමණ වන විට භාරතීය ජනතා පක්ෂය සන්ධාන දේශපාලනයේ උපරිමයට ගමන් කර තිබිණි. වසර 1990 සිට 2009 දක්වා කාලයේ දී ඔවුන්ට සියයට 25ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි වූයේ වසර 1998 මහමැතිවරණයේදී පමණි. අනෙක් සෑම අවස්ථාවකම සියයට විස්ස ආසන්නයේ විය. භාරතීය ජනතා පක්ෂයට තනි බලයක් ලබා ගැනීම සඳහා එහි නායකත්වය නරේන්ද්‍ර මෝදිව කරළියට කැඳවීය. ඔහු අතල් බිහාරී වජ්පායි, එල්. කේ අද්වානිලාගේ ජනප්‍රිය හින්දුවාදය වෙනුවට හින්දු අන්තවාදය, වර්ගවාදය, සහ මුස්ලිම් ඇතුළු සුළු ජාතික විරෝධී ෆැසිස්ට් මාදිලියේ ඒකාධිපති දේශපාලනයක් ඉන්දියාවට හඳුන්වා දුන්නේ ය. ආගමික, ජාතික වෛරය පතුරුවන එම දේශපාලනයට ඉන්දියාවේ බහුතරයක් වූ හින්දු බැතිමතුන් වසඟයට ගත් නරේන්ද්‍ර මෝදි වසර 2014 සිට අද දක්වා ඉන්දියාව පාලනය කරයි.
ඉන්දියාවේ සියල්ල සිදු වන්නේ නරේන්ද්‍ර මෝදිට අවශ්‍ය ආකාරයට සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවය. ඉන්දියාවේ ආගමක් බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව පවා නරේන්ද්‍ර මෝදිගේ ග්‍රහණයෙන් මිදී නැත. ඉන්දීය ක්‍රිකට් පාලකයෝ ඔහුගේ දැඩි ආධාරකරුවෝ වෙති. වසර 2023 ඉන්දියාවේ පැවති ලෝක ක්‍රිකට් කුසලානය ලඟ එන ඉන්දීය මහමැතිවරණය සඳහා මෝදිගේ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් බවට පත් විය. ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෝ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එදා “නරේන්ද්‍ර මෝදිගේ කණ්ඩායම” වශයෙන් හැඳින්වූහ. මෑත ඉතිහාසයේ ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් සැළකෙන සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ඉන්දීය ක්‍රිකට් “තරු” රැසක් මෝදිගේ හින්දු අන්තවාදී, වර්ගවාදී දේශපාලනයේ ප්‍රභල ආධාරකරුවෝ වෙති. එබැවින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම “නරේන්ද්‍ර මෝදිගේ කණ්ඩායම” වශයෙන් හැඳින්වීම පුදුමයට කරුණක් නොවෙයි.
පසුගිය සැප්තැම්බර් 15 වන දා ඉන්දියාව සහ පකිස්ථාන පැවති තරඟයේදී ඉන්දියාව තමන් “නරේන්ද්‍ර මෝදිගේ” ක්‍රිකට් කණ්ඩායම බව යළි සනාථ කළේ ය. එම තරඟය අවසානයේ ඉන්දීය ක්‍රීඩකයෝ පකිස්ථාන ක්‍රීඩකයන්ට “අතට අත දීම” ප්‍රතික්ෂේප කළහ. “මහත්වරුන්ගේ ක්‍රීඩාව” වශයෙන් හැඳින්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි සිදුවීම් විරලය. ක්‍රීඩාපිටියේ ක්‍රීඩකයන් අතර උණුසුම් අවස්ථා නිර්මාණය වන නමුත් තරඟය අවසානයේ “අතට අත දී” සුහදතාවය පල කිරීම බොහෝ විට සිදු වෙයි. එසේ සිදු නොවන අවස්ථා විරලය. එහෙත් දේශපාලන හේතූන් මත “අතට අත දී” සුහදතාවය පල කිරීම ප්‍රතික්ෂේප කිරීම මෑත ඉතිහාසයේ කිසිදිනෙක දැකිය නොහැකිවූ තත්ත්වයකි. ඉන්දීය ක්‍රීඩකයෝ පකිස්ථාන ක්‍රීඩකයන්ට “අතට අත දීම” ප්‍රතික්ෂේප කළේ පෙහෙල්ගාම් ප්‍රහාරයට විරෝධය පල කිරීම සඳහාය. පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව දෙරට අතර ගැටුම් ඇති වූ බව රහසක් නොවෙයි. එහෙත් පෙහෙල්ගාම් ප්‍රහාරයට පකිස්ථාන ක්‍රීඩකයන් කිසිවෙකු සම්බන්ධ බවට ඉන්දීය රජය චෝදනා කර නැත. එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පකිස්ථානයට චෝදනා එල්ල කළේ ය. මේ දෙරට එකිනෙකාගේ රටවල් තුළ සිදු වන ත්‍රස්තවාදී ප්‍රහාරයන් සම්බන්ධයෙන් අනෙක් රටට ඇඟිල් දිගු කිරීම චිරාගත සම්ප්‍රදායකි.
ඩුබායිහි පැවති එම ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පකිස්ථානය පරාජය කරමින් කඩුළු හතක ජයග්‍රහණයක් වාර්තා කළ අතර, ඒ අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ ප්‍රතිවාදීන්ට “අතට අත දී” සුහදතාවය ප්‍රකාශ කරනු වෙනුවට වහා ම පිටියෙන් ඉවත් වූහ. ඉන්දීය ක්‍රීඩකයෝ වහාම තම ක්‍රීඩාගාරයට ඇතුළු වී එහි දොර වසා ගත්හ. තරඟ අවසාන ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් කියා සිටියේ මේ තරඟයේ ජයග්‍රහණය “සින්දූර් මෙහෙයුමට” සහභාගී වූ ඉන්දීය නිර්භීත සන්නද්ධ හමුදාවන්ට පුද කරන බවයි. “සින්දූර් මෙහෙයුම” යනු පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව ඉන්දීය හමුදා පකිස්ථානයට එරෙහිව දියත් කළ සන්නද්ධ මෙහෙයුමයි.
“ක්‍රීඩාවේ ජීවගුණයට වඩා ජීවිතයේ සමහර දේවල් ඉදිරියෙන් සිටින බව මට හැඟෙනවා. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ සියලු දෙනා සමග අපි නැගී සිටිනවා. අපි ඔවුන්ගේ පවුල් සමග ද නැගී සිටිමින් අපගේ සහයෝගීතාව ප්‍රකාශ කරනවා. මා කී පරිදි, සින්දූර් මෙහෙයුමට සහභාගී වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට අපි මෙම ජයග්‍රහණය කැප කරනවා" යැයි ඔහු එහිදී පැවසූවේ පකිස්ථාන ක්‍රීඩකයින්ට “අතට අත දීම” ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් ද පැවසුවේ, ඉන්දීය කණ්ඩායම පෙහෙල්ගාම් වින්දිතයින් සමග සිටින බව සහ “සින්දූර් මෙහෙයුම” පිළිබඳව ඉන්දීය හමුදාවට ස්තූති කරන බවයි. මේ ප්‍රකාශ පිටුපස ඇත්තේ නරේන්ද්‍ර මෝදිගේ හින්දු අන්තවාදී, වර්ගවාදී, මුස්ලිම් විරෝධී දේශපාලනයයි.
ඉන්දීය කණ්ඩායමේ මේ ක්‍රියා මාර්ගය ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අනුදැනුම සහ ආශීර්වාදය මත සිදු වූ දෙයක් බව ඉතා පැහැදිලිය. එසේ නොවේ නම් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් මේ විරෝධතාවයට නායකත්වය දෙන්නේ නැත. මේ තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ඉන්දීය නායක සූර්යකුමාර් සහ පකිස්ථාන නායක සල්මන් ආගා අතර “අතට අත දීමක්” සිදු නොවූ අතර ඒ වෙනුවෙන් අයි.සී.සී තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මැදිහත් වූ බවට පකිස්ථානය චෝදනා කළේ ය. එය අයි.සී.සී ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බවට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.සී.සීයට පැමිණිලි කළේ ය. මේ සිද්ධියට විරෝධය පල කිරීම සඳහා පකිස්ථාන කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 17 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරඟය වර්ජනය කිරීමට තීරණ කළේ ය. අවසානයේ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ නායකයාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් පසුව පැයක පමණ ප්‍රමාදයකින් පසුව එම තරඟය ආරම්භ විය. අයි.සී.සී තරඟ තීරක පයික්‍රොෆ්ට් පැවසූවේ සංනිවේදන දුර්වලතාවයක් හේතුවෙන් එම සිද්ධිය සිදු වූ බවයි. එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලපෑමට ඔහු තීරණය ගත් බවයි.
පසුගිය සැප්තැම්බර් 15 වන දා ඇති වූ ආන්දෝලානාත්මක සිදුවී මෙන් පසුව පසුගිය ඉරිදා (21) ද ඉන්දියාව සහ පකිස්ථානය අතර ආසියානු ක්‍රිකට් කුසලාන තරඟයක් පැවැති අතර එහි දී ද ඉන්දීය ක්‍රීඩකයෝ පකිස්ථාන ක්‍රීඩකයන්ට “අතට අත දීම” ප්‍රතික්ෂේප කළහ. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සහ ක්‍රිකට් බලධාරීන්ගේ මේ ක්‍රියා මාර්ගය නින්දා සහගතය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය මෙන්ම ශත වර්ෂ කිහිපයක් පවතින “මහත්වරුන්ගේ ක්‍රීඩාවේ” සාරධර්ම මෙන්ම ගෞරවය නිර්ලජ්ජිත විනාශ කරයි. පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථානයට එරෙහිව විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඔවුන් සමඟ තරඟ වර්ජන තීරණයක් ගැනීමේ අවස්ථාව ඉන්දියාවට ඇත. එහෙත් පකිස්ථානය සමඟ තරඟයකට සහභාගී වන්නේ නම් එහි සම්ප්‍රදායන් මෙන් ක්‍රීඩාවේ ජීවගුණය රැකිය යුතුය. එසේ නොමැතිව “අතට අත දීම” ප්‍රතික්ෂේප කිරීම, ක්‍රීඩාගාරයට වැදී දොර වසා ගෙන සැඟවී සිටීම වැනි ක්‍රියා “කැළණි හිඟන්නන්ගේ” දෙකයි පනහේ පීචං වැඩය. කොන්ද පණ නැති නපුංසක වැඩය. මේ කාලකණ්ණි මුස්පේන්තු තත්ත්වය නිර්මාණයවී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රිකට් පරිපාලනය අසංස්කෘතික හීපාටුවන් පිරිසකගේ අතට යෑමේ කරුමය හේතුවෙනි. එය ඉන්දියාවේදී මෙන්ම ලංකාවේ දීත් එකලෙස සත්‍යයකි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-09-22 12:42:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි