~

රාජපක්ෂලාගේ බල ප්‍රදේශය මත්ද්‍රව්‍ය, පාතාල මූලකඳවුරක්..! කිලෝ 600 කට අධික මත්ද්‍රව්‍ය (ප්‍රමාණය වාර්තාවක්), කිරි කිරි ටොයියා නවීන ගිනි අවි..! සම්පත්ගේ 'බඩුව' සහ බඩු..! මාලිමාවේ ආරක්ෂක ජාල 14000 ක් රට පුරා සක්‍රීයයි..!!

-ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.22, ප.ව‍.10.00 -දෙවන සංස්කරණය ප.ව.11.30) රාජක්ෂලාගේ දිගු කාලීන බල ප්‍රදේශයන් වූ හම්බන්තොට, තංගල්ල ආදී ප්‍රදේශ අයිස්, හොරොයින් ආදී මත්ද්‍රව්‍ය වල තෝතැන්නක්ව තිබී ඇති  බව තහවුරු කරමින් අද(22) තංගල්ලේ සීනීමෝදර සහ කදුරුපොකුණ ප්‍රදේශ වල තිබූ ලොරි රථ තුනකින් අයිස් සහ හොරොයින් කිලෝ 600 කට අධික ප්‍රමාණයක් සහ නවීන පන්නයේ ගිනි අවි සොයාගෙන තිබේ. මේ සොයා ගැනීම් සිදුකර ඇත්තේ තංගල්ල මුලස්ථාන පොලිසියේ මෙහෙයැවීමෙනි. 

මේ තරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සහ ගිනි අවි එකම දිනක් තුල එකම ප්‍රදේශයකින් සොයාගැනීම විශේෂිත කාරණයකි.

මරණ 3 ක් පසුපස මත්ද්‍රව්‍ය ජාලයක්..

මෙම සොයා ගැනීම් වලට මූල්වු එක් කාරණයක් වුයේ මරණ තුනකි. ඒ මෙසේය. තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පැරණි නිවසක් නව ගැණුම්කරුවෙකුට විකිනීමෙන් පසු අලුත් ගැනුම්කරුවා නිවස අලුත්වැඩියාවට පෙර, ඉඩම වටා දැවැන්ත තාප්පයක් ඉදිකරමින් සිට ඇත. ඉදිකිරීමේ වැඩට පැමිණ සිටි තිදෙනෙකු ඊයේ(21) රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා තිබේ. එහිදී හදිසියේ රෝගාතුර වූ වැඩිහිටි අයෙකු තමා අසනීප වූ බව සිය දරුවන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් පැමිණ එම පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පසුව එම පුද්ගලයා අද අලුයම මියගොස් ඇත. මරණය පිළිබඳ ඔහුගේ දරුවන් තංගල්ල පොලීසියට පැමිණිලි කිරීමත් සමඟ පොලිස් නිලධාරීන්, ඉදිකෙරෙමින් පැවති නිවසට අද උදෑසන පැමිණි විට නිවසේ කාමරයක් තුළ තිබී අනෙක් මළ සිරුරු දෙක හමුවී ඇත. මළ සිරුරු දෙක අසල අයිස් මත්ද්‍රව්‍ය තිබී පොලිසියට හමුවිය. පොලිසිය එම ස්ථානයට පැමිණෙන විට එහි සිටි එක් පුද්ගලයෙකු පලාගොස් තිබිණ. ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටී.

රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයා, තංගල්ල, උණාකුරුව, ලන්දෙවත්ත ලිපිනයේ පදිංචිව සිටි 50 වැනි වියේ පසුවූ සුවඳහැන්නැදිගේ තුසිත වෙනුර කුමාර නමැති දෙදරු පියෙකි. නිවසේ තිබී හමුවූ මළ සිරුරු දෙක අම්බලන්තොට, ලුණම, රණවිරු මාවතේ පදිංචිව සිටි 21 වැනි වියේ පසුවූ ඩබ්ලිව්.ඊ. කවිඳ කල්හාර නම් තරුණයෙකුගේ සහ අම්බලන්තොට, ලුණම, මන්ඩගල පාරේ පදංචිව සිටි 24 වැනි වියේ පසුවූ දිනුක ලක්ෂාන් හේවාවිතාරණ නම් තරුණයෙකුගේ ය. එක් අයෙකු මියගොස් සිටියේ පුටුවක ඇලවූ ගමන් ය.    

මරණ තුනට හේතුව ඔවුන් පෙරදින රාත්‍රී සාදයේ දී ගත් මත්ද්‍රව්‍ය විෂ වීමෙන් විය හැකි බව පොලිසියේ මතය විය. ඒ අනුව ක්‍රියා කළ පොලිසියට නිවස අසල නවතා තිබූ කුඩා ලොරියක් සහ විශාල ලොරියක් දක්නට ලැබුණු අතර ඒවා පරීක්ෂා කිරීමේ දී කුඩා ලොරියේ තිබී අයිස් කිලෝ 10 ක පැකට් 10 ක් ප්‍රථමෙන් සොයා ගත්තේ ය. ඉන්පසු විශාල ලොරියේ රහසිගතව තනන ලද කොටසක තිබී අයිස් සහ හෙරොයින් කිලෝ 200 කට අධික තොගයක් (සවස් වන විටත් කිරා අහවර වී නොතිබිණ) පොලිසිය විසින් සොයා ගන්නා ලදී. 

මෙම එක් ලොරි රථයක රියැදුරු රෝහලේ දී මිය ගිය තුසිත වෙනුර කුමාර නමැත්තා විය. 

පැණි කොමඩු අස්සේ 'තිත්ත බඩු'..  

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තවත් තොරතුරක් මත ඉහත කී නිවස පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර් කිහිපයක දුරින් පිහිටි තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ පිහිටි විශාල තාප්පයකින් වට කරන ලද ස්ථානයක තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී එහි බැලූ බැල්මට පැණි කොමඩු පටවා තිබිණ. නමුත් එහි ද ඇතුලක ඉදිරිපස බඳේ තිබූ රහසිගත කොටසක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 86 ක්, හොරොයින් පැකට් 100 ක් පමණ සහ ටී 56 ගිනි අවියක්, අති නවීන රිවෝල්වර් ගිනි අවි 05 ක් සොයා ගැණින. මෙම නවීන රිවෝල්වර් ඒ සඳහාම පිළියෙල කළ බ්‍රීෆ් කේස් වැනි කේස් 05 ක සුරක්ෂිතව අසුරා තිබිණ. එම ලොරියේ රහසිගත කොටසේ තිබී සොයාගත් අයිස් සහ හෙරොයින් වල ප්‍රමාණය ද කිලෝ 400 ක් පමණ විය.

ගොඩබිම දී අල්ලා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය..

ඒ අනුව අද දවස තුල ඉහත කී ලොරි 3 ක වැටලීම් වලින් පමණක් සොයා ගන්නා ලද මුළු මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය කිලෝ 635 ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සවස නිල වශයෙන් ප්‍රකාශ කෙළේ ය. සිද්ධිය ගැන සොයා බැලීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තංගල්ලට ගිය අතර ඔහු එහිදී මාධ්‍යයට කියා සිටියේ ඉතිහාසයේ මේ දක්වා ගොඩ බිම තිබී එකවර අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙම කිලෝ 635 ක ප්‍රමාණය බවයි. පරීක්ෂන ඉදිරියට පැවැත්වේ.

සම්පත් මනම්පේරි ගේ 'බඩුව' සහ බඩු..

මේ අතර හම්බන්තොට මිද්දෙණියේ ඉඩමකින් කන්ටේනර් දෙකක අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායන ද්‍රව්‍ය සහ ගිනි අවි වළ දා තිබී සොයා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරයට පත් කළ පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි නැමැත්තා ඊයේ (21)  බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමෙන් අනතුරුව ඔහු සඟවා තිබූ තවත් ගිනි අවි තොගයක් පොලිසිය සොයා ගත්තේ ය.

සම්පත් මනම්පේරි කළ පාපෝච්ඡාරණ අනුව ඔහුගේ අනියම් පෙම්වතියකගේ ඉඩමේ ඔහු විසින් පසුගිය සැප්තැම්බර් 03 දා මෙම ගිනි අවි වළ දමා තිබිණ. එනම් මිද්දෙණියේ ඔහුට අයත් ඉඩමේ තිබී රසායන ද්‍රව්‍ය සොයාගැනීමට දින දෙකකට පෙර දී ය. ඊයේ සොයාගත් භාණ්ඩ අතර  රන් පැහැ ආලේපිත ටී 56 මැගසින් දෙකක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් තිබී හමුවිය. සොයාගන්නා ලද ටී 56 උණ්ඩ වල KPI ලෙස සඳහන් කර තිබිණ. රන් ආලේපිත ටී 56 ගිනි අවියක් මීට පෙර කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයකින් ද හමුවූ අතර KPI ලෙස සඳහන් කරන ලද උණ්ඩ ක්ලබ් වසන්ත ඝාතනයේ දී යොදා ගෙන තිබිණ.

මේ අතර සම්පත් මනම්පේරිගේ අනියම් පෙම්වතියගේ සැමියා ද පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකි. ඔහුව අත් අඩංගුවට ගෙන තිබුනේ සම්පත් මනම්පේරි පොලිසියෙන් සොයද්දී සැඟව සිටීමට ආධාර උපකාර කිරීමේ චෝදනාවට ය. සැකකාර විදුලි සේවකයා සන්තකයේ තිබී බැංකු කාඩ්පත් කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

රටපුරා මහජන ආරක්ෂක කමිටු 14000 ක් සක්‍රීය යි..  

රට පුරා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද සවස පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ මේ ආණ්ඩුව බලයට පැමිණ වසරක් ගතවෙද්දී මහජන ආරක්ෂක කමිටු 14000 ක් රට පුරා පිහිටුවා අවසන් බවයි. ඒවා ඒ ඒ ප්‍රදේශවල පොලිසි සමග අනුබද්ධව ක්‍රියා කරන ඒවා වේ. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ තොරතුරු වැඩි වැඩියෙන් ලැබීමට එයද හේතුවක් වී ඇති බව පැවසූ ඇමැතිවරයා මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු අනුව මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ජාලයට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පැවසීය.

"මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව අපි සුරක්ෂිත කරනවා." මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේ ය.

-ආරක්ෂක වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-09-23 00:21:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links