~

ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය නිලධාරීන්ට 'මතක හිටින පාඩමක්' උගන්වයි..! ටිරාං නිසා හර්ෂ හිරේ..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.23, ප.ව‍.11.00) ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරද පිළිගත් හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට අද(23) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසර 3 ක සිරදඬුවමක් නියම කෙළේ ය. ඔහු වසරක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි කාලය සැලකිල්ලට ගනිමින් වසර 3 ක සිර දඬුවම වසර 2 කින් ගෙවී යන ලෙස නියම කෙරිණ.

"මතක හිටින පාඩමක්"

රාජ්‍ය නිලධාරීන් ඉදිරියේදී හෝ මෙවැනි වරදවල් නොකිරීමට "මතක හිටින පාඩමක්" වශයෙන් හර්ෂ ඉලුක්පිටියට මෙම දඬුවම නියම කරන බවත්, හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට 'බරපතල අපහාසයක්' කර ඇති බවත් ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය. 

ඉලුක්පිටිය කතා දෙකක් කීම උපක්‍රමයක්..

හර්ෂ ඉලුක්පිටියට පළමුවෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේ දී ඔහු මුලින් නිවැරදිකරු යයි කියා පසුව එය ඉල්ලා අස්කරගනිමින් තමන් වැරදිකරු බව කියා සිටියේ ය. ඔහුගේ එම හැසිරීමද අධිකරණයේ බරපතල දෝෂදර්ශනයට ලක් වූ අතර කෝදාගොඩ විනිසුරුවරයා කියා සිටියේ ඔහුගේ එම ක්‍රියාව එනම් මුලින් නිවැරදිකරු කියා පසුව තමන්ට එරෙහිව සාක්කි ඉදිරිපත්වන විට වැරදිකරු යයි කීම උපක්‍රමයක් බව අධිකරණයට හැඟී යන බවයි. අධිකරණයට අපහාස කිරීමේ පනත අනුව වසර 7 ක සිර දඬුවම් නියම කළ හැකි බවද විනිසුරු තීන්දුව ප්‍රකාශ කරමින් පැවසීය.

හර්ෂ ඉලුක්පිටිය ආගමන විගමන පාලකවරයා ලෙස මේ පරිප්පුව කෑවේ ඔහුගේ එවක ඇමැතිවරයා වූ ටිරාන් අලස් නිසා ය. ටිරාන් අලස් නිසා පරිප්පු කෑ දෙවන රාජ්‍ය නිලධාරියා හර්ෂ ඉලුක්පිටිය ය. ප්‍රථමයා හිටපු පොලිස්පති දේශබන්දු ය. 

අම්මට සිරිම ගැහිල්ලක්..! ඩොලරයක වියදම වෙනුවට ඩොලර් 60 ක්..! 

පාදක වූ සිදුවීම මතක් කරගැනීම සඳහා මෙසේය. රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමැතිවරයා වූයේ ටිරාන් අලස් ය. ආගමන විගමන දෙපාර්තමේන්තුව ද තිබුනේ ටිරාන්ගේ අමාත්‍යාංශය යටතේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ වියානි ගුණතිලක ය. 

ශ්‍රී ලංකාවට එන සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීමේ දී ඊ වීසා අයැදුම්කරන පිළිවෙතක් තිබිණ. ඒ සඳහා මොබිටෙල් සමාගම අයකරමින් සිටියේ එක ඩොලරයකි. ටිරාන් අලස් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මොබිටෙල් සමාගම එක් ඩොලරයකට ලබා දුන් ඊ වීසා පහසුකම විදේශීය පුද්ගලික සමාගම් 3 කට ලබා දෙන්නට අනුමැතියක් ලබා ගත්තේ ය. VFS Global නම් සමාගම ප්‍රමුඛ කොට GBS සහ IVS Global FZCO නම් සමාගම් තුනකි. එය ලබා දීමේ දී කිසිදු ටෙන්ඩර් කැඳවීමක් කෙළේ නැත. එහිදී වීසා අයැදුම් කරන්නෙකු ගෙවිය යුතු මුදල වූයේ ඩොලර් 60 කි. එක් ඩොලරයකට ලබා දුන් සේවාව ටෙන්ඩර් නොකැඳවාම ඩොලර් 60 ක් තරම් අධික මිලකට ලබා දීම පැහැදිලිවම අතිශය දූෂන ක්‍රියාවකි. VFS Global සමාගමට මේ මගින් වසරකට ඩොලර් බිලියන 3 ක පමණ අයුතු ලාභයක් ලැබිණ. ඇත්ත වශයෙන්ම නම් මේ ගණනින් සෑහෙන මුදලක් මෙය ක්‍රියාත්මක කිරීමේ මහ මොළකරුවන් වූ ටිරාන් අලස්ට, වියානි ගුණතිලකට සේම හර්ෂ ඉලුක්පිටියට ද ලැබිණ. 

සුමන්තිරන්, හකීම්, චම්පික අධිකරණයට ගියා..

මෙම වීසා නිකුත් කිරීම ක්‍රියාත්මක කරද්දී මෙලෝ අත්දැකීමක් නැති VFS Global විසින් විශාල පෝලිමක් ද ඇති කෙළේ ය. වීසා ප්‍රමාදයන් සහ අමතර ගාස්තු පිළිබඳ මහජන පැමිණිලි ගලා ආවේ ය. පාර්ලිමේන්තුවේ ද මේ ගැන විශාල ලෙස කරුණු හෙළිකරමින් විරෝධය දැක්වීය. එවක විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ චම්පික රණවක ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට එරෙහිව වෙන වෙනම මූලික අයිතිවාසිකම් නඩු පැවරුවේ ය. නඩු විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නව වීසා ක්‍රමය සඳහා අනුමැතිය දුන් කැබිනට් තීන්දුව වළක්වාලමින් පැරණි ක්‍රමයටම වීසා නිකුත් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වූ හර්ෂ ඉලුක්පිටියට නියෝග කරමින් 2024 අගෝස්තු 02 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේ ය.

ඩොලර් මිලියන 50 ක අල්ලසක්..? 

ඊලඟ සැප්තැම්බරයේ දී ආණ්ඩු මාරුවක් සිදුවිය හැකි බව පෙනි පෙනී පවා ටිරාන් අලස් ගේ ඌෂ්නයට වශී වී සිටි හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කෙළේ නැත. නිල නොවන ආරංචි මාර්ග එකල කියා සිටියේ රනිල්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට ඩොලර් මිලියන 50 ක් ලබා දෙන බවට VFS Global සමාගම දුන් පොරොන්දුවක් නිසා ඩොලර් බිලියන 3 ක පමණ ලාභයක් ඔවුන්ට ලබා දීම සඳහා මෙම ගනුදෙනුවට රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කළ බවකි. 

අධිකරණ නියෝගයට පයින් ගැසුවාට නඩුව දැම්මේ නීතිපති..

ඒ කෙසේ වෙතත් නෛසර්ගික දූෂිතයන් වූ ටිරාන් අලස්, වියානි ගුණතිලක ඩබලේ උපදෙස් මත එවැනිම දූෂිතයෙක් වූ හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයට පයින් ගැසුවේ ය. එහිදී සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ චම්පික රණවක නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හර්ෂ ඉලුක්පිටියට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම නිසා ඉලුක්පිටිය අධිකරණයට අපහාස කළා ය කියමිනි. ඒ අනුව 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නවතම පණත ප්‍රකාරව හර්ෂ ඉලුක්පිටියට එරෙහිව අද තීන්දුව දුන් නඩුව පැවරුවේ නීතිපතිවරයා විසිනි.

එදා සිට අද දක්වා රිමාන්ඩ් එකේ හිටියේ..

එකී නඩුව 2024 සැප්තැම්බර් 25 වැනිදා කැඳවනු ලදුව එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටි හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. එදා පටන් අද තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරුම ඔහු සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරගතව ය. ඔහුව අද අධිකරණයට කැඳවාගෙන ආවේ ද බන්ධනාගාර නිලධාරීන් විසිනි. අද නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී ඔහුට එරෙහිව දුන් වසර 3 ක බරපතල වැඩ සහිත නඩු තීන්දුව වසර දෙකකින් ගෙවී යන සේ නියෝග කෙරුණේ එකී රිමාන්ඩ් භාරයේ සිටි වසර සලකමිනි.   

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා කී පරිදිම විවිධ ලාභ අපේක්ෂාවෙන් දේශපාලුවන්ගේ අනීතික, අසාධාරණ නියෝග ක්‍රියාත්මක කළ සහ කිරීමට බලා සිටින අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද මෙය "මතක හිටින පාඩමකි"

නඩුවේ ස්වභාවය අනුව කරන්නට දෙයක් නැති නමුත් මඳක් හෝ දුක සිතෙන්නේ මෙයට මූලිකවම වගකිව යුතු ටිරාන් අලස් වැනි ජාති භ්‍රෂ්ඨයෙකු නිරුපද්‍රිතව සිටීම ගැන ය. 

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-09-23 20:58:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links