-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.26, ප.ව.11.30) පසුගිය සැප්තැම්බර් 04 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකින් ආරම්භ කොට පසුව කාණ්ඩ දෙකකට බෙදී ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂන පැවැත්වීමට ක්‍රියා කළ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති, පසුගිය සැප්තැම්බර් 24 මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිට පසුව එය හකුලා ගැනීමට ක්‍රියා කළේය.
මොවුන් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී පුද්ගලීකරණය කිරීමට කටයුතු කරන බවට චෝදනාවක් ඉදිරිපත් කරමින් ය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මෙහෙයවන්නේ ලං.වි.ම. යේ ක්‍රියාත්මක පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති තුන සහ ලං.වි.ම. යේ විදුලි ඉංජිනේරු සංගමය එකට එකතුව ය.
මෙම පිරිස විසින් ඉල්ලීම් 24 ක් රජය වෙත ඉදිරිපත් කර ඇතැයි පවසන නමුත්, කිසිදු ජනමාධ්‍යක් ඔස්සේ එවැනි ඉල්ලීම් 24 ක් ප්‍රකාශයට පත් වී නැත. ප්‍රකාශයට පත් වී ඇති ඉල්ලීම් සියල්ලෙහිම පාහේ දක්නට ඇත්තේ විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කිරීම නවතා ගැනීමක් පිළිබඳව නොව, පසුගිය ආණ්ඩු ගණනාවක් විසින් ලබා දීමට පියවර නොගත් වැටුප් හා දීමනා ඇතුළු වරප්‍රසාද කඩිනමින් ලබා දෙන ලෙස කරන ඉල්ලීම් ය. උද්ඝෝෂකයන් මණ්ඩලය පුද්ගලීකරණය කිරීම ගැන කතා කරන්නේ මාධ්‍ය වෙත ලබාදෙන 'වොයිෂ් කට්' වලදී පමණය.
විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමේ පැහැදිලි සැලසුම් සහ අරමුණ පැවතියේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස සිටි අවධියේ දී ය. ඒ අවදිධියේ විදුලි බල ඇමැති කාංචන විජේසේකර ගෙන ආ පනත පදනම් වූයේ සියයට සීයක්ම මණ්ඩලය පුද්ගලීකරණය වෙනුවෙන් ය. එදා ඔවුන් සැලසුම් සකස් කරනු ලැබුවේ විදුලි බල මණ්ඩලය කොටස් හයකට බෙදා ඒවා පුද්ගලික සමාගම් බවට පත් කිරීමට ය. විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය ලෙස සමාගම් හයක් ඇති කොට ඒවා පුද්ගලික අංශයට පැවරීම ඔවුන්ගේ අරමුණ විය. ඊට අමතරව ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර සහ පුනර්ජනනීය බලාගාර (ජලවිදුලි බලාගාර පවා) අනිවාර්යයෙන්ම පුද්ගලික ආයෝජකයින්ට දිය යුතු බව ඇමැති කාංචන ප්‍රසිද්ධියේ කීවේය.
ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා වැනි ආයතන වලින් උපදෙස් සහ සහාය ලබා ගැනීමටත් කාංචනලා සැලසුම් සකස් කර තිබිණ. 2024 ජුනි 06 වැනිදා ඒ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වුයේ වැඩි ඡන්ද 44 කිනි. පක්ෂව ඡන්ද 103 ක් ලැබුණි. විපක්ෂව ලැබුණේ ජන්ද 59 ක් පමණි. පනත ගැන දින දෙකක විවාදයක් විපක්ෂය ඉල්ලා සිටිය ද ආණ්ඩුව එය ලබා දුන්නේ නැත. එම පනතට අනුව මේ වසරේ අගෝස්තු මාසයෙන් පසුව සේවකයින් 12,000 ක් ඉවත් කරන්නට සැලසුම් සකස් කොට තිබුණි.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ කාංචනලාගේ සැලසුම් විනාශ විය. මේ රජය යටතේ ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවන්නේ කුමක්ද ? පසුගිය අගෝස්තු 06 වැනිදා සම්මත කරගත් නව පනතට අනුව ලං. වි. ම. ප්‍රධාන ආයතන හතරකට වෙන් වේ. ඒවා නම්, ජනන, සම්ප්‍රේක්ෂණ, බෙදාහැරීම සහ පද්ධති පරිපාලනය ය. මෙම ආයතන හතරම පූර්ණ වශයෙන් රජය සතුය. මෙම ආයතන හතර 100% ක් මහා භාණ්ඩාගාරය සතු කොටස් හිමි සමාගම් හතරකි. දැනට ලං. වි. ම. සිටින 23,000 ක් වූ සේවකයන් සියල්ලෝම මෙම සමාගම් හතරට අනුයුක්ත කරනු ලබයි. මෙම ප්‍රතිසංස්කරණයෙන් කිසිදු සේවකයෙකුට කිසිදු ගැටළුවක් ඇති නොවෙයි. කැමැත්ත මත ඕනෑම සේවකයෙකුට ඉවත්ව යා හැකියි. මාස දෙකකදී කැමැත්ත මත ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා ක්‍රමයක් සේවකයන්ට යෝජනා කර තිබේ. කිසිදු සේවකයෙකු ගෙදර යැවීමට හෝ සේවයෙන් ඉවත්වීමට හෝ කිසිදු බලපෑමක් රජය විසින් සිදු නොකරයි.
මෙම සමාගම් වලට අනුයුක්ත වන සේවකයන්ට, දායකත්වය විශ්‍රාම වැටුප් අරමුදලක් ඇති අතර, සේවක භාරකාර අරමුදල ඒ ආකාරයෙන්ම පවතියි. රටේ පවතින වන්දි ක්‍රමයට එහා ගිය ප්‍රතිලාභ සහිත විශ්‍රාම ක්‍රමයක් මෙම සේවකයන්ට හඳුන්වා දී තිබේ. එහිදී උසස් හෝ පහත් හෝ යැයි සේවකයන් වර්ග කිරීමක් සිදු නොකොට සියල්ලන්ටම එක හා සමාන වන සේ උපරිමය ලක්ෂ 50 දක්වා වූ වන්දි ක්‍රමයක් මේ රජය හඳුන්වා දී තිබේ. රජයේ නව පනතට අනුව මෙම ආයතන හතර සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවා ඇත.
එදා කාංචන ඇමැති ගෙන ආ පනතේ තිබූ කිසිදු පුද්ගලීකරණ ක්‍රියාපිලිවෙතක් හෝ සේවකයන් ඉවත් කිරීමක් හෝ සේවකයන්ට සිදු කරන අසාධාරණයක් හෝ වත්මන් රජය සම්මත කර ක්‍රියාත්මක කරන මෙම පනත තුළ දක්නට නොමැත. මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරතව සිටින වෘත්තීය සමිති දකිනවාට වඩා මේ පනතේ අරමුණු සපුරාම වෙනස් ය. එසේ නම් මේ වෘත්තීය සමිති, වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ කුමක් ඉටු කර ගැනීම සඳහා ද යන්න විමසා බැලිය යුතුය.
පසුගිය සමයේ රටේ පාලන බලය හෙබවූයේ, රාජ්‍ය දේපල විකුණා දැමූ ආණ්ඩු ය. එදා බලයේ සිටියේ ලං.වි.ම. ට බුරුතු පිටින් සේවකයන් පිරැවූ ඇමැතිවරුය. ඔවුන් රැකියා ලබා දී ලක්ෂ ගණන් මුදල් ලබා ගත් අය බව රටේ ජනතාව දනී. එසේම ඔවුන් ටෙන්ඩර් මගඩි, හොරකම්, දූෂණ වංචා, එළිපිට සිදු කළ පිරිසකි. එදා මේ සියළු දූෂිත ක්‍රියා පිටුපස සිටියේ ඇමැතිවරු පමණක් නොවේ. මේ පිටුපස සිටි බලගතුම පිරිස වූයේ ලං.වි.ම. යේ පාලනාධිකාරිය ලෙස කටයුතු කළ ලං.වි.ම. යේ විදුලි ඉංජිනේරු සංගමයේ දූෂිත නිළධාරීන් ය. අද මොවුහු එදා රට පාලනය කළ දූෂිත දේශපාලන පක්ෂ වලට අයත් වෘත්තීය සමිති සමඟ එකට එක් වී මේ රජයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹී සිටිති. අද ඉංජිනේරු සංගමයේ සිටින දූෂිත නිලධාරී මාෆියාවට, බඳවා ගැනීම් වලදී එදා මෙන් ඇමැතිවරුන්ගේ පිරිස් පුරවා ඩීල් දමා ගැනීමට අවස්ථාවක් නොමැත. එදා ඇමැති සියඹලාපිටිය කෑගල්ලෙන් ද, ඇමැති අජිත් පී. පෙරේරා කලුතරින් ද, පවිත්‍රා, ජෝන් සෙනෙවිරත්න සහ චොකා මල්ලිලා රත්නපුරයෙන් ද ලං.වි.ම. ට පිරිස් පුරවන විට පාලනාධිකාරියේ සිටි ඉංජිනේරු සංගමයේ දූෂිතයන් කල දුටු කළ වල ඉහගත්තේ තමන්ට වරදාන, වරප්‍රසාද, වැඩි වැටුප්, තනතුරු ලබා ගනිමින් ය. අද ඒ වැඩේ කරන්නට බැරිය. ඒ නිසා මේ ආණ්ඩුව පලවා හැරීම හැර ඔවුන්ට වෙන විකල්පයක් ඉතිරිව නැත.
2015 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වන බව දැනගත් පාලනාධිකාරිය නියෝජනය කළ ලං.වි.ම. ඉංජිනේරු සංගමයේ දූෂිතයෝ, ජනාධිපති මැතිවරණය පැවැති දිනට පෙර දින එනම්, 2015 ජනනවාරි 08 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කරමින් තමන්ගේ වැටුප පමණක් 120% කින් වැඩි කරගත්හ. මෙම අසාධාරණ පඩි වැඩිකර ගැනීමට එරෙහිව එදා වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ගිය JVP, UNP සහ SLFP නියෝජනය කළ වෘත්තීය සමිති නායකයන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කළේ අද මේ වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදී සිටින විදුලි ඉංජිනේරු සංගමයේ මාෆියාව ය. අද මොවුන් සාමාන්‍ය සේවකයන්ගේ ගැලවුම් කාරයන් ලෙස පෙනී සිටී. එසේම එදා මොවුන්ගේ මර්දනයට හසුවූ UNP සහ SLFP වෘත්තීය සමිති නායකයෝ අද මොවුන් ගැන වාගාඩම්බර නඟමින් සිටිති.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වල ඉදිරියෙන් සිටින තවත් පුද්ගලයකු වන්නේ ගමගේ නම් වූ විදුලි අධිකාරීවරයා ය. ඔහු එකල එක් ජනාධිපතිවරණයකදී භුමි පුත්‍ර පක්ෂයෙන් තරඟ කළ අයෙකි. එසේම මොහු කැකිරාවේ විදුලි අධිකාරීවරයා ලෙස සිටි අවධියේ වී මෝල් හිමියෙකුගෙන් අල්ලස් ලබා ගත් අයෙකි.මොහුට අදටත් විදුලි බල මණ්ඩලයේ ආපන ශාලාවටවත් ඇතුළුවීම තහනම් ය.
ලියුම් කවරයේ සිට විදුලිය මිලදී ගැනීම දක්නා වූ සියළු මිලදී ගැනීම් වලදී රජයේ මුදල් ගසා කන මෙම පාලනාධිකාරියේ සිටින ඉංජිනේරු සංගමයේ දූෂිතයන්ට, මේ ආණ්ඩුවේ ප්‍රතිව්‍යුහගතකරණය මරු පහරකි. මොවුන්ගේ හොරා කෑමට මෙම ප්‍රතිසංස්කරණය බාධාවක් බව මොවුහු හොඳින්ම දනිති. මින් පසු මොවුන්ගේ බිරින්දෑවරුන්ට සහ දරුවන්ට නිවාඩුවට රට රටවල සංචාරයේ යෑමටවත්, තේ වතු , පැක්ටරි ආදී දේපල මිල දී ගැනීමටවත්, ධනය සොරා කෑමටවත් නොහැකි වන බව මොවුහු දනිති. එසේම මින් මතු විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිගණක, වාහන ආදිය තමන්ගේ ආයතන මඟින් ලබාදීමත් එතරම් ලෙහෙසි පහසු නොවන බව මේ දූෂිත ඉංජිනේරුවෝ දනිති.
අනෙක් අතට පරාජිත දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති , තමන්ගේ දුෂිත නායකයන්ව හැකි කඩිනමින් බලයට පත් කර ගැනීමේ ආශාවෙන් පෙළෙති. ඒ අනුව මේ දෙගොල්ලන්ටම ඇත්තේ එකම අරමුණකි. එනම් වත්මන් ආණ්ඩුව පරාජය කීරීමය. ඒ සඳහා එකතු වී වැඩ කිරීමට මොවුන්ට කිසිදු අපහසුවක් නැත. අද දවසේ විදුලි බල වෘත්තීය සමිති සිදු කරමින් සිටින වෘත්තීය ක්‍රියාමාර්ගවල සැබෑ අරමුණ වන්නේ, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමක් හෝ ආයතනය ආරක්ෂා කර ගැනීමක් හෝ විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමක් හෝ නොව, වත්මන් ආණ්ඩුව පලවා හැර හිටපු දූෂිත පාලකයන් නැවත කැඳවා ගැනීමටත්, එම පාලකයන් යටතේ දූෂිත ඉංජිනේරු මාෆියාවට සිත් සේ සුපුරුදු හොරකම් කරගෙන යාමටත් ඉඩකඩ විවර කර ගැනීම ය.
මේ නිසා රජය කිසි ලෙසකවත්, මෙම ඊනියා වෘත්තීය ක්‍රියාමාර්ග වලට බිය වී පසු නොබැසිය යුතුය. ලං.වි.ම. ය නියෝජනය කරන බහුතර සේවකයන් සහ රටේ ජනතාව එකට එක් වී මේ දූෂිතයන්ගේ ඊනියා වෘත්තීය ක්‍රියාමාර්ග මුළුමනින්ම පරාජය කළ යුතු ය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-09-26 19:56:58)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි