-විශේෂ ලියුම්කරුවෙකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.27, ප.ව.11.00) ශ්‍රී ලංකාවේ රෝගියෙකුට තම රෝගයට අවශ්‍ය වෛද්‍යවරයා තෝරාගැනීම සඳහා පවතින වෛද්‍යවරුන් 'චැනලින්' කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම විකාර රූපී තත්ත්වයකි. එහිදී සිදුවන්නේ රෝගියා විසින්ම තම රෝගයට අවශ්‍ය වෛද්‍යවරයා හෝ විශේෂඥ වෛද්‍යවරයා කව්දැයි තීරණය කර තමන් විසින්ම තෝරාගැනීමේ ක්‍රමවේදයකි. රෝගියා 'මානසික රෝගියෙක්' නම් ඔහු විසින්ම තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා තෝරාගැනීමට සිදුවීමෙන් පවතින ක්‍රමවේදයේ විකාර රූපී සහ අනතුරුදායක ස්වරූපය තේරුම්ගත හැකිය. මෙය දිගුකාලයක් තිස්සේම පවතින්නේ වී නමුත් ඊට පිළියමක් සෙවීමට කිසිදු ආණ්ඩුවක් මැදිහත් වූයේ හෝ උනන්දුවක් දැක්වූයේ නැත.
ශ්‍රී ලංකාවට බටහිර වෛද්‍ය සේවය සහ රෝහල් සේවය හඳුන්වා දුන් එංගලන්තය මෙයට පිළියම් ක්‍රමයක් ඒ දිනවලම හඳුන්වා දී තිබිණ. එනම් රජයේ ඩිස්පෙන්සරි සේවය යි. රෝගීන් මූලික වශයෙන් රජයේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ලබා ගන්නා අතර ඉන් එයාට යා යුතු නම් ඩිස්පෙන්සර් විසින් රෝගියා රෝහලකට යොමු කරනු ලැබීම එකල සිදුවිය. එංගලන්ත පාලනය අහවර වී ස්වදේශීය පාලනය බිහිවීමෙන් අනතුරුව කාලයාගේ ඇවෑමෙන් රජයේ ඩිස්පැන්සරි සේවය අභාවයට ගියේ ය.
නමුත් එංගලන්තය එකී ක්‍රමය තව දුරටත් විධිමත් කරමින් රජයේ 'ජීපී' සේවය (General Practitioner) එරට ක්‍රියාත්මක කළේ ය. එමගින් සිදුවන්නේ සෑම රෝගියෙකුටම තමන්ගේ පුද්ගලික ජීපී කෙනෙකු සිටින අතර රෝගියා තමන් සිටින ප්‍රදේශයේ ජීපී ලඟ ලියාපදිංචි විය යුතුය. රෝගියෙකුගේ මූලික රෝග විනිශ්චයන් සිදුකරන්නේ ජීපී වන අතර ඔහුට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර කටයුතු, රෝහලකට ඇතුලත් වී සිදුකර ගත යුතු ප්‍රතිකාර කටයුතු ආදිය සිදුකරන්නේ අදාල ජීපී ගේ රෙකමදාරුව මත ය. පුද්ගලයෙකු ප්‍රදේශය වෙනස් කළ විට ප්‍රථමයෙන්ම කළ යුත්තේ නව ප්‍රදේශයේ ජීපී ලඟ ලියාපදිංචි වීමයි. රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු වුව ද තමන් පදිංචි ප්‍රදේශයේ ජීපී ලඟ ලියාපදිංචි වී ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිදුකළ යුතු වීමෙන් එකී ක්‍රමයේ වැදගත් කම පැහැදිලි ය. මන්ද යත් වෛද්‍යවරයෙකු වුවද ඔහු රෝගියෙක් වූ පසු ඔහුගේ රෝගී තත්ත්වය ඔහුට නිර්නය කිරීමට ඉඩ දීම ඉන් වැළකේ. එය හරියට පෙර කී ලෙස ලංකාවේ රෝගියා මානසික රෝගියෙක් වී නමුත් ඔහුගේ වෛද්‍යවරයා ඔහු විසින්ම තෝරා ගැනීමට සිදුවීමේ අබග්ගයෙන් මිදීමේ ක්‍රම වේදයකි.
අප පෙර කී අන්දමට ශ්‍රී ලංකාවේ දිගුකාලයක් තිස්සේ පැවත ආ විකාර රූපී සහ අනතුරු දායක ක්‍රමය වෙනස් කිරීමට මාලිමා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන එය ක්‍රියාත්මක කිරීම ද ආරම්භ කර තිබීම පැසසුම් කටයුතු ය. එය ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවක් ද විය.
ඒ අනුව "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" නමින් දිවයින පුරා 'ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන' 1000 ක් පළමු අදියර යටතේ පිහිටුවීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100 ක් ජනගත කිරීමට නියමිත අතර, ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරනු ඇත. ප්‍රදේශයේ ජනතාව 5000 කට එක් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ජනතාවගෙන් පන්දහසකට එක් මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන දහසක් ස්ථාපනය කළ ද ආවරණය කළ හැක්කේ ජනගහනයෙන් මිලියන 5 කි. මිලියන 22 ක් වූ ජනගහනයම ආවරණය කිරීමට නම් මේ ප්‍රමාණය තව හතර ගුණයකින් හෝ වැඩි කළ යුතු ය. පවතින සම්පත් අනුව එම ප්‍රමාණයට ක්‍රමක්‍රමයෙන් ලඟා විය යුතු ය. මේ ක්‍රමය විධිමත්ව පවත්වාගෙන යෑමට නම් ලොව දියුණු රටවල මෙන් ජනතාව ගේ සියළු රෝගී නිරෝගී තත්ත්වයන් ඩිජිටල් දත්ත ගබඩා ගත කිරීම අනිවාර්ය සාධකයකි.
මෙරට සෞඛ්‍ය සේවාව වෙනස් කරන දැවැන්ත පෙරළියක ආරම්භය සනිටුහන් කරමින් 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන' ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ඊයේ(26) ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය' ජනතා අයිතියට පත් කෙරිණ. එම අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් පළමු සේවාලාභියා ලියාපදිංචිය ද ලියාපදිංචිය සහිත කාඩ්පත ලබාදීම ද සිදුකෙරිණ.
මෙම මධ්‍යස්ථානය මඟින් මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන 5000 කට ආසන්න ජනතාවකට සුව සේවාවන් සැපයෙනු ඇත.
ලංකාවේ සුවිශේෂීතාවය සැලකිල්ලට ගනිමින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ද මෙම මධ්‍යස්ථාන හා සම්බන්ධ කිරීම මෙහිදී වැදගත් වේ.
මෙම "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශන තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙම සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26, 27, 29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 5 ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
ගාල්ලේ මාපලගමින් ඇරඹුනු මෙම සේවාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිශාන්ත පෙරේරා, ටී.කේ ජයසුන්දර, තිලංග යූ ගමගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ජී.එස් පණ්ඩිතරත්න, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර, නියාගම ප්‍රාදේශිය සභාවේ සභාපති සිදත් කුමාර, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
---------------------------
by (2025-09-27 21:49:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි