~

මහරජාගේ නිව්යෝර්ක් විනෝද ගමන සහ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනූ අනුර කුමාර ජාත්‍යන්තරය ඇමතීම..! කාලයේ සහ තාලයේ වෙනස..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.28, ප.ව‍.11.00) සැප්තැම්බර් යනු බයියන්ට අසිරිමත් මාසයකි. බයියන්ගේ “මහරජ” මහින්ද ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට බයියන් අමතන්නේ මේ මාසයේදී ය. වසර 2006 සිට 2014 දක්වා සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා බයියන්ගේ “මහරජ” මහින්ද ඇමරිකාවේ සංචාරය කළේ ය. මේ ඇමරිකානු විනෝද සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ සමඟ සෑම වසරකම සිය ගණනක නියෝජිත පිරිසක් එක්වෙති. “මහරජ” මහින්ද, ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, සමීප හිතවතුන්, ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත් සභා මහඇමතිවරු, ඇමතිවරු, පලාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජපක්ෂ මාධ්‍ය සට්ටැඹි රාළ ලා, ඇතුළු සකලවිධ බයියෝ සෑම වසරකම නිව්යෝර්ක් විනෝද සංචාරයේ යති. 

ගුවන් යානයක් කුලියට ගෙන යන විනෝද ගමන…

“මහරජ” මහින්ද සෑම වසරකම නිව්යෝර්ක් විනෝද සංචාරයේ නිරතවීමට සුඛෝපභෝගී ගුවන් යානයක් කුලියට ගැනීමේ පුරුද්දක් පැවතුනි. සෑම වසරකම මේ විනෝද සංචාරය සඳහා 100-200 අතර පිරිසක් සහභාගී වූ බැවින් ගුවන් යානයක් කුලියට ගැනීම හැර විකල්පයක් නොවීය. මේ නියෝජිත පිරිසගේ ගුවන් ප්‍රවේශ පත්‍ර, සුපිරි හෝටල් ගාස්තු, ආහාර පාන, ඇතුළු සියළු වියදම් රජය විසින් දරන ලදී. මේ විනෝද සංචාරයට සහභාගීවන්නන් හට දිනකට ඇමරිකානු ඩොලර් සීයයකට අධික දීමනාවක් ද හිමිවිය. “මහරජ” මහින්දගේ නිව්යෝර්ක් විනෝද සංචාරය සඳහා වසරකට රුපියල් කෝටි ගණනක් වැය කරන ලද අතර ඒ බර දැරුවේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ය. බදු සමන්විත වන්නේ සෘජු සහ වක්‍ර බදු වලිනි. කෝටිපති ව්‍යාපාරිකයෝ මෙන්ම දුගී ජනතාව ද බදු ගෙවති. අහිංසක ජනතාව දිනපතා මිලදී ගන්නා පාන් ගෙඩිය, සීනි පන්සියයට ද බදු ගෙවති. “මහරජ” මහින්දගේ නිව්යෝර්ක් විනෝද සංචාරය සෑම වසරකම රුපියල් කෝටි සිය ගණනින් වියදම් කරනු ලැබූවේ එම බදු මුදල් ය. 

සුඛෝපභෝගී ලිමෝසින් රථ වංචාව…

ලෝකයේ ධනවත්ම රටවල රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන් මහා මණ්ඩල සමුළුව ඇමතීමට පැමිණෙන විට “මහරජ” මහින්ද ගෙන එන නියෝජිතයන්ගෙන් දහයෙන් එකක් ගෙන එන්නේ නැත. “මහරජ” මහින්ද වසර කිහිපයක්ම වැඩිම නියෝජිතයන් සමඟ නිව්යෝර්ක් පැමිණි රාජ්‍ය නායකයා වශයෙන් වාර්තා තැබීය. ඔහුව අභිභවා යෑමට හැකි වූයේ අප්‍රිකාවේ ඉතා දිළිඳු රටවල රජවරු කිහිප දෙනෙකුට පමණි. “මහරජ” මහින්දගේ වාර්ෂික නිව්යෝර්ක් විනෝද සංචාරය මගින් බොහෝ දෙනෙක් අයථා ලෙස රුපියල් මිලියන ගණනින් ඉපැයූහ. ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම්, සුපිරි හෝටල් පහසුකම්, ආහාර, ප්‍රවාහන පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මේ වංචාවන් සිදු විය. මේ දූෂණයන්ට විදේශ අමාත්‍යාංශ නිළධාරීහු සෘජුවම සම්බන්ධ වූහ. ඇමරිකාවේ සිටින “ඉන්ටනැෂනල් රාජපක්ෂ බයියෝ” ද “මහරජ” මහින්දගේ වාර්ෂික නිව්යෝර්ක් විනෝද සංචාරයන් හරහා ගාන කපාගත්හ. නිදසුනකට සුඛෝපභෝගී ලිමෝසින් රථ වංචාව ගනිමු.  “මහරජ” මහින්දගේ සියයකට අධික නඩය වෙනුවෙන් වාර්ෂිකව සුඛෝපභෝගී ලිමෝසින් රථ හැටක් පමණ කුලියට ගැනීම සාමාන්‍යයෙන් සිදු වෙයි. මේ ලිමෝසින් රථ සපයන ඇමරිකානු සමාගම් වලින් අඩු මිල දී ගැනීමට හැකිව තිබිය දී නිව්යෝර්ක්හි අපේ තානාපති කාර්යාලය නිළධාරීහු  ඇමරිකාවේ සිටින “ඉන්ටනැෂනල් රාජපක්ෂ බයියන්”ගෙන් මේ රථ කුලියට ගත්හ. 

වෝහාරික විගණනයක් කරනු!

“ඇමරිකන් බයියන්” ද ඇමරිකන් ලිමෝසින් රථ සමාගම් වලින් එම රථ කුලියට ගෙන ඒවා යළි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කුලියට දෙයි. එහෙත් ඇමරිකන් ලිමෝසින් රථ සමාගම් වලින් ලබා ගැනීමට හැකි මිලට වඩා තුන් ගුණනකට පමණ අධික මුදලකට “ඇමරිකන් බයියන්” ගෙන් මේ රථ කුලියට ගත් නිව්යෝර්ක් තානාපති කාර්යාලය නිළධාරීහු විශාල කොමිස් මුදලක් ගරා ගත්හ. “ඇමරිකන් බයියෝ” ද තම සාමාන්‍ය රැකියාවෙන් මාස  හයක් තුළ උපයන මුදල ලිමෝසින් රථ කුලියට දීමෙන් ගරා ගත්හ. ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම්, සුපිරි හෝටල් පහසුකම්, ආහාර, ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර වලද මේ දැවැන්ත දූෂණය සිදු විය. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, ප්‍රංශය, ජර්මනිය වැනි ප්‍රධාන රටවල ඇති අපේ තානාපති කාර්යාල මූල්‍ය  ගිණුම් පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කළහොත් මේ දූෂණ පිළිබඳ කරුණු අනාවරණය කර ගත හැකි වනු ඇත.

මහින්ද රුපියල් කෝටි සිය ගණනක් විනාශ කළ හැටි…

“මහරජ” මහින්දගේ නිව්යෝර්ක් විනෝද සංචාරයෙන් අපට ලැබුණේ කුමක් ද? එක්සත් ජාතීන් මහා මණ්ඩල සමුළුව ඇමතීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂට විනාඩි පහළොවක් ලැබුණු  අතර ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පස්දෙනෙකුට අවස්ථාව හිමි විය.. එවිට ගුවන් යානයක් කුලියට ගෙන පැමිණි සියයකට අධික පිරිස කරන්නේ කුමක් ද? ඔවුහු සුඛෝපභෝගී ලිමෝසින් රථවල නැඟී අපේ බදු මුදලින් ඇමරිකාව පුරා සංචාරය කරමින් කම්සැප වින්දාහ. . මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි ගණනක් වාර්ෂිකව වැය කරමින් විනාඩි පහළොවක කථාවකින් ජාත්‍යන්තරයට දුන් පණිවිඩය කුමක් ද? ඇත්ත වශයෙන්ම ඔහු ජාත්‍යන්තරයට දුන් පණිවිඩයක් නැත. ඔහුට එවැනි වුවමනාවක් තිබුණේ ද නැත.  “මහරජ” මහින්ද නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සිට ලංකාවේ සිටින බයියන් සහ “ඉන්ටනැෂනල් රාජපක්ෂ බයියන්” ආමන්ත්‍රණය කළේ ය. තම දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් බයියන් චූන් කළේ ය.  

“අපේ ගොනා අපිට හොඳා” බයි ආතල්…

ලංකාවේ “2500 සීන් එක” ගැන වගාඩම්බර කථා හැරෙන්නට ඔහුගේ කථාවල ගත යුත්තක් නොවීය. එහෙත් බයියන් චූන් කිරීමට ඒ කථා ප්‍රමාණවත් විය. “අපේ ගොනා අපිට හොඳා” කියමින් බයියෝ හුරේ දැමූහ. “මහරජ” මහින්දගෙන් පසුව බලයට පත් “හිටං හුටං” සිරිසේනගේ නිව්යෝර්ක් විනෝද සවාරියේ ද වෙනසක් නොවීය. සුපුරුදු ජනතා බදු මුදල් විනාශය සහ දූෂණය ඉදිරියට ගියේ ය. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ පසුව වසර 2023 සැප්තැම්බරයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතීන් මහා මණ්ඩල සමුළුව ඇමතීමට නිව්යෝර්ක් නුවරට පැමිණියේ ද මැති ඇමතිවරුන් පිරිවරා ගෙනය. තම අනුප්‍රාප්තිකයා වන රුවන් විජේවර්ධනගේ සිට විපක්ෂයේ සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් දක්වා පිරිසක් ඔහුගේ නියෝජිත කණ්ඩායමට අයත් විය. මෑත ඉතිහාසයේ මේ නාස්තිකාර දූෂිත ක්‍රමයේ යම් වෙනසක් කිරීමට උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂ පමණි. 

අනුර සහ හතර දෙනාගේ කණ්ඩායම…

පසුගිය බදාදා (24) අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පළමුවරට එක්සත් ජාතීන් මහා මණ්ඩල සමුළුව ඇමතුවේය. ජනාධිපතිවරයා සමඟ නිව්යෝර්ක් නුවරට පැමිණියේ සිව්දෙනෙකුගේ කණ්ඩායමකි. විදේශ ඇමති විජිත හේරත් සහ විදේශී අමාත්‍යාංශය නිළධාරීන් ජනාධිපතිවරයාට එක් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක තම සංචාරය වෙනුවෙන් කිසිදු අනවශ්‍ය වියදමක් නොකරන ලෙසට විදේශ අමාත්‍යාංශයට දැඩිව නියෝග කර තිබිණි. රාජ්‍ය නායකයෙකු වශයෙන් එක්සත් ජාතීන්ගෙන් සහ සත්කාරක රට වශයෙන් ඇමරිකාවෙන් ආරක්ෂාව සහ නිළ රථයක් ලැබෙන බැවින් කිසිදු ලිමොසින් රථයක් කුලියට නොගන්නා ලෙසට නිව්යෝර්ක් තානාපති කාර්යාලයට උපදෙස් ලැබුණි. වෙනම රථ නොමැති නම් ඌබර් කුලී රථයක් යොදාගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. නිව්යෝර්ක් නුවර සාමාන්‍ය පංතියේ හෝටලයක දින තුනක් නවාතැන් ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක, එම කාලයේ දී ලෝක නායකයන් සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා රාශියකට සහභාගී විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මුණගැසුණේ ය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තරය අමතයි..

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විනාඩි දහසයක කාලයක් කථා කළ අතර ඔහු එහිදී ජාත්‍යන්තර ප්‍රජාව ආමන්ත්‍රණය කළේ ය. දරිද්‍රතාවය, ණය අර්බූදය, යුද්ධයේ බේදවාචකය, පලස්තීන අර්බූදය, දූෂණ පිටුදැකීම, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට එරෙහි ගෝලීය සටනක අවශ්‍යතාව ඇතුළු ගෝලීය ප්‍රශ්න කිහිපයක් පිළිබඳව ඔහු සිය අවධානය යොමු කළේ ය. එහි අපේ ඉතිහාසය පිළිබඳ සුපුරුදු වගාඩම්බර කථා තිබුණේ නැත. බයියන් චූන් කළේ ද නැත. එහෙත් එහි අපේ රටේ සිදු වූ ජනතා විප්ලවය සහ එහි නව ගමන් මඟ පිළිබඳ පැහැදිලි සංඥාවක් සහ නව දර්ශනයක් දක්නට ලැබිණි. එමෙන්ම ශ්‍රී ලංකාව “ගෝලීය දකුණු කඳවුර” සමඟ ශක්තිමත්ව සිට ගන්නා බව ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි පණිවිඩයක්  ලබා දුන්නේ ය. 

පලස්තීන සහයෝගීතාව…

“පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්වා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා. 1967 දේශසීමා මත,  රාජ්‍ය දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක් විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළැඹ සිටිනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කරන යුද ගැටුම්වලට, උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතළ ලෙස හේතු වී තිබෙනවා” යැයි ඔහු පලස්තීන අර්බූදය පිළිබඳ තම රජයේ ස්ථාවරය ඍජුව පැහැදිලි කළේ ය. 

ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ලක් වූ අනුරගේ කථාව..

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පළමුවරට එක්සත් ජාතීන් මහා මණ්ඩලය අමතා සිදු කළ කථාව ලෝකයේ “ගෝලීය දකුණු කඳවුරේ” රාජ්‍ය නායකයෙකු සිදු කළ කැපීපෙනෙන කථාවක් වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය හඳුනාගෙන තිබිණි. Al Jazeera (English) ඇතුළු ජාත්‍යන්තර  රූපවාහිනී නාලිකා රැසක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කථා සාරංශය විකාශනය කළේ ය.

සමාජ මාධ්‍ය රාශියක ද ඔහුගේ කථාව විකාශනය කළ අතර  DRM News යූ ටියුබ් නාලිකාව අපේ ජනාධිපතිවරයාගේ කථාව හඳුන්වාදුන්නේ මෙසේ ය “Sri Lanka’s President Anura Kumara Dissanayake delivered his first address to the 80th United Nations General Assembly, calling for global action against poverty, corruption, drugs, and war. He condemned the humanitarian catastrophe in Gaza, urged an immediate ceasefire, and reaffirmed support for a two-state solution. Dissanayake also proposed bold reforms on digital democracy and AI governance”. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ යූ ටියුබ් නාලිකාවේ මෙවර විකාශනය කළ රාජ්‍ය නායක කථා අතරින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඇමතීම කැපීපෙනෙන වාර ගණනක් නැරඹූ එක් කථාවකි. එය නැරඹූ පිරිස ජාත්‍යන්තරයේ පිරිසක් වීම සැලකුව මනා ය. (මේ ලිපිය ලියද්දී එය දින තුනක දී ලක්ෂයක පමණ සංඛ්‍යාවක් නරඹා තිබිණ.)  එය මේ ලිපිය අවසානයේ නැරඹිය හැකිය.. 

යුක්රේනය ආක්‍රමණය අමතකවීම…

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එක්සත් ජාතීන් මහා මණ්ඩලය අමතා සිදු කළ පළමු කථාවේ දීම “ගෝලීය දකුණු කඳවුරේ” කැපී පෙනෙන නායකයෙකු පිළිබඳ පැහැදිලි සංඥාවක් තබා තිබේ. එමෙන්ම කාලයකට පසු අපේ රාජ්‍ය නායකයෙකු ලෝකයට ආමන්ත්‍රණය කළේ ය. ඔහුගේ කථාවේ අප දකින එක් අඩුපාඩුවක් නම් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා නොදැකීමය. ඊශ්‍රායලය ගාසා තීරය ඇතුළු පලස්තීනය ආක්‍රමණය කිරීම සහ රුසියාව යුක්රේනයේ ස්වෛරීභාවයට කරනු ලබන තර්ජනයේ වෙනසක් තිබිය නොහැකිය.  පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීමේදී තෝරා ගැනීමක් තිබිය නොහැකිය. 

එක්සත් ජාතීන් මහා මණ්ඩලය අමතා අනුර කුමාර ජනාධිපති සිදු කළ කථාව පිළිබඳව “රාජපක්ෂ බයියෝ” සහ මාලිමා විරෝධී බලවේග වියරුවැටී දඟලති. ඔවුන් දඟලන්නේ සැප්තැම්බර් මාසයට “මහරජ” මහින්ද නිව්යෝර්ක් හි සිට වීසි කළ මස් කටුවල ලේ රසයේ පැරණි මතකය ට ය. “රාජපක්ෂ බයියන්” සහ දිලිත් ජයවීර වැනි සිංහල බෞද්ධ ජාතිවාදීන් දැන්වත් අවබෝධ කර ගත යුතු මූලික යථාර්ථයක් තිබේ. එනම් “දැන් කාලය වෙනස් ය. තාලය වෙනස් ය” යන්නයි. එබැවින් සැප්තැම්බර් මාසයේ නිව්යෝර්ක් සිට “රාජපක්ෂ බයියන්” චූන් කිරීම දැන් සිදු වන්නේ නැත. අපි දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ නව ගමන් මඟකට පිවිස සිටින්නෙමු. 

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ ජනපති අනුරගේ කතාව පහතින්

---------------------------
by     (2025-09-28 20:30:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links