-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.සැප්.29, ප.ව.11.00) නිව්යෝර්ක් සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක සිදුකළ ජපාන සංචාරයේ දී අද ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා විසින් නිල වශයෙන් ජනපති අනුරව රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් අතර දෙපාර්ශවය අතර පැවැති නිල සාකච්ඡා වලින් අනතුරුව ජපානය විසින් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 2 ක පමණ දැවැන්ත ආධාර දෙකක් (ණයක් නොවේ) ශ්‍රී ලංකාව වෙත ප්රදානය කෙළේ ය.
ඉන් එකක් නම් ජපානයේ "නිල ආරක්ෂක සහාය වැඩසටහන" Official Security Assistance (OSA) යටතේ යෙන් මිලියන 500 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1ක) මුදලක් වැය කරමින් ජපානයේ නිෂ්පාදිත අති නවීන මිනිසුන් රහිත ගුවන් යානා (UAV) වර්ග දෙකක්, නිරීක්ෂණය, නිරීක්ෂණ සහ ආපදා සහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දීමයි. OSA යනු සම අදහස් ඇති රටවල ආරක්ෂාව සහ අනාරක්ෂිත තත්ත්ව වැළැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයේ නව ආධාර ප්‍රදාන සහයෝගීතා රාමුවකි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට, කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෙවැනි ආධාරය නම් ශ්‍රී ලංකාවේ “කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” සඳහා ලබා දුන් අධාරයකි. එහි වටිනාකම යෙන් මිලියන 495 කි. ආසන්න වශයෙන් එය ද රුපියල් බිලියන 1 කට ආසන්න රුපියල් මිලියන 945 ක් පමණ වේ. එමගින් මධ්‍යම, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත් වල පශු සම්පත් පහසුකම් සඳහා තත්‍ය කාලීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා [Polymerase Chain Reaction (PCR)] උපකරණ, ශුක්‍රාණු චලන විශ්ලේෂක පද්ධතිය සහ රෝද හතරේ ට්රැක්ටර වැනි උපකරණ මෙන්ම තාක්ෂණික සහාය ද ලබා දෙනු ඇත.
මේවා පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරුව සඳහා දෙරටේ නායකයන් ඉදිරිපිට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිඔ ඉසොමත සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන දෙපොල විසින් අත්සන් තබන ලදී.
මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ නම් මෝඩ තකතීරුවාගේ යුගයේ දී නවතා දමන ලද පූර්ණ ජපාන ආධාර සහ ඉතා සහනදායී ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සිදුකරමින් සිටි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල් කිරීම ඇතුළු ව්‍යාපෘති 11 ක් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජපානය විසින් යළි සක්‍රිය කිරීම පිළිබඳව ද, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය විසින් දක්වන ලද සහාය වෙනුවෙන් ද ජනපති අනුර අගමැති ෂිගෙරු ඉෂිබා වෙත සිය කෘතඥතාවය පළ කෙළේ ය.
ජනපති අනුර දිසානායක ජපාන අගමැති හමුවට අමතරව ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) සමඟ ද, ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී. එම්. නකටානි (DM Nakatani) සමඟ ද දෙරටට වැදගත්වන කරුණු පිලිබඳ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වී ය.
දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡා වලින් අනතුරුව දෙපාර්ශවය විසින් ඒකාබද්ධ නිල නිවේදනයක් ද නිකුත් කෙරිණ. එකී ඒකාබද්ධ නිල නිවේදනය සම්පූර්ණයෙන් අපගේ ඉංග්‍රීසි සංස්කරණයේ පළ වනු ඇත.
(සේයාරුවේ දැක්වෙන්නේ ජනපති අනුර සහ අගමැති ෂිගෙරු ඉෂිබා අතර හමුවෙන් පසු දෙපාර්ශවය විසින් අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගන්නා ලද අවස්ථාවයි)
පසු සටහන:
ගෝඨාභය රාජපක්ෂ නම් මෝඩ තකතීරුවා විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වූ ජපානයේ ආධාර අහිමි කරගනිමින් ශ්‍රී ලංකාවට සිදුකරන ලද හානිය අති විශාල ය. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපානය ශ්‍රී ලංකාවට ලබා දී තිබුනේ සියයට දශම එකක ඉතාමත් අඩුම පොලියකට මෙන්ම වසර 15 ක් තරම් දිගුකාලීන ණය නොගෙවන කාල සීමාවක් ද ( grace period ) සහිතව ය. එම ව්‍යාපෘතියේ සියලු මූලික වැඩ අහවර වී තිබුනේ ක්‍රියාත්මක කිරීම පමණි. මෝඩ ගෝඨා විසින් එකී ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා රුපියල් මිලියන 700 ක එනම් රු. කෝටි 70 ක මුදලක් ජපානයට ගෙවීමට ද ශ්‍රී ලංකාවට සිදුවිය. ඉන්පසුව ජපානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරමින් තිබූ ව්‍යාපෘති 11 කින් ඉවත් විය. ඉහත දැක්වූ ජපානය අරභයා පමණක් කාරණා අනුව වුව මෝඩ තකතීරු ගෝඨා විසින් රටට සිදුකරන ලද හානිය දැවැන්ත ය. ඒ මදිවාට බාර ගත් ජනාධිපති තනතුර ද, ලන්කට් එක ද, ගස්ලබු බෑය ද අත්හැර දා පළා ගියේ ය. එහෙව් ගෝඨාභය රාජපක්ෂ නමැති ගොං තකතීරු හීපාටුවාට ශ්‍රී ලංකාවේ මහජනතාවගේ බදු මුදලින් විශ්‍රාම වැටුපක් ද, ආරක්ෂාවට නිල ආරක්ෂකයන් ද ලබා දී තිබීම හෙණ ගහන අපරාධයකි. රජයේ රස්සාව හැර දා රාජ්‍ය සේවකයෙක් පළා ගිය හොත් ඔහුට විශ්‍රාම වැටුපක් හෝ කිසිදු රජයේ වරප්‍රසාදයක් නොලැබෙනු ඇත. ඒ එසේ නම් රාජ්‍ය සේවයේ ප්‍රධානියා වූ ජනාධිපතිවරයා තනතුර හැර දා පළා ගිය විට ඔහුට විශ්‍රාම වැටුප් සහ ආරක්ෂකයන් මහජනතාවගේ බදු මුදලින් ගෙවන්නේ අහවල් කාරියක ට ද? හරිනම් කළ යුත්තේ මේකා රටට සිදුකළ හානිය තක්සේරු කර උගෙන් එය අයකර ගැනීම ය.
---------------------------
by (2025-09-29 22:00:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි