~

සජිත් ප්‍රේමදාස නූතන සිරිසඟබෝ වෙයි ද?

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.05, ප.ව‍.11.30) ඒ අදින් වසරකට පමණ පෙරය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වසර 2024 ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ ය. එහෙත් එය බලාපොරොත්තු වූ සාර්ථක මට්ටමට පැමිණියේ නැත. ඔහු සිය සමීප මිතුරෙකු වන මලික් සමරවික්‍රම කැඳවා තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලෙසට ඉල්ලීමක් කළේ ය. එහෙත් එම ඉල්ලීම මලික් කාරුණිකව ප්‍රතික්ෂේප කළ අතර එයට හේතුව වශයෙන් ඔහු සිය හිතවතුන් සමඟ පැවසූවේ ජනාධිපතිවරයා වටේ සිටින දූෂිත කණ්ඩායම සමඟ තමන්ට ගණුදෙනු කළ නොහැකි බවයි. 

ක්‍රිෂාන්ත කුරේගේ ජනාධිපතිවරණ  අනාවැකිය…

සිය ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ ම පසුබසින බව අවබෝධ කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම මැතිවරණ ව්‍යාපාරය භාර ගන්නා ලෙස ක්‍රිෂාන්ත කුරේට ආරාධනා කළේ ය. ඔහු ජනමත සමීක්ෂණ වාර්තා කිහිපයක් අධ්‍යයනය කර වසර 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂිත ප්‍රතිඵලය පිළිබඳ  තක්සේරුවක් ජනාධිපති වික්‍රමසිංහ හමුවේ තැබීය. තුන්කොන් සටනකින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ ජය ගන්නා බවත් දෙවන ස්ථානයට සජිත් ප්‍රේමදාසට හිමි වන බව ඔහු පෙන්වා දුන්නේ ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තුන්වන ස්ථානයට පත් වන අතර එම අවස්ථාවේ ජනමත සමීක්ෂණ අනුව ඔහුට ලබාගත හැකි ඡන්ද ප්‍රතිශතය සියයට දහයකට ආසන්න සීමාවේ පවතින බවත් ක්‍රිෂාන්ත කුරේ හෙළි කළේ ය. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනින් ඉවත් වුවහොත් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණය ජය ගැනීමේ යම් අවස්ථාවක් තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. එහෙත් ජනාධිපතිවරයා එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළේ ය. 

රෙනෝ සිල්වාගේ ගෙදර රනිල්, සජිත් සාකච්ඡා…

එහි දී ක්‍රිෂාන්ත කුරේ පැවසූවේ තමන්ට කළ හැකි උපරිම මැදිහත්වීම වන්නේ ජනාධිපති වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රතිශතය සියයට 15-20 අතර ප්‍රමාණයකට ගෙන ඒම බවයි. ජනාධිපති වික්‍රමසිංහ එම ඉලක්කය වෙත යෑමට එකඟ විය. ක්‍රිෂාන්ත කුරේ ඉදිරිපත් කළ යෝජනාව, මාස ගණනාවක සිට විටින් විට විවිධ පාර්ශයන් විසින් ජනාධිපති වික්‍රමසිංහට ඉදිරිපත් කරන ලදී. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වැළක්වීම සඳහා දැඩිව උත්සාහ කළ චරිතයක් වූයේ “කුඩු” මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ සිල්වා ය. ඔහු සජිත් සහ රනිල් පාර්ශව අතර එකඟතාවයක් ඇති කිරීම සඳහා සෑහෙන්න දත කෑවේ ය. ඒ සඳහා වන රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සෘජු, තීරණාත්මක සාකච්ඡාවක් ඔහුගේ නිවසේ පැවැත්විණ. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ඉවත්වී සජිත්ට සහය පල කිරීමට අකමැතිවීම හේතුවෙන් එම සාකච්ඡා බිඳ වැටුණි.

අනුර වෙනුවට සජිත් පරාජය කිරීමේ ප්‍රමුඛතාව…

වසරකට පෙර පැවැති ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට පත්වන බව දැන දැනම රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරණ සටන් බිමේ රැඳී සිටියේ ඇයි? ඔහුට මූලික වශයෙන් අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාස පරාජය කිරීමය. පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජය ගත්තේ නම් රනිල් වික්‍රමසිංහගේ මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා වන රුවන් විජේවර්ධනගේ දේශපාලනය අවසන් වනු ඇත. ඒ වන විට රනිල් වික්‍රමසිංහගේ සට්ටැඹිරාළ ලා වශයෙන් කටයුතු කළ වහලුන් පවා ඔහු අත්හැර සජිත් ප්‍රේමදාස වටා එකතුවීම අනිවාර්ය තත්ත්වයකි. එජාපයේ  විජේවර්ධන-ජයවර්ධන පවුල් ආධිපත්‍යය ද අවසන්වී සජිත් ප්‍රේමදාස වටා නව දේශපාලන බලවේගයක් බිහි වනු ඇති අතර ජාතික ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් වනු ඇත. එබැවින් සජිත් ප්‍රේමදාස පරාජය කිරීම රනිල් වික්‍රමසිංහගේ මූලික ඉලක්කය විය. 

මාලිමා ආණ්ඩුව මාස තුනෙන් කඩා වැටීමේ සිහිනය…

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජය ගැනීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ බිය නොවූයේ මන්ද? ඔහුගේ මූලික තක්සේරුව වූයේ තඹුත්තේගම ගැමි තරුණයෙකුට ජනාධිපතිධූරය දැරිය නොහැකි බවයි. ඔවුන් රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුකරණය නොදන්නා බැවින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජය ගත්ත ද මාස තුනක් හයක් අතර කාලයකට වඩා බලයේ සිටිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහු වටා සිටි ප්‍රභූ දේශපාලන පංතියේ තක්සේරුව විය. විශේෂයෙන් ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් මාලිමා ආණ්ඩුව බිඳ වැටෙන බව ඔවුහු දැඩිව විශ්වාස කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒ වන විට ඇති කර ගෙන සිටි ගිවිසුම අනුව කටයුතු කිරීමට නොහැකිවීමෙන් අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුකරණය මාස හයක උපරිමයකින් අවසන් වන බව ඔවුහු දැඩිව විශ්වාස කළහ. රටපුරා නැවත භාණ්ඩ හිඟයක් මෙන්ම ජනතා අසහනයක් නිර්මාණය වී තමන්ට නැවත බලයට ඒමට හැකි වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ සිහින දැක්කේ ය. 

රනිල් වික්‍රමසිංහ අවලංගු කාසියක් බවට…

ජනාධිපතිවරණයේදී අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි වූයේ නින්දාසහගත පරාජයකි. ක්‍රිෂාන්ත කුරේ තක්සේරු කළ ආකාරයටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනින් තුන්වන ස්ථානයට ඇද වැටුණි. ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද ලක්ෂ 23ක් පමණි. එය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 17.27 කි. මෙය ඔහුට පමණක් නොව ඔහුව කර තබාගෙන ගිය දේශපාලන ප්‍රභූ පංතියට ද හිමිවූ නින්දා සහගත පරාජයකි. රනිල් වික්‍රමසිංහ යනු ආසියාවේ “මොළය”, රට ආර්ථික අර්බූදයෙන් ගලවා ගත් නායකයා, ලංකාවේ සිටින පරිණතම දේශපාලනඥයා ආදී වශයෙන් ඔහුගේ ප්‍රතිරූපය ගොඩ නැගීමට සට්ටැඹිරාළ ලා දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ගෙන ගිය ද ඡන්දායකයෝ ඔහුව නොසළකා හැරියහ. ඔවුහු අනුර කුමාර දිසානායකට විකල්පය වශයෙන් සජිත් ප්‍රේමදාස තෝරා ගත්හ.

ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද ලක්ෂ 56ක් (සියයට 42.31)ක් ලබා ගන්නා විට දෙවන තැනට පැමිණි සජිත් ඡන්ද ලක්ෂ 43ක් (සියයට 32.76)ක් ලබා ගත්තේ ය. සරළ අංක ගණිතය අනුව රනිල්, සජිත් පාර්ශව එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ නම් ජනාධිපතිවරණය ජය ගැනීමේ අවස්ථාවක් තිබිණි. එසේ වී නම් වැඩි ජනතා කැමැත්ත තිබුණේ සජිත්ට බව පැහැදිලිය. පසුගිය නොවැම්බර් මහ මැතිවරණයේ දී සජිත් ඡන්ද ලක්ෂ 19 ක් (සියයට 23.9) ලබා ගන්නා විට රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් “සිලින්ඩරය”ට  ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 5 කි. එනම් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 4.5 කි. රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලනයේ අවලංගු කාසියක් බව යළිත් සනාථ විය. 

එජාපයේ යාවජීව නායකයා…

එහෙත් ඔහු එම ජනතා තීරණය පිලිගෙන දේශපාලනයෙන් ඉවත්වීමට සූදානම් නොවීය. රනිල් වික්‍රමසිංහට කිසි දිනෙක එජාප නායකත්වය හැරයෑමේ  අදහසක් නැත. ඔහු වසර 1994 නොවැම්බර් මාසයේ සිට එජාපයේ යාවජීව නායකයාය. රනිල් එජාපයේ නායකත්වය ලබාගෙන දැන් වසර තිහකට අධිකය. එජාප ඉතිහාසයේ වැඩිම කාලයක් නායකත්වයේ රැඳී සිටින නායකයා ඔහුය. පසුගිය මැතිවරණයන්හි දී ඔහු පජාත ලෙස පරාජයට පත්වුවද පක්ෂ නායකත්වය තම ඥාති පුත්‍රයා වන රුවන් විජේවර්ධනට හෝ ලබාදීමට හෝ ඔහුගේ කැමැත්තක් නැත. රනිල් වික්‍රමසිංහ තවමත් සිහින දකින්නේ මාලිමා ආණ්ඩුව බිඳ වැටී, තමන්ට බලය ලැබෙනු ඇති බවයි. වසර 2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා දින දෙකක් තුල රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ දූෂන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය අගෝස්තු 22 වන දා පස්වරුවේ දී  අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 

සුන්බුන් ප්‍රභූ දේශපාලන බලවේගයේ නායකයා…

ඒ අවස්ථාවේ “ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයට එරෙහිව” යන හාස්‍යජනක සටන් පාඨය යටතේ ඒකාබද්ධ විපක්ෂයක් නිර්මාණය කර එහි නායකත්වය රනිල් වික්‍රමසිංහට ලබා ගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් දියත් විය. එම ඒකාබද්ධ විපක්ෂය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙවන මට්ටමට ඇද දමා, සමගි ජන බලවේගය දියකර දැමීම රනිල් වික්‍රමසිංහගේ ඉලක්කය විය. එජාපයේ 79 වැනි පක්ෂ සංවත්සර උත්සවයට පෙර එජාපයෙන් ඉවත්වී සමගි ජන බලවේගයට සම්බන්ධ වූ එජාප සාමාජිකයන්ගේ පක්ෂ තහනම ඉවත් කරන බව එහි සභාපති වජිර අබේවර්ධන නිවේදනය කළේ ය. රනිල්ට අවශ්‍ය වූයේ  සමගි ජන බලවේගය යළි එජාපය වටා ඒකරාශී කර ගැනීමය. ඒ හරහා ඒකාබද්ධ විපක්ෂය නම් සුන්බුන් බවට පත්ව ඇති ප්‍රභූ දේශපාලන බලවේග එකතු කර තමා එහි නායකයා වීම ට ය.

විපක්ෂ නායකයා රනිල්ගේ සහයට ඩැනී ද?

එහෙත් සජිත් ප්‍රේමදාස, හෝ සමගි ජන බලවේගයේ නායකයන් රනිල් වික්‍රමසිංහගේ උගුලට අසුවූයේ නැත. සමගි ජන බලවේගය යනු පසුගිය මහමැතිවරණයේදී ඡන්ද ලක්ෂ 19 ක් ලබාගෙන මන්ත්‍රීධූර හතළිහකට අධික සංඛ්‍යාවක් ලබාගත් පාර්ලිමේන්තුවේ විපක්ෂයයි. ඔවුන්ට යළි එජාපයට යෑමට හෝ සජිත් ප්‍රේමදාසට එජාපයේ නියෝජ්‍ය නායකයා වීමේ අවශ්‍යතාවයක් නැත. විපක්ෂයේ ජනතා බලය කේන්ද්‍රව තිබෙන්නේ සමගි ජන බලවේගය මතය. රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීමේ “කලු ලකී” මෙහෙයුම සඳහා පැමිණියේ මැද කොළඹ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් මිස, රනිල්ගේ ආධාරකරුවන් නොවෙයි. ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා එජාපයේ 79 පක්ෂ සංවත්සරය උපයෝගී කර ගැනීමට ගත් රනිල්ගේ උත්සාහය අසාර්ථක වන්නේ එබැවිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම රැස්වීමට සහභාගී වූයේ නැත. අවසානයේ  කෝට්ටේ කුඩා උත්සව ශාලාවක එම රැස්වීම පැවැත්වීමට සිදු වූ අතර ඒ හරහා රනිල් වික්‍රමසිංහගේ ජනතා පදනම යළිත් ප්‍රදර්ශනය විය.

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර බෙදීමක්…

සජිත් ප්‍රේමදාස තම උගුලට හසුකර ගැනීමට නොහැකිවීමෙන් පසු රනිල් වික්‍රමසිංහ දැන් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර බෙදීමක් නිර්මාණය කරමින් සිටින බව වාර්තාවෙයි. සජිත් සමඟ අභ්‍යන්තර අර්බූද නිර්මාණය කර ගෙන සිටින තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු කණ්ඩායමක් යළිත් එජාපය සමඟ එක් විය යුතු බවට තම පක්ෂ නායකත්වයට බල කරමින් සිටිති. මේ කණ්ඩායම සජිත් අත්හැර  රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිලිගෙන යළි එජාපයට යෑමේ අවදානමක් ද පවතියි. මේ අභ්‍යන්තර අර්බූදය හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට යළි එජාපයට එක් වන ලෙසට දේශපාලන තෙරපුමක් නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහ සමත්ව ඇත.

සජිත් ගමනක අවසානයට..?

මෑත ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම උත්සාහ කළේ සජිත් ප්‍රේමදාස දේශපාලනමය වශයෙන් විනාශ කිරීමටය. දශක තුනකට අධික කාලයක් එජාප නායකත්වයේ රැඳී සිටින රනිල්, සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වයට පැමිණීමේ සියලු මං පෙත් වසා දැමුවේය. ඔහු තම ඥාති පුත්‍රයා වන, එජාපයට නවකයෙකු වූ  රුවන් විජේවර්ධන එජාප නායකත්වය සඳහා සූදානම් කළේ ය. වසර 2019 ජනාධිපතිවරණයේ දී සජිත්ගේ කකුලෙන් ඇද්දේ ය. සජිත්ට පල නොකියා පලා බෙදුවේ ය. අවසානයේ ඔහු සමගි ජන බලවේගය යනුවෙන් නව පක්ෂයක් නිර්මාණය කර විපක්ෂ නායකයා බවට පත්විය. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ ඒ ගමන නවතා සජිත්ව යළි එජාපයට ගාල්කර සියල්ල තම අණසක යටතට ගැනීමට ය. එජාප ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන ආකාරයට රනිල් වික්‍රමසිංහ යනු එහි යාවජීව නායකයාය.  ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමේ කිසිදු ප්‍රායෝගික ව්‍යවස්ථාමය අවස්ථාවක්, ක්‍රියාමාර්ගයක් නැත. එවැනි පරිසරයක දී සජිත්, රනිල්ගේ නායකත්වය පිලිගෙන එජාපයට එක්වීම යනු සියතින් ගෙල සිඳ ගැනීමකි. එම දේශපාලන උගුලට අසුවුවහොත් ඒ සමඟ සජිත්ගේ දේශපාලන ගමනේ අවසානය සටහන් වනු ඇත. සජිත් යනු රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන පුත්‍රයෙකු ද නැති ද යන්න ඉදිරියේ දී අපට දැක ගත හැකිය. 

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-10-05 19:23:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links