~

ලංකාවේ දූෂිතයන්ගේ රහසිගත විදේශ ගිණුම් 12,000 ක සැඟවූ ඩොලර් බිලියන ගණනක්..! ශ්‍රී ලංකාවේ සැඟවුණු දූෂණ ජාලයක් හෙළිවේ..!

-ජාත්‍යන්තර වංචා හඳුනාගැනීමේ ජාලය (IFDN) සමඟ එක්ව ලංකා-ඊ-නිව්ස් විමර්ශන අංශය විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.07, පෙ.ව‍.6.00) හිටපු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට සම්බන්ධ සැක සහිත බැංකු ගිණුම් මාලාවක් සිංගප්පූරුවේ විමර්ශකයින්ට මුලින්ම හමු වූ විට, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම රහසිගත වත්කම් වංචාවක් බවට පත්වනු ඇතැයි ඔවුන් කිසි විටෙකත් සිතුවේ නැත.

මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු සේම පසුව ආණ්ඩුකාරවරයෙකු ද වූ එකී පුද්ගලයාට අයත්, 'කලකින් ගණුදෙනු සිදුනොවූ'  සිංගප්පූරු ගිණුම පිළිබඳ ලැබුණු එම 'තනි ඉඟිය' දැන් සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මාලදිවයින, ඩුබායි සහ 'ලබූඑන්' (කළු සල්ලිවලට තොටිල්ලක් බඳු වූ මැලේසියාවට අයත් ෆෙඩරල් දූපතකි) යන රටවල රහසිගත බැංකු ගිණුම් හිමි ශ්‍රී ලාංකික පුරවැසියන් 12,000 කට අධික සංඛ්‍යාවකගේ නම් අඩංගු විශාල ලේඛනයක් බවට පත්ව ඇත.

ජාත්‍යන්තර වංචා විමර්ශකයින් විසින් ලංකා-ඊ-නිව්ස් සමඟ පමණක් බෙදාගත් රහස්‍ය වාර්තාවලට අනුව, ඒවායින් (මැලේසියානු සහ සිංගප්පූරු) බොහොමයක් ක්‍රියාකාරී ගිණුම් වන අතර ඒවා සතුව ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් පමණ ඇති බව ඇස්තමේන්තු කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මුදල් විශුද්ධිකරණය පිළිබඳ පරීක්ෂණයක් ලෙස ආරම්භ වූ සිද්ධිය දැන් පෙර නොවූ විරූ හෙළිදරව්වක් බවට පත්ව ඇත. එමගින් ලංකාවේ දේශපාලනඥයින්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රේගු නිලධාරීන්, නීතිඥයින්, ව්‍යාපාරිකයන් සහ පූජ්‍ය පක්ෂයේ අය පවා, ශ්‍රී ලංකා රජයකට වුව ළඟා විය නොහැකි තරම් විශාල මුදල් ප්‍රමාණයක් නිහඬව රටින් පිට කර සඟවන ලද පද්ධතියක් පිළිබඳ හෙළිදරව් වී තිබේ. 

ගිනි ජාලාවක් ඇවිලවූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ රහස..

ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස සේවය කර පසුව හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වූ අයෙකුට සම්බන්ධ ගනුදෙනු මාලාවක් සිංගප්පූරුවේ මූල්‍ය නියාමකයින් විසින් 2024 මුල් භාගයේදී විමර්ශනය කිරීමත් සමඟ මෙම මං පෙත සොයා ගැණින.

ක්‍රියාකාරී මෙහෙයුම් හෝ සේවකයින් හෝ සැලකිය යුතු වත්කම් හෝ නොමැති නමුත්, කඩදාසි මත පමණක් නීත්‍යානුකූලව පවතින, (මදයක් නැති පොත්ත පමණක් තිබෙන ව්‍යාපාර) 'ලබූඑන්' හි පිහිටි ව්‍යාපාරික ආයතන කිහිපයක් හරහා එවමින් සිංගප්පූරුවේ ආයෝජන ලෙස තැන්පත් කර තිබූ අරමුදල්, ඉහත කී මහ බැංකු අධිපතිවරයා රජයේ කාර්යාලයේ සේවය කළ කාලය තුළ ඔහුගේ ප්‍රකාශිත වත්කම්වලට නොගැලපෙන බව පෙනෙන්නට තිබුණි.

ජාත්‍යන්තර විමර්ශකයින් සිදුකළ ගැඹුරු පරීක්ෂාවකින් පසු තවත් ශ්‍රී ලාංකිකයන්ට අයත් ඒ හා සම්බන්ධ ගිණුම් දුසිම් ගණනක් සොයා ගත්හ. සති කිහිපයක් ඇතුළත එකී ජාලය දහස් ගණනක් දක්වා පුළුල් විය.

ජාත්‍යන්තර වංචා හඳුනාගැනීමේ ජාලයේ International Fraud Detection Network (IFDN) නම හෙළි කළ නොහැකි විමර්ශකයෙකු, ලංකා-ඊ-නිව්ස් වෙත මෙසේ පැවසීය:

“අපි මුලින් සිතුවේ අපි වංචා කිරීමේ තනි සිද්ධියක් නිරීක්ෂණය කරන බවයි. නමුත් අපට ටිකෙන් ටික ලැබුණු දත්ත අනුව සම්බන්ධිත ගිණුම් හිමියන් සිය ගණනක් පෙන්නුම් කළා. ඒවා 'ක්‍රම සහ විධි' අනුව බලය අනිසි ලෙස භාවිතා කරන අය විසින් සැඟවීමට යමක් තිබේ නම් පමණක් සිදුකරන වංචනික රටාවක්.”

බදු තෝතැන්නක් වූ පුංචි දූපත - 'ලබූඑන්' හි පැහැදිලි සම්බන්ධය..! ලබූඑන් හි ගිණුම් 2300 ක්..!

විමර්ශනයේ හදවත වන්නේ Borneo දූපතට ඔබ්බෙන් පිහිටි කුඩා මැලේසියානු දූපතක් වන 'ලබූඑන්' ය. එය දකුණු ආසියානු ප්‍රභූන් තම සැඟවිය යුතු ධනය තැන්පත් කිරීමට වඩාත් කැමති බැංකු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

'ලබූඑන් මූල්‍ය සේවා සහ සුරැකුම්පත් පනත' නම් මැලේසියානු නීතියක් යටතේ නියාමනය කර ඇති මෙම දූපත, අවම හෙළිදරව් කිරීම් සහ විදේශ ආදායම මත බදු අය කිරීමකින් තොරව අනේවාසිකයින්ට ජාත්‍යන්තර ව්‍යාපාර ගිණුම් විවෘත කිරීමට ඉඩ සලසා දී තිබේ.

එමගින් 'ලබුඑන්' හි බැංකු රහස්‍ නීති නොබිඳිය හැකි බව ධනය සැඟවීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයන්ට තහවුරු කෙරිණ. 

ලංකා-ඊ-නිව්ස් විමර්ශන අංශය විසින් සමාලෝචනය කරන ලද ලේඛනවලින් හෙළි වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු රේගු අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු, විශ්‍රාමික ස්ථිර ලේකම්වරුන් සහ දේශපාලනිකව නාමධාරී පුද්ගලයින් ඇතුළුව අවම වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 2,300 ක්  'ලබුඑන්' හි ක්‍රියාකාරී ගිණුම් පවත්වාගෙන ඇති බවයි.

එකී ගිණුම් බොහෝ විට සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ ලියාපදිංචි අතරමැදියන් හෝ "නම් කරන ලද සමාගම්" හරහා විවෘත කරන ලද ඒවා වන අතර, මැලේසියානු බලධාරීන්ගේ සහයෝගීතාවයකින් තොරව ඒවායේ සැබෑ හිමිකාරිත්වය සොයා ගැනීම කළ නොහැක්කකි.

සිංගප්පූරුව සහ මැලේසියාව - ප්‍රචලිත රහස් සහිත නිහඬ අසල්වැසියන්..! සිංගප්පූරුවේ ගිණුම් 5000 ක්..!

දිගු කලක් තිස්සේ පවතින සිංගප්පූරුවේ පිරිසිදු ප්‍රතිරූපය, අසල්වැසි රටවලින් ලැබෙන සැක සහිත අරමුදල් ඇදගැනීමේ චුම්බකයක් බවට පත් කර ඇත. අභ්‍යන්තර බැංකු ලේඛනවලට අනුව, ශ්‍රී ලාංකිකයින් 5,000 කට ආසන්න සංඛ්‍යාවකට සිංගප්පූරුවේ බැංකුවල ක්‍රියාකාරී හෝ 'කලකින් ගණුදෙනු සිදුනොවූ' අක්‍රීය ගිණුම් තිබේ.

මේවායින් බොහොමයක් අපනයනකරුවන්, භාණ්ඩ ප්‍රවාහන සමාගම් සහ දේපළ වෙළඳාම් කරුවන් විසින් ස්ථාපිත කරන ලද අතර, පෙනෙන පරිදි ඒවා ආරම්භ කර ඇත්තේ “ජාත්‍යන්තර වෙළඳාම් බේරුම්කරණය” සඳහා පහසුව පිණිස ය.

නමුත් ජාත්‍යන්තර වංචා හඳුනාගැනීමේ ජාලයෙ හි (IFDN) වෝහාරික විගණන විශ්ලේෂණයට වෙනස් චිත්‍රයක් පෙනී යයි. එනම් මේවා ක්‍රමානුකූලව සිය ප්‍රාග්ධනය වෙනත් රටකට සංක්‍රමනය කරවීමක් බවයි.

ව්‍යාජ ඉන්වොයිස, මිල වැඩි කළ ආනයන කොන්ත්‍රාත්තු සහ හුවමාරු මිල වැඩියෙන් දැමූ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ අරමුදල් ගසාගෙන ගොස්, පසුව නීත්‍යානුකූල වෙළඳ ආදායම් වලට මුවා වී සිංගප්පූරුවේ තැන්පත් කර තිබේ.

ලැබී ඇති තොරතුරු අනුව සිංගප්පූරුව සේම මැලේසියාව ද කැපී පෙනේ - විශේෂයෙන් ක්වාලාලම්පූර් සහ පෙනැන්ග් හි පිහිටි, සඟවන ලද වත්කම් සහිත සමාගම් අනුබද්ධිත පෞද්ගලික බැංකු, දකුණු ආසියානු සේවාදායකයින්ට නිහඬව සේවය කර ඇත. 

සඟවන ලද වත්කම් හිමි ශ්‍රී ලාංකිකයන්ගේ හැඩ රුව..

මෙම ලේඛනය පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ සමාජ විච්ඡේදනයක් බඳු ය. දේශපාලන සම්බන්ධතා වල සිට සුදු කරපටි වෘත්තීන් දක්වා විහිදෙන මූල්‍යමය වංචනික සංස්කෘතියක් ඉන් හෙළිදරව් වේ.

ඉහත සඳහන් ගිණුම් හිමියන් අතර:

• ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම හිටපු අමාත්‍යවරුන්;
• ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයින්;
• වත්මන් සහ විශ්‍රාමික රේගු නිලධාරීන්;
• හිටපු මහ බැංකු නිලධාරීන්;
• පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා දේශපාලනඥයින්;
• පාසල් සහ පුණ්‍යායතන පවත්වාගෙන යන ප්‍රමුඛ බෞද්ධ සහ කතෝලික පූජකවරුන්; සහ
• ඉදිකිරීම්, ඖෂධ සහ ඇඟලුම් අපනයනයට සම්බන්ධ ව්‍යාපාරිකයින් 300 කට අධික සංඛ්‍යාවක් සිටිති.

එක් විමර්ශකයෙක් බියකරු ලෙස මෙසේ සාරාංශගත කෙළේ ය;

“මෙය දූෂණය පමණක් නොවේ. එය 'ආයතනීකරණය වූ පිටරටවල වත්කම් සැඟවීමක්' (institutionalised offshoring). රාජ්‍යය ආදායම් වැඩි කර ගැනීමට යාමේ දී මහජනතාව බදුකරණය සමඟ අරගල කරන අතරතුරේ දී රාජ්‍යයෙන් කොල්ලකන ලද බිලියන ගණනක ආදායමක් සමාන්තර ආර්ථිකයක් හැටියට තියෙනවා.”

සඟවන ලද වත්කම් ජාලයේ දෙවන කොටස..! තවත් ගිණුම් 9000 ක්..! ඩුබායි සහ ගල්ෆ් කලාපය..

වත්මන් විමර්ශනයේ ප්‍රධාන කොටස අග්නිදිග ආසියානු ගිණුම් වූ අතර, සමාන්තර පරීක්ෂණයකින් ඩුබායි, අබුඩාබි සහ අනෙකුත් ගල්ෆ් අධිකරණ බල ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සතුව සඟවන ලද වත්කම් ඇති තවත් ගිණුම් 9,000 ක් අනාවරණය වී තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම ගිණුම් ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යන්නේ විදේශ විනිමය ආපසු ගෙන්වා ගැනීමේ ලංකාවේ තිබෙන නීතිවල හිඩැස් අතරින් රිංගා යන අපනයනකරුවන් සහ නැව්ගත කිරීමේ නියෝජිතයන් විසිනි.

බොහෝ අවස්ථාවන්හි දී, තේ, කුළුබඩු සහ රබර් වලින් ලැබෙන අපනයන ආදායම ශ්‍රී ලංකාවේ දී හිතාමතාම අඩුවෙන් ඉන්වොයිස් කර ඉතිරිය ඩුබායි හි පුද්ගලික ගිණුම් වෙත හරවා යවනු ලැබේ.

රාජපක්ෂ පවුලට සමීප ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරිපාලනයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතලොස්සක් ඩුබායි ගිණුම් හිමියන් අතර සිටින බව ද විමර්ශකයින් විසින් සොයා ගන්නා ලදී. 

කළු සල්ලි සුදුකරන යුරෝපයේ කුඩාම මධ්‍යස්ථානය; 'සැන් මැරිනෝ' සම්බන්ධය..!

ඉතාලි භූමියෙන් වට වූ ක්ෂුද්‍ර රාජ්‍යයක් වන 'සැන් මරිනෝ' ලිහිල් බදු ක්‍රමයක් සඳහා ප්‍රසිද්ධ ය. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් පිරිසක් සැන් මරිනෝ හි ද සඟවන ලද වත්කම් ගාල් කර ඇති බවට සාක්ෂි හෙළි වී තිබේ.

ලංකා-ඊ-නිව්ස් විසින් ලබාගත් මූල්‍ය දත්ත වලට අනුව, 'යුරෝපීය නේවාසිකයන්ගේ ආයෝජන වැඩසටහන' (European Investment Residency Program) යටතේ ක්‍රියාත්මක වන අතරමැදියන් හරහා ඩුබායි සිට සැන් මරිනෝ වෙත අරමුදල් හරවා යවා ඇත.

“කිසියම් විමර්ශකයෙකුගේ රේඩාර් තිරයේ සැන් මරිනෝ තිබෙන්නේ කලාතුරකිනි. නමුත් යුරෝපයේ පෞද්ගලික බැංකු වෙත ප්‍රවේශය ඇති අයට, එය පරිපූර්ණ සුරක්ෂිතාගාරයකි. ආයෝජන නමින් සැඟවීමට අවශ්‍ය කළු සල්ලි සංක්‍රමණයට ඉඩ දීමට කුඩා නමුත් සැන් මරිනෝ සම්බන්ධ වී ඇත.” යි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය අපරාධ විශේෂඥයෙක් ලංකා -ඊ-නිව්ස් වෙත අදහස් දැක්වීය.

දේශපාලන පවුල් සහ 'කෙයාර් හෝම්' මගඩිය..

වඩාත්ම කුතුහලය දනවන සොයාගැනීමක් වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු දේශපාලන සහායකයෙකු සම්බන්ධ මගඩියකි.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය යටතේ ඩුබායි හි පදිංචිව සිටින ඔහු සහ ඔහුගේ පවුලේ අය එංගලන්තයේ 'කෙයාර් හෝම්' කිහිපයක් පවත්වාගෙන යන බව වාර්තා වන අතර, ඒවාට අරමුදල් සපයනු ලබන්නේ විදේශ ගිණුම් හරහා ගසාකන ලද මුදල් ය.

විමර්ශන නිලධාරීන් පවසන පරිදි, බ්‍රිතාන්‍යයේ 'කෙයාර් හෝම්' අංශයේ නැවත ආයෝජනයට පෙර, මෙම ගනුදෙනු නාමික අධ්‍යක්ෂවරුන් යටතේ ලියාපදිංචි කර ඇති එක්සත් රාජධානියේ සීමිත වගකීම් සමාගම් (limited liability companies) හරහා විශුද්ධිකරණය කර ඇත.

පසුගිය දශකය තුළ රුසියාව, නයිජීරියාව සහ චීනයේ දූෂිත ප්‍රභූන් විසින් භාවිතා කරන ලද, එක්සත් රාජධානිය පදනම් කරගත් පවුල් ව්‍යාපාර හරහා මුදල් විශුද්ධිකරණයේ ශිල්පීය ක්‍රම ඔහු විසින් භාවිතා කර තිබේ. 

කළු කුහරයක සැඟවූ ඇ. ඩොලර් බිලියන 5 ක අතුරුදන් වූ බදු.. 

ශ්‍රී ලාංකිකයන් සතුව ඇති ප්‍රකාශයට පත් නොකළ, සඟවන ලද වත්කම් සහිත ගිණුම්වල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවිය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරති. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ.

එම අරමුදල් ආපසු ගෙන්වා ගන්නේ නම්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහ විදේශ ආධාර මත යැපීම විශාල ලෙස අඩු කළ හැකිය.

“මෙය දූෂණය ගැන පමණක් නොවේ; එය ජාතික ආර්ථිකය කඩාකප්පල් කිරීම ගැන ය. විදේශ විනිමය අර්බුදය, රුපියල අවප්‍රමාණය වීම සියල්ලම වැඩි වී ඇත්තේ අපගේම පුරවැසියන් ඩොලර් සඟවන ලද වත්කම් සහිත ගිණුම්වල රැස් කරන බැවිනි.” කොළඹ පදනම් කරගත් ආර්ථික විශේෂඥයෙකු ලංකා-ඊ-නිව්ස් වෙත පැවසීය.

නීතිමය සටන..! NPP රජයට මේ අරමුදල් යළි සිය රටට ගෙන්වා ගත හැකිද..?

දූෂණයට එරෙහිව සම්මුති විරහිත සටනක් පොරොන්දු වෙමින් බලයට පත් වූ මාලිමා රජය දැන් එහි දුෂ්කරම අභියෝගයට මුහුණ දී සිටී.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි -Anti–Money Laundering- (AML) සහ විනිමය පාලන නීති තිබුණද, සඟවන ලද වත්කම් සහිත අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම් - Mutual Legal Assistance Treaties (MLATs) යටතේ විදේශීය අධිකරණ බල ප්‍රදේශවල සහයෝගය අවශ්‍ය වේ.

සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සම්බන්ධීකරණය කිරීම සඳහා ඒකාබද්ධ වත්කම් ප්‍රතිසාධන කාර්ය සාධක බලකායක් -Joint Asset Recovery Task Force (JARTF) පිහිටුවීම පිළිබඳව මාලිමා පරිපාලනය ගවේෂණය කරමින් සිටින බව වාර්තා වේ.

NPP ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය:

“ඔබ ජනාධිපති නීතිඥයෙකු, විශ්‍රාමික ලේකම්වරයෙකු හෝ බෞද්ධ භික්ෂුවක් වුවත් කමක් නැත - ඔබට විදේශයන්හි ප්‍රකාශ නොකළ වත්කම් තිබේ නම්, ඔබට යුක්තියට මුහුණ දීමට සිදුවනු ඇත.”

ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී මූල්‍ය අපරාධවල නියැලී සිටින ද්විත්ව පුරවැසියන් සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට එරෙහිව නඩු පැවරීමට බලධාරීන්ට බලය පැවරිය හැකි නව නීති සම්පාදනයට මෙම වසර අගදී අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

සත්‍යය සහ නීති විරෝධී දේ අතර උභතෝකෝටිකය..

කෙසේ වෙතත්, විචාරකයින් අනතුරු අඟවන්නේ නීත්‍යානුකූල විදේශ වත්කම් සහ නීති විරෝධී ඒවා වෙන් කෙරෙන තුනී රේඛාව ගැන ය.

විදේශයන්හි සේවය කරන සමහර ශ්‍රී ලාංකිකයන් ප්‍රේෂණ, ඉතිරිකිරීම් හෝ ව්‍යාපාර ව්‍යාප්තිය වැනි ප්‍රායෝගික හේතූන් මත විදේශ අධිකරණ බල ප්‍රදේශවල ගිණුම් විවෘත කර ඇත.

විමර්ශකයින් අවධාරනය කරන්නේ වත්මන් ලේඛනය සාමාන්‍ය සේවකයින් හෝ විදේශිකයන් නොව දේශපාලන සම්බන්ධතා සහිත වංචනික පුද්ගලයින් සහ රාජ්‍ය නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රකාශ නොකළ සඟවන ලද ගිණුම් ගැන සැලකිලිමත් වන බවයි.

විමර්ශන වලට සම්බන්ධ සිංගප්පූරුවේ විශේෂඥයෙක් මෙසේ පැහැදිලි කළේය:

“වෙනස පැහැදිලියි. මෙම ගිණුම් විදේශ රැකියා හෝ ව්‍යාපාර මෙහෙයුම් සමඟ සම්බන්ධ නොවේ. මේවා අක්‍රිය හෝ අවම වශයෙන් ක්‍රියාකාරී ඒවා වන අතර, ප්‍රකාශ නොකළ ප්‍රාග්ධනය සඟවා තැන්පත් කිරීම සඳහා පමණක් නිර්මාණය කර ඇති බව අපට හොඳින්ම පෙනී යනවා.”

ලේඛන නිරාවරණය කිරීමේ ලංකා-ඊ-නිව්ස් කාර්යය..

අදාල ලේඛන හෙළිදරව් කිරීම ඉදිරි මාස කිහිපය තුළ අදියර වශයෙන් කිරීමට අපේක්ෂා කෙරේ. එය ශ්‍රී ලංකාවේ මූල්‍ය දූෂණයට එරෙහි අරගලයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනවා නියත ය.

සත්‍ය අසත්‍යතාවයන් තහවුරු කිරීම අවසන් වූ පසු, ප්‍රධාන දේශපාලන චරිත සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි අවධානය යොමු කරමින්, ලැබී ඇති ගිණුම් ලැයිස්තුවෙන් සංක්ෂිප්ත උපුටා ගැනීම් ප්‍රකාශයට පත් කිරීමට ලංකා-ඊ-නිව්ස් සහ IFDN සැලසුම් කර තිබේ.

විමර්ශනයට සමීප මූලාශ්‍ර අනුව අවම වශයෙන් හිටපු කැබිනට් අමාත්‍යවරුන් පස් දෙනෙකු, ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට නියමිත පළමු නම් අතර සිටිති.

මෙම හෙළිදරව් කිරීම් ශ්‍රී ලංකාවේ අපරාධ පනත යටතේ වත්කම් අත්හිටුවීමේ නියෝග, ඉන්ටර්පෝල් වෙත ඉල්ලීම් සහ සමහර විට අපරාධ චෝදනා රැල්ලක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිගමනය - සැඟවූ ධනයේ දූපත..

දූෂණ වංචා පැමිණ, ආපසු යන ආකාරය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයෝ  බලා සිටියහ. ඒ සෑම එකක්ම මහජනතාව තව තවත් දුප්පත් කිරීම සහ වැරදිකරුවන් දඬුවම් නොලැබ යහතින් වැජඹෙන ආකාරය ප්‍රදර්ශනය කළහ.

කෙසේ වෙතත්, මෙවර දත්ත මංපෙත ඕනෑවට වඩා පුළුල් ය; මුදල් ඕනෑවට වඩා දෘශ්‍යමාන ය; නිශ්ශබ්දතාවයට විකල්පයක් වීමට ඉඩක් නැත.

දශක ගණනාවක දේශපාලන හවුල්කාරිත්වයෙන් ගොඩනඟන ලද සඟවන ලද වත්කම් සහිත අධිරාජ්‍යයට මුහුණ දීමට මාලිමා රජය සූදානම් වන විට, කොළඹ බල කොරිඩෝව පිළිබඳව එක් ප්‍රශ්නයක් මතු වේ:

ශ්‍රී ලංකාව අවසානයේ එහි සොරකම් කරන ලද බිලියන ගණනක් නැවත ලබා ගනීවිද? නැතහොත් 'ලබූඑන්' සහ 'ඩුබායි' හි සැඟවුණු ගිණුම් දිවයිනේ සදාචාරාත්මක බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරයිද?

කෙසේ වෙතත්, සංඛ්‍යා බොරු නොවේ.
මෙවර ලෝකය බලා සිටී.

-ජාත්‍යන්තර වංචා හඳුනාගැනීමේ ජාලය (IFDN) සමඟ එක්ව ලංකා-ඊ-නිව්ස් විමර්ශන අංශය විසිනි-

ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ 2025 ඔක්තෝම්බර් 06 දා පළ වූ වාර්තාව සිංහලට නැගුවේ,

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-10-07 13:55:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links