-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.07, ප.ව.7.30) ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු සිය නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, සඳුදා (06 වැනි දා) ඉල්ලා අස්වූ අතර, එම සිද්ධිය ප්‍රංශය තවදුරටත් දේශපාලන අර්බුදයකට ඇද දැමූ කම්පන සහගත පියවරක් විය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධාන සගයෙකු වූ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු සති හතරක්වත් ධුරයේ රැඳී සිටියේ නැත. පස්වන ජනරජය ආරම්භ වූ දා සිට කෙටිම කාලයක් සේවය කළ ප්‍රංශ අගමැති වීමේ නින්දිත ගෞරවය සමඟින් ඔහු ඉවත් විය.
වසර දෙකකටත් අඩු කාලයක් තුළ අගමැතිවරුන් පස් දෙනෙකු පත් කිරීමෙන් පසුවත්, ඒ කිසිවෙකුට ස්ථාවර බහුතරයක් ගොඩනගා ගැනීමට නොහැකි විය. මැක්‍රොන් නැවතත් නව අගමැතිවරයෙකු පත් කළහොත්, එම පුද්ගලයා ඔහුගේ පාලනයේ අටවන අගමැතිවරයා වන අතර මේ වසරේ පමණක් පත් කරන තුන්වන අගමැතිවරයා ද වනු ඇත.
රට වෙහෙසට පත්ව ඇති බවටත්, මැක්‍රොන්ට සිය මාර්ගය අහිමි වී ඇති බවටත් මෙය ඉතා පැහැදිලි ලකුණක් වී තිබේ.
කෙසේ වෙතත්, පවතින දේශපාලන අර්බුදයෙන් මිදී රට ස්ථාවර කිරීම සඳහා මාර්ගයක් සොයා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ අවසන් සාකච්ඡාව පවත්වන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉවත්ව යන අගමැති සෙබස්තියන් ලෙකෝර්නුගෙන් ඉල්ලී ය.
අවසාන සාකච්ඡා සඳහා වූ මැක්‍රොන්ගේ ඉල්ලීම, ඉවත්ව යන අගමැති සෙබස්තියන් ලෙකෝර්නු පිළිගෙන තිබේ. එම සාකච්ඡාව බදාදා (08) සවස වන විට අවසන් කිරීමට නියමිතය. මේ පිළිබඳව ඉවත්ව ගිය අගමැති සෙබස්තියන් ලෙකෝර්නු සිය X ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ මෙසේය.
"රටේ ස්ථාවරත්වය සඳහා දේශපාලන බලවේග සමඟ අවසන් සාකච්ඡා පැවැත්වීමට ජනරජයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීම මම පිළිගෙන තිබෙනවා. අවශ්‍ය සියලු නිගමනවලට එළඹිය හැකි වන පරිදි, මෙය කළ හැකිද නැද්ද යන්න බදාදා සවස රාජ්‍ය නායකයාට දැනුම් දෙන්නම්."
මේ අනුව අද (07) දින පෙ.ව. 9 ට, සෙබස්තියන් ලෙකෝර්නු, පාලක සන්ධානයේ පක්ෂ නායකයින් සහ නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම සභාපතිවරුන් වන යාල් බ්‍රවුන්-පිවට් (පුනරුදය, ජාතික සභාව) සහ ජෙරාඩ් ලාර්චර් (LR, සෙනෙට් සභාව) හමුවීමට නියමිත ය.
හිටපු අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වීමේ අර්බුදයට හේතු වූයේ, ආරක්ෂක අමාත්‍ය ධුරයට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ බෲනෝ ලෙ මයර් පත් කිරීමය. මේ වන විට බෲනෝ ලෙ මයර් රජයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර තිබේ. මේ අනුව ජනාධිපති මැක්‍රොන්, ලෙකෝර්නුව නැවත අගමැති ලෙස පත් කිරීමට ඉඩ කඩක් විවර කරගෙන ඇති බවද පෙනේ.
ප්‍රංශ පාර්ලිමේන්තුව නියෝජනය කරන වමට අවශ්‍ය වන්නේ වඩාත් පුළුල් අයවැයක් ඉදිරිපත් කරන පුද්ගලයෙකු අගමැති ලෙස පත් කිරීමයි. නමුත් මැක්‍රොන් එසේ කරනු ඇති බව පැහැදිලි නැත. ඔහු එසේ කළත්, නව අගමැතිට භේදකාරී වමේ සිට ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙනු ඇත.
මේ අතර යුරේසියා සමූහ අවදානම් විශ්ලේෂණ ආයතනය පවසා ඇත්තේ, තවත් නව අගමැතිවරයෙකු පත් කළත්, ඔහුව ද සති කිහිපයක් ඇතුළත බලයෙන් පහ කළ හැකි නිසා නව ව්‍යවස්ථාදායක මැතිවරණයක් නොවැළැක් විය හැකි බවයි.
ඉදිරි දින දෙක තුළ හිටපු අගමැති සෙබස්තියන් ලෙකෝර්නු විසින් සිදු කරන දේශපාලන පක්ෂ සමඟ අවසන් සාකච්ඡාව විසඳුමක් සහිතව සාර්ථකව නිමාවට පත් කර ගැනීමට අසමත් වුවහොත්, ජනාධිපති මැක්‍රොන් විසින් වගකීම් භාර ගෙන, හදිසි මැතිවරණයක් කැඳවීමට බොහෝ දුරට ඉඩ කඩක් පවතී.
එවැනි මැතිවරණයක් මගින් මරී ල පෙන් ගේ අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය (RN) පාර්ලිමේන්තුවේ තම පැවැත්ම ශක්තිමත් කර ගැනීමටත්, ඇගේ අනුගාමික Jordan Bardella (ජෝර්දන් බාර්දෙල්ලා) ට අගමැති වීමේ අවස්ථාව පවා ලැබීමටත් හේතු විය හැකිය.
කප්පාදු පියවරයන් සහ එදිනෙදා යථාර්ථයන්ගෙන් වෙන්ව සිටින බව පෙනෙන මැක්‍රොන් රජය කෙරෙහි මහජන කලකිරීම තවත් ගැඹුරු වී තිබේ. පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය මැක්‍රොන්ට තවමත් දිරවා ගත නොහැකි බව පෙනේ. ප්‍රංශය මැක්‍රොන්වාදයෙන් ඉවත් වී ඇති බවට එමඟින් පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත.
2024 දී පැවති අවිනිශ්චිත මැතිවරණවලින් කිසිදු පක්ෂයකට සම්පූර්ණ බහුතරයක් නොලැබුණු දා සිට ප්‍රංශයට වැළඳී ඇති අංශභාගය, සෙබස්තියන් ලෙකෝර්නු ගේ ඉල්ලා අස්වීමෙන් තවත් අවධාරණය වී තිබේ.
ජනාධිපති මැක්‍රොන් දැන් කොන් වී සිටින අතර, ඔහු ට දැන් ඉතිරිව ඇති විකල්ප සීමිතය. හදිසි මැතිවරණයක් කැඳවීම එකකි. ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරණයක් ආරම්භ කිරීම අනෙක ය. බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ ඔහු පාර්ලිමේන්තු මැතිවරණයක් තෝරා ගනු ඇති බවයි. එය දේශපාලන අවදානම අඩු පියවරකි ය. කෙසේ වෙතත්, සමහරු තුන්වන මාර්ගයක් ද පෙන්වා දෙති. එනම් සන්ධානයක් නැවත ගොඩනැගීමේ උත්සාහයක් ලෙස මෙවර වමේ හෝ අන්ත දක්ෂිණාංශිකයෙන් තවත් අගමැතිවරයෙකු පත් කිරීම ය. නමුත් සන්ධානයේ අසාර්ථක අත්හදා බැලීම් රාශියකින් පසුව, කිසිවෙකුට තවමත් එය කළ හැකිද යන්න පැහැදිලි නැත.
බිඳෙනසුලු සන්ධාන මත යැපෙන රජයක, සෑම දැති රෝදයක්ම වැදගත් විය. බොහෝ දුරට එකම අමාත්‍යවරුන් රඳවා ගත් කැබිනට් මණ්ඩලයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය 12 කට පසු, ලෙකෝර්නු දේශපාලන වර්ණාවලිය පුරා ප්‍රතික්‍රියා වලට මුහුණ දුන් අතර, පසුගිය මැතිවරණයේදී සැලකිය යුතු ජයග්‍රහණ ලබා ගත් වමේ සහ දකුණේ පක්ෂ දෙකෙන්ම එය හෙළා දකින ලදී.
ප්‍රංශ දේශපාලන අස්ථාවරත්වය රටේ ආර්ථිකයට නරක ආරංචියක් වී ඇත. සඳුදා (06) උදෑසන විවෘත වන විට පැරිස් කොටස් හුවමාරුව 1.7% කින් පහත වැටුණු අතර, ඉදිරි අයවැය පිළිබඳව කනස්සල්ල වැඩි විය.
යුරෝපීය ඉලක්කය මෙන් දෙගුණයක් පමණ වන ජාතික ණය මට්ටම්වලින් දැනටමත් වෙහෙසට පත්ව සිටින ප්‍රංශ ආර්ථිකය, පසුගිය සැප්තැම්බර් මාසයේදී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් විසින් පහත හෙලනු ලැබීය.
රජය ලබන සතියේ කෙටුම්පත් අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. දැන් එම කාල සීමාව සපුරාලිය නොහැකි බව පෙනේ.
ප්‍රංශය නව ව්‍යවස්ථාදායකයක් සඳහා මැතිවරණයකට ගියහොත්, ප්‍රතිඵලය 2024 ගිම්හානයේ පැවති අවසන් මැතිවරණවල ප්‍රතිඵලවලට වඩා බෙහෙවින් වෙනස් නොවනු ඇත.
ප්‍රංශයේ දක්ෂිනාංශයේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ නායක බෲනෝ රිටේල්ලියෝ, අමාත්‍යවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් කෝපයෙන් ප්‍රතිචාර දක්වා තිබුණි. මැක්‍රොන්වාදය රට නැවත වරක් අවුල් ජාලයකට ඇද දමා ඇති බව, ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ ප්‍රකාශක ආතර් ඩෙලපෝර්ට් සඳුදා උදෑසන ප්‍රකාශ කළේය.
මේ අනුව මේ වන විට ප්‍රංශයේ "මැක්‍රොන්වාදය" තියුණු අර්බුදයකට ගමන් කොට තිබේ.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-10-07 14:08:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි