~

සජිත් පාසැල්වලට ස්මාර්ට් බෝඩ් බෙදූ 'සක්වල' වැඩ සටහනේ බරපතල දූෂනයක්..! සිංගර් සමාගමත් සම්බන්ධයි..!

-විශේෂ ලියුම්කරුවෙකු විසින් ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයට සපයන ලද ලිපියක් සිංහලට නැගුවේ චන්ද්‍රප්‍රදීප්-

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.12, පෙ.ව‍.10.05) ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසැල් වල පන්ති කාමරවලට ඩිජිටල් ස්මාර්ට් බෝඩ් බෙදූ සජිත්ගේ 'සක්වල' වැඩසටහනට, මූල්‍ය විෂමාචාර, වැඩියෙන් යෙදූ මිල ගණන් සහ ආයතනික දූෂන පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ අනුග්‍රහය යටතේ දියත් කරන ලද “පාසල් සඳහා සක්වල ස්මාර්ට් බෝර්ඩ්” වැඩසටහන, පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් හරහා අඩු වරප්‍රසාද ලත් පාසල් ස්මාර්ට් පුවරු වලින් සන්නද්ධ කිරීමට අදහස් කරන ලදී. නමුත්, අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නන් දැන් හෙළි කරන ගිණුම් වාර්තා වලින් පෙන්වන්නේ මෙම ව්‍යාපෘතිය ලාභදායී කොමිස් ක්‍රමයක් බවට පත්ව ඇති බවත්, ඊට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ඉහළ නිලධාරීන් සහ සමගි ජන බලවේග (SJB) යේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවයි.

වැඩියෙන් දැමූ මිල ගණන් සහ කොමිස්..

වැඩසටහනට සම්බන්ධ මූලාශ්‍රවලට අනුව, සක්වල වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධනගේ ප්‍රධානත්වය යටතේ ඉන්දික ගුණතිලක සහ අමිල සුරවීර දෙදෙනා විසිනි.

මහේෂ් සහ ඉන්දික යන දෙදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ වෙති. සජිත් ප්‍රේමදාස ද එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙකි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිංගර් හි අභ්‍යන්තර තීරණ ගැනීම කෙරෙහි බලපෑම් කිරීම සඳහා ඉන්දික විසින් හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ සමඟ ඇති සම්බන්ධතා භාවිතා කළ බවට චෝදනා එල්ල වේ.

ඉන්දිකගේ මඟ පෙන්වීම යටතේ, අමිල  විසින්, සජිත් ප්‍රේමදාස හරහා දායක වන පරිත්‍යාගශීලීන්ට ස්මාර්ට් පුවරු සඳහා වටිනාකමට වඩා වැඩියෙන් යෙදූ මිල ගණන් ලබා දුන් බවට චෝදනා එල්ල වේ. එලෙස වැඩියෙන් යෙදූ මිල "කොමිස්" ලෙස සජිත් ප්‍රේමදාස වෙත ආපසු ගෙවන ලද බව අභ්‍යන්තර තොරතුරුකරුවෝ කියති. 

සිංගර් සමාගම සැපයූ එක් ස්මාර්ට් බෝඩ් එකක සැබෑ මිල රු. 127,925 සිට රු. 150,500 දක්වා වූ නමුත්, රු. 250,000 සිට රු. 325,000 දක්වා මිල වැඩියෙන් යොදා ඉදිරිපත් කර ඇත.  සජිත්ගේ සක්වල වැඩ සටහනේ එක් ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් වැඩියෙන් යොදන ලද සම්පූර්ණ මුදල් ගෙවන ලද අතර, අනෙකුත් පරිත්‍යාගශීලීන්ට ද ඒ හා සමානවම මිල වැඩියෙන් යෙදූ  ඉන්වොයිස් සිංගර් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ. 

විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ තෙවන පාර්ශවීය විගණනයක් නොතිබූ බැවින්, වැඩියෙන් යෙදූ මිල ගණන් වල අක්‍රමිකතා පාලනයකින් තොරව සිදු විය.

සිංගර් අභ්‍යන්තර ගේම් සහ ව්‍යාජ ගිණුම්කරණය

සිංගර් සමාගමේ අභ්‍යන්තර ගිණුම් වාර්තා වල ද විෂමතා පෙන්නුම් කරයි. බාහිරට වැඩියෙන් යෙදූ මිල ගණන් ලෙස රු. 325,000 ලෙස ඉදිරිපත් කළද, අභ්‍යන්තර වාර්තාවල ඉඳහිට දක්වා ඇත්තේ එක් බෝඩ් එකක මිල රු. 339,999, රු. 349,999 හෝ රු. 399,984 වැනි වෙනස් වෙනස් ලෙස තවත් මිල වැඩි කළ ගණන් ය. 

හිටපු සිංගර් විධායක නිලධාරියෙකු පවසන්නේ මෙම “විචලනයන්” හිතාමතාම අලෙවිකරණ කාර්ය සාධන මිනුම් දඬු ඉහළ නැංවීම සඳහා යොදා ඇති අතර,  එමඟින් කාර්ය සාධනය පාදක ප්‍රසාද දීමනා සඳහා කළමනාකරුවන් සුදුසුකම් ලබා ඇති බවයි. “මෙම ස්මාර්ට් බෝඩ් අලෙවිකරණය ඔවුන් ස්මාර්ට් වාසියක්” බවට පත් කරගෙන ඇත. වැඩසටහනට 'දේශපාලන ආශිර්වාදයක්' තිබූ නිසා කිසිවෙකු සංඛ්‍යා ගැන ප්‍රශ්න කිරීමට කැමති වී නැත.

සිංගර් සමාගමේ මෙම වංචනික හැසිරීම ඔප්පු වුවහොත්, කොළඹ කොටස් වෙළඳපොලෙහි (CSE) හෙළිදරව් කිරීමේ නීති යටතේ සිංගර් සමාගම ආයතනික පාලනය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ඇත.

ගිණුම්ගත නොකළ අරමුදල් සහ අත්හිටුවන ලද ගිණුමක්..

2024 දී ආණ්ඩුව වෙනස් වූ විට 'සක්වල' වැඩසටහන හදිසියේම නතර කරන ලදී.  ඒ වන විට, සිංගර් සමාගම විසින් වියදම් නොකළ හෝ පරිත්‍යාගශීලීන්ගේ අතිරික්ත  අරමුදල් ලෙස රු. 16, 687, 664 ක ශේෂයක් තිබූ බවත් එම අරමුදල් සහිත ගිණුම අත්හිටුවන ලද බවත් ලංකා ඊ නිව්ස් සතු වාර්තා වල දැක්වේ. 

අවිධිමත් ගණුදෙනු ලෙස සඳහන් මෙම අරමුදල් සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට සිංගර්  සමාගම විසින් ආපසු නොගෙවන ලද අතර සජිත් ප්‍රේමදාස ද ඒ ගැන මුල දී ප්‍රශ්න කර නැත.  නමුත් අභ්‍යන්තර ආරවුල් වලින් පසුව, SJB ජ්‍යෙෂ්ඨයෙකු සිංගර් හි ප්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයෙකු අමතා සිංගර් සමාගම "සදාචාර විරෝධී සහ වෘත්තීය නොවන භාවිතයක් " සිදුකර ඇතැයි චෝදනා කර තිබේ. 

විවෘත පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට ඉන්දික ගුණතිලක කාරණය අවතක්සේරු කිරීමට උත්සාහ කර තිබේ. ඉන්දික ගුණතිලක පවසා ඇත්තේ එය  ගිණුම් තැබීමේ 'සුළු ගැටළුවක්' බවයි. නමුත් සිංගර් සමාගම පෞද්ගලික සමාගමක් නොවේ - සිංගර් යනු කොළඹ කොටස් වෙළෙඳ පොලෙහි ආයතනික පාලන සංග්‍රහයට බැඳී ඇති ලැයිස්තුගත සමාගමකි.

පහත් තැනින් ගලා යෑම..

පීඩනය වැඩි වීමත් සමඟ, සිංගර් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අමිල සුරවීර රැකියාවෙන් ඉවත් කළ බව වාර්තා වන අතර, ඔහු අක්‍රමිකතා සඳහා තනිකරම වගකිව යුතු බව පැවසුවේ ය. ඔහු හුදෙක් ඔහුගේ ඉහළ නිලධාරීන්ගේ සෘජු උපදෙස් අනුගමනය කළ බව සෙසු නිලධාරීහු තර්ක කරති.

“මෙය වැරදි සියල්ල පහත් තැනින් ගලා යෑමේ උදාහරණයක්. අමිල සුරවීර මිල නියම කළේ නෑ - නියෝග ඉහළින් ආව ඒවා”

නීතිඥයන්ට අනුව, මෙම තීරණය සාධාරණ ක්‍රියාවලිය සහ රැකියා ආචාර ධර්ම පිළිබඳ සමාගමේ යුතුකම උල්ලංඝනය කිරීමක් විය හැකිය.

වැට් බදු වංචාවක්..

චෝදනා එල්ල වන කොමිස් ගෙවීමට අමතරව, ගිණුම්කරණ ලේඛනවලින් පෙනී යන්නේ පරිත්‍යාගශීලීන්ට පෙන්වන ලද මිල වැඩියෙන් යෙදූ විකුණුම් මිල ගණන් මත නොව, ස්මාර්ට් පුවරු වල සැබෑ පිරිවැය මත පමණක් වැට් බදු ගෙවා ඇති බවයි. බදු උපදේශකයින් පවසන්නේ මෙම විෂමතාවය ශ්‍රී ලංකා බදු නීතිය යටතේ වැට් බදු පැහැර හැරීමක් විය හැකි අතර එය හිතාමතා සිදුකරන ලද අපරාධයක් වනු ඇත.

සිංගර් සමාගමේ නිල ස්ථාවරය

'සක්වල' වැඩසටහන යටතේ ස්මාර්ට් පුවරු 385 ක් අදියර දෙකකින් ලබා දුන් බව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී තහවුරු කළේය:

පළමු අදියර (2021 දෙසැම්බර් - 2023 නොවැම්බර්)
රු. 175,000 බැගින් ස්මාර්ට් බෝඩ් 46 ක් = මුළු මුදල රු. 8,050,000

දෙවන අදියර (2023 නොවැම්බර් - 2024 ජූලි)
රු. 250,000 බැගින් ස්මාර්ට් බෝඩ් 43 ක්
රු. 325,000 බැගින් ස්මාර්ට් බෝඩ් 296 ක් = මුළු එකතුව: රු. 106,950,000

අදියර දෙකේ ම ඒකාබද්ධ වියදම රුපියල් මිලියන 115 ක් ලෙස සඳහන් විය.

අදියර 2 යටතේ ලබන්නන්ගෙන් අත්සන් කරන ලද පත්‍රිකා 326 ක් ලබාගෙන ඇති බවත්, තවත් 13 ක් ඉතිරිව ඇති බවත් සිංගර් තවදුරටත් පැවසීය. අදියර 1 හි ලේඛන, සංරක්ෂණය කර ඇති අතර "නැවත ලබා ගැනීම සඳහා අමතර කාලයක් අවශ්‍ය" බව ඔවුන් පැවසීය. 

සක්වල වැඩසටහන යටතේ සමහර බෙදාහැරීම් “පාසල් සඳහා ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය” යටතේ සටහන් කිරීම වෙනුවට, පවතින පාරිභෝගික ගිණුමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් වෙත “නොදැනුවත්ව බැර කර” ඇති බව සමාගම පිළිගත්තේය. විෂමතාවයට හේතුව තීරණය කිරීම සඳහා අභ්‍යන්තර විගණන විමසුමක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

“සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී පූර්ණ විනිවිදභාවය සහ වගවීම සඳහා කැපවී සිටින බව අපි ඔබට සහතික වෙමු,” යි ද සමාගම සිය ප්‍රකාශයේ සඳහන් කරන ලදී.

විමර්ශනයක් සිදුකළ යුතුය..

අත්හිටුවන ලද ගිණුමේ සැබෑ ශේෂය රුපියල් මිලියන 16.6 ඉක්මවිය හැකි බව අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නන් කියා සිටින අතර, වැඩසටහන වසා දැමීමෙන් පසු පරිත්‍යාගහීලීන්ගෙන් ලද අරමුදල් ඉවත් කර ඇති බවට ද චෝදනා කරයි. සිවිල් සමාජ නිරීක්ෂකයින් දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (SEC) ඉල්ලා සිටින්නේ සිංගර් හි අභ්‍යන්තර පාලනයන් සහ සජබ හා සම්බන්ධ අරමුදල් රැස් කිරීමේ යාන්ත්‍රණය යන දෙකම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.

“මෙය හුදෙක් දේශපාලන අපකීර්තියක් නොවේ. එය මහජන මුදල් සහිත සමාගම් පක්ෂ දේශපාලන ව්‍යාපෘතිවල නිරත වන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්.  පරිත්‍යාගශීලීන්ගේ පුණ්‍ය චේතනනාවන් සහ දූෂණය අතර රේඛාව අතුරුදහන් වූ විට ප්‍රතිලාභ ලබන්නේ කාටද යන්න ප්‍රශ්නයක්.."

සිංගර් ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සහ ඉන්දික ගුණතිලකට එල්ල වී ඇති 'සක්වල චෝදනා' සම්බන්ධයෙන් 'සක්වල' කරේ තියාගෙන ගිය සජිත් ප්‍රේමදාස මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර නැත. 

'සක්වල' ස්මාර්ට් බෝඩ් දූෂනයේ දී පරිත්‍යාගශීලීන්ට වැඩියෙන් පෙන්වන ලද මුදල් ආපසු කොමිස් ගෙවීම් ලෙස ගියේ කාට ද?

-විශේෂ ලියුම්කරුවෙකු විසින් ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයට සපයන ලද ලිපියක් සිංහලට නැගුවේ

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-10-12 04:41:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links