~

අහෝ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය; ඔබ ගැන ලැජ්ජයි..! ශ්‍රී ලංකාවේ නීතිමය අහංකාරයේ කුණු වූ සංස්කෘතිය..!

-ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයට විශේෂ ලියුම්කරුවෙකු ලියූ ලිපියක් සිංහලට නැගුවේ, චන්ද්‍රප්‍රදීප් විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.12, ප.ව‍.11.30) ශ්‍රී ලංකාවේ 'නීතිමය අහංකාරය' පිළිබඳ බොහෝ කතා සේම එය ද ආරම්භ වූයේ කුඩා ක්‍රියා දාමයකිනි. පොලිස් නිලධාරියෙකු තම රාජකාරිය කරමින් සිටියේ ය.

කැපී පෙනෙන වෙනසක් නොතිබූ පසුගිය සිකුරාදා උදෑසන, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ගේට්ටුව අසල අධිකරණ පරිශ්‍රය තුළ සිටගෙන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු තම අත්‍යවශ්‍ය රාජකාරිය ඉටු කරමින් සිටියේය. අධිකරණ පරිශ්‍රය තුළ වාහන පාලනය කිරීම එකී රාජකාරිය විය. මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත රැඳවියන් රැගෙන බන්ධනාගාර බස් රථයක් ළඟා වෙමින් තිබුණි. දිගුකාලීනව පවතින ආරක්ෂක ප්‍රොටෝකෝලයට අනුව, බන්ධනාගාර බස් රථයට පළමුව ගමන් කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුව තිබුණි. සියලු දෙනාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා, බන්ධනාගාර බස් රථය අධිකරණ පරිශ්‍රයේ නැවැත්වීමට නියමිත ස්ථානයේ ගාල් කිරීමට උත්සාහ කරමින් තිබූ මෝටර් රථයක් නැවැත්වීමට අත එසැවීය.

එම මෝටර් රථය තුළ සිටියේ අපරාධකරුවෙකු හෝ ඉහළ පෙළේ නිලධාරියෙකු නොව, නීතිඥයෙකු වන ගුණරත්න වන්නිනායක ය. ඔහු තම කළු කබාය නිසා තමා නීතියට ඉහළින් සිටින බව විශ්වාස කළ මිනිසෙකි.

ගැටුමේ මොහොත..

ඊළඟට සිදු වූ දේ ශ්‍රී ලංකාවේ නීති සහ මාධ්‍ය කවයන් තුළ වෛරල් වී ඇත. එම මෝටර් රථයේ රියැදුරු වන්නිනායක නොවීය. රියැදුරු ඔහුගේ කණිෂ්ඨ නීතිඥයෙකු විය. වන්නිනායක සිටියේ රියැදුරුට යාබද ඉදිරි අසුනේ ය. තම ගමන ප්‍රමාද වීම ගැන කෝපයට පත් නීතිඥ වන්නිනායක, එම වාහනයෙන් බැස පොලිස් නිලධාරියාට මුහුණ දුන්නේය. තත්වය සමනය කිරීමට උත්සාහ කළ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඉදිරිපිට, නිසි ප්‍රොටෝකෝලය අනුගමනය කිරීමට උත්සාහ කළ දුප්පත් පොලිස් නිලධාරියාට එකදු පොලිස් නිලධාරියෙකු හෝ සහාය නොදැක්වීය. පසුව පොලිස් නිලධාරියාගේ පොලිස් නිල ඇඳුම ඉවත් කරන ලදී. කිසිදු පරීක්ෂණයකින් තොරව වුවද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ඇසින් දුටු සාක්ෂිකරුවන් පසුව කළ ප්‍රකාශවලින් සහ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ නීතිඥ වන්නිනායක  සිංහල භාෂාවේ අමු තිත්ත කුණුහරුප භාවිතා කරන බවත්, මාළු වෙළඳපොළක් පවා ලැජ්ජාවට පත් කරන අපහාසාත්මක හඬින් කොස්තාපල්වරයාට බැණ වදින බවත්ය. ඔහුගේ පණිවිඩය නිශ්චිත විය.

"මම නීතිඥයෙක්. උඹ පොලිස් කොස්තාපල් පමණයි. අපි උසස්. උඹ නිකමෙක්." යන්න ය.

වන්නිනායක දෑත් වනමින්, ඇඟිල්ල උලුක්කරමින්, මුළු අධිකරණ සංකීර්ණයේම අවධානය තමන් වෙත යොමු කරන තෙක් කෑ ගැසුවේය. නීතිඥයෝ, පොලිස් නිලධාරීහු සහ මහජනතාව තිගැස්සී නිහඬව සිටියහ. අධිකරණයේ නිලධාරියෙකු යැයි කියනු ලබන කළු පැහැති කබායක් පැළඳ සිටි නීතිඥවරයා යුක්තියේ ආරක්ෂකයෙකු ලෙස නොව මහ පාරේ මැරයෙකු ලෙස ක්‍රියා කළේය.

ගැටුම උත්සන්න විය. එක් අවස්ථාවක දී, නීතිඥවරයා චෝදනා කළේ පොලිස් නිලධාරියා "තම කණිෂ්ඨ නීතිඥයාට පහර දුන්" බවයි. එය සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු විසින් දැඩි ලෙස විවාදයට ලක් කරන ලද ප්‍රකාශයකි. එහෙත්, සුළු කාලයක් ඇතුළත, නීතිඥවරයා නොව, පොලිස් කොස්තාපල්වරයාට මාංචු දමා   අත්අඩංගුවට ගෙන, මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර, රිමාන්ඩ් භාරයට ද පත් කරන ලදී. නීතිඥවරයා නිදහස් විය.

සියල්ලටම වඩා ලැජ්ජා සහගත සිදුවීම කරළියට එන්නේ ඉන් අනතුරුව ය.

නීතිඥ සංගමය සිද්ධියට ඇතුළු විය..

නීති වෘත්තිය තුළ ආචාර ධර්ම, අඛණ්ඩතාවය සහ විනය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කරන ලද ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) “පොලිසිය විසින් බලය යෙදවීම” හෙළා දකිමින් සහ “නීතිඥයෙකුට අයුතු ලෙස සැලකීම” පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලමින් නිල ප්‍රකාශයක් නිකුත් කළේය.

එම ප්‍රකාශයේ එක වචනයක්වත් නීතිඥවරයාගේ හැසිරීම හෙළා දුටුවේ නැත. නමුත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ අඳුරු දිනයක් වන, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දුප්පත් පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් පෙනී නොසිටින ලෙස සමස්ත නීතිඥයින්ගෙන්ම නිහඬව ඉල්ලා සිටියේ ය.

නිල ප්‍රකාශයේ එක අකුරකින් හෝ වන්නිනායක නීතිඥවරයාගේ පහත් භාෂාව ගැන සඳහන් කෙරුණේ නැත. තමන්ගේම කෙනෙකු විසින් නීති වෘත්තියට ගෙන එන ලද අපකීර්තිය ගැන කෙළබිඳක් හෙලුවේ නැත.

ඒ වෙනුවට, නීතිඥ සංගමය වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා ඉදිකරන ලද බලකොටුවක් මෙන්, තම සාමාජිකයා ආරක්ෂා කෙළේ ය.  එය "වෘත්තීය ගෞරවය" සහ “සාමාජිකයින්ගේ ආරක්ෂාව” වැනි වචන වලට මුවා වී පිටුපස සිටි වරදකාරී නීතිඥවරයා ආරක්ෂා කළේය.

සරලව කිවහොත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිල ප්‍රකාශය නින්දා සහගත ය.

වරප්‍රසාද පිළිබඳ සංස්කෘතියක්..

මෙම සිදුවීම හුදකලාව සිදු වූවක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ නීති සමාජය ආසාදනය කර ඇති “ගැඹුරින් මුල් බැසගත් අහංකාර සංස්කෘතියක”  රෝග ලක්ෂණයකි. බොහෝ නීතිඥයින් (සියල්ලන්ම නොවේ) තමන් වෙනම පන්තියක අය ලෙස හැසිරෙති. තමන් කිසිවෙකුට වග කිව යුතු නැති, තමන්ට අත තැබිය නොහැකි,  විශේෂ සැලකිලි ලැබීමට හිමිකම් ඇති අය ලෙස හැසිරෙති. 

ඔවුන් පොලිස් නිලධාරීන්ට බුරති, අධිකරණ කාර්ය මණ්ඩලයට හිරිහැර කරති, (නවක මහේස්ත්‍රාත්වරියන්ට 'පාට් එක' දමති) කනිෂ්ඨ නීතිඥයින් පහත් කරති. ඔවුන් කැමති ඕනෑම තැනකට කඩා වැදී, ඔවුන්ගේ හැසිරීම ප්‍රශ්න කරන ඕනෑම කෙනෙකුට සමච්චල් කරති. යුක්තියේ සහ ගෞරවයේ සංකේතයක් වූ කළු කබාය, අහංකාරය සහ දඬුවම් නොලැබීම සඳහා පලිහක් බවට පත්ව ඇත.

එවැනි හැසිරීමක් අභියෝගයට ලක් වූ විට ඔවුන්, නීතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීමට වඩා තම සාමාජිකයින්ගේ ආත්මාර්ථකාමිත්වය ආරක්ෂා කිරීමට වැඩි උනන්දුවක් දක්වන සංවිධානය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය BASL පිටුපස සැඟවෙති.

නීතිඥ වන්නිනායක ආකාරයෙන් පොලිස් නිලධාරියෙකු රාජකාරියේ දී හැසිරුනේ නම්, ඔහු පරීක්ෂණය අහවර වන තෙක් සේවය අත්හිටුවනු ඇත. සිවිල් රාජ්‍ය නිලධාරියෙකු අධිකරණයේ සාමාජිකයෙකුට මේ ආකාරයෙන් කෑ ගැසුවේ නම්, ඔහුට ද  විනය පරීක්ෂනයකට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් අධිකරණ පරිශ්‍රයක දී නීතිඥයෙක්..? අනේ නෑ; නීතිඥයෙක් "විශේෂ" කෙනෙක්...!

BASL හි සදාචාරාත්මක බිඳවැටීම..

නීතිඥ සංගමයේ ප්‍රතිචාරය හුදෙක් අඳ ගොලු බිහිරි බවක් පමණක් නොවේ. එය සදාචාරාත්මක බිඳවැටීමකි. BASL වෘත්තීය ආචාර ධර්මවල ආරක්ෂකයා ලෙස ක්‍රියා කරනවාට වඩා, "වරප්‍රසාද ලත් කල්ලියක්" බවට පත්ව ඇත. නීතිඥයින්ගේ හැසිරීම කෙතරම් පිළිකුල් සහගත වුවත්, ඔවුන්ව ප්‍රශ්න කිරීමකින් තොරවම ආරක්ෂා කරන තක්කඩි කණ්ඩායමක් බවට BASL පත්ව ඇත. 

මේ මගින් BASL රටට ලබා දෙන පණිවිඩය කුමක්ද?

* පොලිස් නිලධාරියෙකුට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදීමට නීතිඥයෙකුට  හැකි නමුත් නීතිඥවරයා කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ දීමට අවශ්‍ය නොවන බව?

* කළු කබායක් සහ වෘත්තියක යෙදීමට බලපත්‍රයක් ඇති මිනිසෙකුගේ රථයකට තම රාජකාරිය ඉටු කරන කොස්තාපල්වරයෙකු බාධා කළ පමණින් කොස්තාපල්වරයා රිමාන්ඩ් භාරයට පත් කළ හැකි බව?

* උසාවිය තුළ සද්දේ දැමීමට හැකි හඬට දැන් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය  නැමෙන බව?

නීතිඥවරයාගේ අශික්ෂිත හැසිරීම සම්බන්ධයෙන් BASL හි නිහඬතාවයම, ඔවුන්ට එරෙහි චෝදනා පත්‍රයකි. "යුක්තිය සහ ගෞරවය" වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටින සංගමයක් ඔවුන්ගේ කුහකකමක් හෙළි කර තිබේ. පොලිසියට චෝදනා එල්ල වන සිද්ධියක දී, BASL අයිතිවාසිකම් ගැන කෑගසයි; නීතිඥයින් වැරදි ලෙස හැසිරෙන විට, BASL නිදහසට කරුණු කියයි; හරිම අපූරුයි.!

නීතිඥයින්ගේ "දිව්‍යමය අයිතිය" පිළිබඳ මිථ්‍යාව..

මෙම අපකීර්තිමත් සිද්ධියේ හදවතේ ඊටත් වඩා භයානක අදහසක් තිබේ. එනම් "නීතිඥවරුන්ට දිව්‍යමය අයිතියක් තිබේ" යන මිථ්‍යාව යි.

නීතිඥ සංගමයේ සමහර සාමාජිකයින් අවංකවම විශ්වාස කරන්නේ ඔවුන් සේවය කරන වෘත්තීය සාමාන්‍යයට වඩා ඉහළින් සිටින බවයි. ඔවුන් පොලිස් නිලධාරීන්ට කතා කරන්නේ සේවකයින්ට අමතන ආකාරයට ය. නීති ආධාර පතා පැමිණෙන සාමාන්‍ය පුරවැසියන් සමච්චලයට ලක් කරති. ඔවුන්ගේ උපාධි සහ තානාන්තර ඔවුන්ට 'විනීතභාවයෙන් නිදහස් වීමට' ලබා දෙන බලපත්‍රයක් යැයි ඔවුහු සිතති.

නමුත් ඕනෑම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නා පරිදි, සත්‍යය නම් මෙයයි: නීතිඥයෙකු යනු 'අධිකරණයේ නිලධාරියෙකි', ඔහු 'නීතියේ ස්වාමියෙකු' නොවේ.

ඔහු වෙනත් ඕනෑම අයෙකු මෙන් පුරවැසියෙකි. එකම නීතිරීතිවලට යටත් වේ. එකම රාජකාරිවලින් බැඳී සිටින අතර එකම යුක්තියට පිළිතුරු දිය යුතුය.

නීතිඥයෙකු ප්‍රසිද්ධියේ පොලිස් නිලධාරියෙකුට නින්දා කරන විට, ඔහු තමාව පමණක් ලැජ්ජාවට පත් නොකරයි; ඔහු මුළු නීති වෘත්තියම පහතට ඇද දමයි. වෙහෙස නොබලා වැඩ කරන සෑම නීතිඥයෙක් ව ම, සාධාරණත්වය සඳහා සටන් කරන සෑම නීතිඥයෙක් ව ම, යුක්තිය ආරක්ෂා කිරීමට සිහින දකින සෑම නීති  ශිෂ්‍යයෙක් ව ම, පහතට ඇද දමයි. 

පොලිස් නිලධාරියාට සිදු කළ නින්දාව..

සිද්ධියේ මානව කේන්ද්‍රීය කාරණය අපට අමතක කළ නොහැකි ය. එම කේන්ද්‍රයේ සිටින කොස්තාපල්වරයා නිල ඇඳුමින් සැරසුණු මිනිසෙකි. ඔහුගේ එකම "අපරාධය" රාජ්‍ය සේවකයෙක් ලෙස ඔහුගේ රාජකාරිය කිරීම පමණක් විය. ඔහු නීති රීති අනුගමනය කළේය. රැඳවියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේය.  ප්‍රොටෝකෝලය පිළිපැදීම සහතික කළේය. ඒ සඳහා ඔහුට බැණ වැදුණි. අපහාස කෙරණි. අවසානයේ සිරගත කරන ලදී.

නීතිය ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් මිනිසෙකුට එයට කීකරු වීම නිසා අපරාධකරුවෙකු ලෙස සැලකීමට වඩා විශාල නින්දාවක් තිබිය හැකිද?

* කොස්තාපල්වරයාගේ ගෞරවය ඉරා දැමූ විට BASL හි හඬ කොහේද?
* නීතිඥවරයාගේ අපහාසාත්මක වීඩියෝව අන්තර්ජාලයේ සංසරණය වූ විට BASL හි සදාචාරාත්මක සළුව කොහේද?
* ජාතිය ඉදිරියේ යුක්තිය සමච්චලයට ලක් වූ විට BASL හි කෝපය කොහේද?

අධිකරණයේ නිහඬතාවය..

සිද්ධිය ගැන කලකිරීමේ තවත් ස්ථරයක් තිබේ: එනම් අධිකරණයේ නිහඬතාවය යි. තමන්ගේම පරිශ්‍රය තුළ එවැනි හැසිරීම් දකින විනිසුරුවන් නිෂ්ක්‍රීයව නොසිටිය යුතුය. අධිකරණ ශාලාවක් යනු කිසිවෙකුගේ ආත්මාර්ථකාමීත්වය සඳහා ක්‍රීඩා පිටියක් නොවේ. නීතිඥයෙකු අධිකරණ පරිශ්‍රයක් තුල පොලිස් නිලධාරියෙකුට අපහාස කරමින් නින්දා කරන විට, එය අධිකරණයේ බලාධිකාරියට සෘජු අපහාසයකි.

මහේස්ත්‍රාත්වරුන් ස්ථිරව ක්‍රියා කළ යුතුය. එක් වෘත්තියක් සමඟ තවත් වෘත්තියකට එරෙහිව පැත්තක් නොගෙන, සමස්ථ අධිකරණ පද්ධතියේම අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතු ය.

ජාත්‍යන්තර ප්‍රජාවේ කම්පනය..

මෙම කතාව දැන් ශ්‍රී ලංකාවේ සීමාවෙන් ඔබ්බට ගොස් ඇත. රාජ්‍ය තාන්ත්‍රිකයින්, නීති නිරීක්ෂකයින් සහ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම්, BASL වැනි වෘත්තීය ආයතනයක් වෘත්තීය නීතිඥයෙකුගේ එවැනි හැසිරීමක් ආරක්ෂා කරනු ඇතැයි අවිශ්වාසය පළ කර ඇත. අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල දී නම් පොලිස් නිලධාරියෙකුව වාචිකව අපයෝජනය කරන නීතිඥවරයෙකුට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගැනීම, විමර්ශනයන් අහවර වන තෙක් වෘත්තීය අත්හිටුවීම සහ අවසානයේ සේවයෙන් පහ කිරීම පවා සිදුවනු ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ 'සහජ බුද්ධිය' වූයේ දඬුවම් කිරීමක් නොව දඬුවමින් ආරක්ෂා කිරීමට ය.

වෘත්තීය නිල සංගමයක එවැනි ද්විත්ව ප්‍රමිතීන් ශ්‍රී ලාංකික වෘත්තීය ආයතනවල හදවතේ ඇති කුණුවීම හෙළි කරයි. ජාත්‍යන්තර ප්‍රජාව එහිදී කළු කබා සහ දේශපාලන තනතුරු දරන අයගෙන් හැර අන් සියල්ලන්ගෙන් වගවීම ඉල්ලා සිටී.

ප්‍රතිසංස්කරණයන්ගේ අවශ්‍යතාවය..

මෙම සිදුවීම හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැරදි කරන නීතිඥයින් සඳහා 'වෘත්තීය සමිතියක්' ලෙස ක්‍රියා නොකළ යුතුය. එය නීති ප්‍රජාවේ හෘද සාක්ෂිය විය යුතුය. එය සදාචාරාත්මක අගයන් පහත නොදමා අගයන් තර කරන පරිදි යළි සකස් කළ යුතුය.

මහජනතාව දැකීමට සුදුසු ප්‍රතිසංස්කරණ මෙන්න:

1. සම්පූර්ණ පරීක්ෂණයක් තෙක් සිද්ධියට සම්බන්ධ නීතිඥවරයාගේ වෘත්තීය වහාම අත්හිටුවීම.
2. සියලුම නීතිඥයින් සඳහා, විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ මහජනතාව සමඟ අන්තර්ක්‍රියා කිරීමේදී, 'මහජන හැසිරීම් සංග්‍රහයක්' හඳුන්වාදීම.
3. පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනටමත් කරන පරිදි, අධිකරණ පරිශ්‍රයන් තුළ නීතිඥවරුන් ලෙස සේවය කිරීම සඳහා ද ඔවුන්ගේ නම් සහ ලියාපදිංචි අංක ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු ය.
4. අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා ස්වාධීන සිවිල් වැසියන් හෝ විශ්‍රාමික විනිසුරුවන් ඇතුළත් විනය සමාලෝචන මණ්ඩලයක් පත්කළ යුතු ය.
5. විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණය මැඩපැවැත්වීම සඳහා රිසිට්පත් නොමැතිව නීති සේවා සඳහා මුදල් ගෙවීම් සහ ලබා ගැනීම් තහනම් කළ යුතු ය.
6. නීතිඥයින් සඳහා ආචාර ධර්ම පුහුණුව, වෘත්තීයභාවය, ගෞරවය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමඟ සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කිරීමට ක්‍රියා කළ යුතු ය.

මේවා රැඩිකල් ඉල්ලීම් නොවේ. වෘත්තියට ගෞරවය නැවත ලබා දීම සඳහා ඒවා මූලික පියවර වේ.

BASL, ඔබේ යුතුකම ඉටු කරන්න..

නීතිඥ සංගමය තමන්ගෙන් කුමක් ඉටුවිය යුතුද? යන්න තීරණය කළ යුතුය. එය වරප්‍රසාද ලත් කල්ලියක් ලෙස දිගටම පවත්වාගෙන යනවා ද?, ආරක්ෂා නොකළ යුතු දේ ආරක්ෂා කරනවා ද? නැතහොත් එය එහි ආරම්භක අරමුණු, එනම් යුක්තිය ආරක්ෂා කිරීම, මහජනතාව ආරක්ෂා කිරීම සහ වෘත්තීය ආචාර ධර්ම පවත්වා ගැනීම ආදී අරමුණු නැවත සොයා ගනීවිද?

මෙය එක් නීතිඥයෙකු හෝ එක් පොලිස් නිලධාරියෙකු ගැන පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ "ආත්මය" ගැන ය. නීතිඥයෙකු මැරයෙකු ලෙස හැසිරෙන සෑම අවස්ථාවකම, නීතියේ ආධිපත්‍යය සුළු වශයෙන් හෝ මිය යයි. එවැනි හැසිරීමක දී BASL විසින් නිදහසට කරුණු කියන සෑම අවස්ථාවකම, මහජන විශ්වාසය තවදුරටත් ඛාදනය වේ.

නීතිඥයින් නිහතමානීකම ඉගෙන ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සුව කළ නොහැකි ය. නිහතමානීකම ආරම්භ වන්නේ වගවීමෙන් සහ වගකීමෙනි.

එබැවින්, BASL වෙත මෙසේ කියමු;

* නිදහසට කරුණු ඉදිරිපත් කිරීම නවත්වන්න. අපකීර්තිය ආරක්ෂා කිරීම නවත්වන්න.
* නීතිඥවරයාගේ සේවය අත්හිටුවන්න. ජාතියෙන් සමාව අයදින්න.
* සහ මතක තබා ගන්න, නීතිය ඉදිරියේ, "කිසිවෙකු ඉහළින් නැත."

එය සිදුවන තුරු, කළු කබාය ගෞරවයේ සලකුණක් නොව, "ලැජ්ජාවේ සළුවක්" ලෙස පවතිනු ඇත...!

-ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයට විශේෂ ලියුම්කරුවෙකු ලියූ ලිපියක් සිංහලට නැගුවේ,

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-10-12 21:38:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links