-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.13, ප.ව.3.38) පසුගිය වසර දෙකක කාලයේ දී ඊශ්‍රායල ජන සංහාරයට ගොදුරු වූ ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ගේ සංඛ්‍යාව හැට හත්දාහකට වැඩිය. එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අනුව ඝාතනය කරනු ලැබූ පලස්තීන දරුවන් විසිදහසකට අධිකය. ඊශ්‍රායල හමුදා පසුගිය වසර දෙකක කාලය පුරා දිනකට ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් අනූ දෙදෙනෙකු ඝාතනය කළහ. ඒ අතර දරුවන් විසිහත් දෙනෙකි. ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පිරිස එක් ලක්ෂ හැත්තෑ දහසකට වැඩිය.
ඊශ්‍රායල පාලනය ගාසා තීරයේ රෝහල්, පාසැල්, විශ්වවිද්‍යාල, මාධ්‍යවේදීන්, සහන සේවකයන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළේ ය. ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ස්ථිර ගොඩනැගිලිවලින් සියයට අනූවකට වඩා විනාශවී අවසානය. ගාසා තීරයේ සාගින්න, මිනීමැරුම් සහ හිංසා පීඩා ඇතුළු යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල පාලනය වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පිලිගත් අතර වසර 2024 නොවැම්බර් 21 වන දින ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය. නෙතන්යාහුගේ ආණ්ඩුව ගසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව ජන සංහාරයක නිරත වූ බව පැහැදිලිය. ඒ පිළිබඳ මේ වන විටත් ජාත්‍යන්තර අධිකරණයේ විමර්ශන සිදුවෙමින් පවතියි. පසුගිය වසර දෙකක කාලය පුරා ඊශ්‍රායල ගාසා තීරයේ ක්‍රියාත්මක කළ ජන සංහාරය මෙන් යුධ අපරාධ මානව ශිෂ්ටාචාරයේ අඳුරුතම පරිච්ඡේදයක් බව පැහැදිලිය.
මෙවැනි කෲර, නින්දාසහගත ජන සංහාරයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි, ඒ වෙනුවෙන් විසිල් ගැසූ චරිතයකට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමූ බව විශ්වාස කළ හැකි ද? එහෙත් එය එසේ සිදු විය. පසුගිය සතියේ නොබෙල් ත්‍යාග කමිටුව වසර 2025 සිය සාම ත්‍යාග වෙනුවෙන් නම් කරනු ලැබූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ යනු නෙතන්යාහුගේ ආණ්ඩුව ගසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව ගෙන ගිය ජන සංහාරයට ප්‍රසිද්ධියේ සහය ලබාදුන් එයට විසිල් ගැසූ චරිතයකි. ගසා තීරයේ පලස්තීන ජන සංහාරය අනුමත කරමින් “වෙනිසියුලාවේ අරගලය ඊශ්‍රායලයේ අරගලයයි” ප්‍රසිද්ධියේ පැවසූ මාරියා කොරිනා මචාඩෝ ඊශ්‍රායලය “නිදහසේ සැබෑ සගයෙකු” ලෙස හැඳින්වූවාය.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ ගෙන ගිය පලස්තීන ජන සංහාරයට සහය පල කළ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ “Today, all of us who defend the values of the West stand with the State of Israel; a genuine ally of freedom” (අද, බටහිර වටිනාකම් ආරක්ෂා කරන අප සියලු දෙනාම ඊශ්‍රායල රාජ්‍යය සමඟ නැගී සිටිමු; නිදහසේ සැබෑ සගයෙකි) යැයි අවධාරණය කළාය. ඇය අන්තර්ජාලයේ බෙදා හැරි එම සටහන මේ ලිපිය අවසානයේ පල කර තිබේ. අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයට සහය දැක් වූ මචාඩෝ වසර 2020 දී ලිකුඩ් පක්ෂය සමඟ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළාය. මෙවැනි චරිතයකට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම පිළිබඳ සිය දැඩි විරෝධය පල කළ නෝර්වීජියානු නීති සම්පාදකයෙකු වන බ්ජෝර්නර් මොක්ස්නස් සඳහන් කළේ, එම තෝරා ගැනීම “නොබෙල්ගේ අරමුණට නොගැලපෙන” බවයි.
ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය (CAIR) ද එම තේරීම හෙළා දුටු අතර එය “නොබෙල් කමිටුවේ කීර්ති නාමයට හානි කරන අවිචාර තීරණයක්” ලෙස හැඳින්වීය. නොබෙල් සාම ත්‍යාගය හිමිවීමෙන් පසුව ඊශ්‍රායල මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ කියා සිටියේ තමන් වෙනිසියුලාවේ බලය ලබාගත් සැනින් සිදු කරන ප්‍රථම කාර්ය වන්නේ තම රටේ තානාපති කාර්යාලය ටෙල් අවිව් සිට ජෙරුසලමට ගෙන යෑම බවයි. වෙනිසියුලානු ජනාධිපති වශයෙන් තමා ඊශ්‍රායලය සමඟ සබඳතා ශක්තිමත් කරන බවට ද ඇය පොරොන්දු වූවාය. වසර 2009 දී ජනාධිපති හියුගෝ චාවේස් වසර 2008-2009 ගාසා යුද්ධයට විරෝධය පළ කරමින් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමූ අතර ඊශ්‍රායල තානාපතිවරයා ද නෙරපා හැරියේ ය.
මේ අතර වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලතින් ඇමරිකාව සහ කැරීබියන් දූපත් ඉලක්ක කර ගනිමින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන ආක්‍රමණයශීලි නීති විරෝධී හමුදා මැදිහත්වීම් සඳහා ප්‍රසිද්ධියේ සහය ලබාදෙන්නීය. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ කලාපයට ආරක්ෂක අවදානමක් නිර්මාණය කර තිබෙන බවට ජනාධිපති ට්‍රම්ප් ප්‍රචාරක ව්‍යාපෘතිය ද ඇය අනුමත කරන්නීය. මධුරෝ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී සහයෝගීතා ව්‍යුහයක ප්‍රධානියා වශයෙන් ජනාධිපති ට්‍රම්ප් සිදු කරන චෝදනාව අනුමත කරන මචාඩෝ, මත්ද්‍රව්‍ය ඇති බවට සැක කරමින් ඇමරිකානු හමුදාව කැරිබියන් දූපත් අවට බෝට්ටු ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීම මගින් “වෙනිසියුලානු ජීවිත පමණක් නොව, ඇමරිකානු ජනතාවගේ ජීවිත ද, ආරක්ෂා වන බව” පැවසුවාය. ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර බෝට්ටු ඉලක්ක කර ගනිමින් ඇමරිකාව එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන්ට කිසිදු සාක්ෂික් ඉදිරිපත් කිරීමට හැකිව නැත. වෙනිසියුලානු රජය කියා සිටියේ තම රටේ ධීවර බෝට්ටු ඉලක්ක කරමින් ඇමරිකාව එල්ල කරන ප්‍රහාරයන්ගේ අවසාන අරමුණ ඇමරිකානු ගැති පාලනයක් තම රට තුළ ස්ථාපිත කිරීම බවයි.
වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට අවශ්‍යව ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෙන් එරට බලය ඩැහැ ගැනීමටය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍යව ඇත්තේ වෙනිසියුලානු තෙල් නිධි අත්පත් කර ගැනීමට වන අතර මේ යථාර්ථය අවබෝධ කර ගැනීමට “රොකට් සයන්ස්” දැනුම අවශ්‍ය නැත. වසර 2018 දී, එනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේ දී “අපරාධකාරී වෙනිසියුලානු පාලනය බිඳ දැමීම සඳහා” සහාය ඉල්ලා ඊශ්‍රායල සහ ආර්ජන්ටිනා රාජ්‍ය නායකයින්ට මචාඩෝ ලිපියක් යොමු කළාය. වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධුරෝගේ පාලනයට එරෙහි ඇගේ විපක්ෂ ව්‍යාපාරයට විදේශ මැදිහත්වීමක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මචාඩෝ දැඩි විවේචනයට ලක්විය. එම ලිපිය බෙදා හරිමින් ඇය අන්තර් ජාලයේ පහත සටහන තැබුවා ය. "Today, I am sending a letter to @mauriciomacri, President of Argentina, and to @netanyahu, Prime Minister of Israel, to ask them to apply their strength and influence to advance in the dismantling of the criminal Venezuelan regime, intimately linked to drug trafficking and terrorism." (මෙහි ඡායාරූපයක් ලිපිය අවසානයේ පල කර තිබේ.)
ජනාධිපති රිචඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝර්ඩ්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස, සහ රාජ්‍ය ලේකම් ලෙස වසර 1969 සිට 1977 දක්වා කටයුතු කළ හෙන්රි කිසිංගර් විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් නිරපරාදේ මිය ගිය ජීවිත සංඛ්‍යාව මිලියන තුනකට අධික බව පර්යේෂකයන්ගේ මතයයි. කාම්බෝජයේ පමණක් ඔහුගේ අවශ්‍යතාව අනුව සිදුවූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයන්ට ගොදුරු වූ කම්බෝජ වැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකය! බොහෝ දෙනෙකු යුද අපරාධකරුවෙකු වශයෙන් සළකන හෙන්රි කිසිංගර්, ඔහුගේ ම්ලේච්ඡ විදේශ ප්‍රතිපත්ති හරහා ලොව පුරා ලේ වැකි මාවතක් නිර්මාණය කළේය. ආර්ජන්ටිනාවේ සිට නැගෙනහිර ටිමෝරය දක්වා වූ මේ ලේ වැකි මාවතේ ඝාතනය වූ අසරණයන්ගේ සංඛ්‍යාව මිලියන තුනකට අධිකය. හෙන්රි කිසිංජර් නැමැති එම යුධ අපරාධකරුවාට වසර 1973 නොබෙල් සාම ත්‍යාගය ලබා දුන් නොබෙල් කමිටුව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට එම ත්‍යාග පිරිනැමීම ගැන පුදුම විය යුතු නැත.
වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ඇයට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැප කළාය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඇගේ සටනට දැක්වූ සහයෝගයට ට්‍රම්ප්ට ප්‍රශංසා කළ ඇය, "ඔහුගේ නාමයෙන් සහ වෙනිසියුලානු ජනතාවගේ නාමයෙන්" නොබෙල් සාම ත්‍යාගය ගෞරවය පිළිගත් බව පැවසුවාය.!
ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පිරිනැමීමට තීරණය කළහොත් ඒ ගැන පුදුම නොවන්න.!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-10-13 10:12:19)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි