-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.13, ප.ව.9.35) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී කුණුහරුප කියමින්, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින්, නිලධාරියාට අපහාස කරමින් තම වෘත්තීයට නොගැලපෙන ලෙස හැසිරුණු නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංසදය ප්‍රකාශ කරයි.
අධිකරණ භූමියේ දී කුණුහරුප කියමින් හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවත්, වෘත්තියට නොගැලපෙන ආකාරයේ හැසිරීමත්, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමත් ආදී චෝදනා නගමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ පොලිස් විමර්ශන අවසන් වන තුරු නීතිඥ ගුණරත්න වන්නිනායකගේ නීතිඥ ධූරය අත්හිටුවීමේ නියෝගයක් නිකුත්කරණ ලෙසත්, නීතිඥ ගුණරත්න අධිකරණයට අපහාස කළ බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
නීතිඥවරයාගේ හැසිරීමෙන් විශාල මහජන කැළඹීමක් සිදුවූ බව පවසන විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංසදය එයද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමුකරන ලෙස ද ඉල්ලා සිටී.
මේ අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය සිකුරාදා(10) සිදු වූ නීතිඥ ගුණරත්න වන්නිනායක සහ පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර ගැටුමේ ඊ ලඟ දිනය වූ අද(13) දිනයේ දී අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි කොස්තාපල් තරින්ද දිල්හාර අද පෙරවරුවේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ගැටුමේ පාර්ශවකරුවෙකු වන නීතිඥ ගුණරත්න වන්නිනායක අද අධිකරණයට මුහුුණ දුන්නේ නැත. අද දිනයේ දී කොස්තාපල් තරින්ද දිල්හාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේ මුදා හැරි අතර ඊලඟ නඩු දිනය ලබන නොවැම්බර් 17 දිනට කැඳවීමට නියම කෙරිණ. ඒ අතර දී නඩුව සමථ මණ්ඩලයට යොමු කිරීම ද මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියම කෙරිණ.
එමෙන්ම පසුගිය සිකුරාදා කොස්තාපල් තරින්ද දිල්හාර සම්බන්ධයෙන් නිසි විමර්ශන නොකර ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර තිබේ. එච්.ටී.එම්.තුෂාර යනු පසුගිය අරගලය ආරම්භයේ දී ම ගෝඨාභයගේ මිරිහාන නිවසට පහර දුන්නේ යැයි නිකරුනේ සිටි අයද ඇතුළුව 54 ක් පමණ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා ය. ඔහු එහිදී ද නිසි විමර්ශන වලින් තොරව අත් අඩංගුවට ගැනීම් කළ බවට අධිකරණයේ දී ද දෝෂ දර්ශනයට ලක් විය.
සිකුරාදා දිනයේ දී හුදෙක් නීතිඥ බලය සහ සාමාන්‍ය කොස්තාපල්වරයෙකු අතර පාර්ශව දෙකක් අතර ගැටුමක් ලෙස ජනගත වූ සිද්ධිය නිවාඩු දින 2 තුල දී තුන්වන පාර්ශවය ලෙස මහජනතාව ද ඊට පාර්ශවකරුවෙකු ලෙස විශාල ලෙස මැදිහත් වීමෙන් ගැටුම තුන්කොන් සටනක් බවට පත්විය. ඊට විශේෂයෙන්ම බලපෑවේ නීතිඥවරුනගේ බලය පෙන්වමින් කොස්තාපල් වෙනුවෙන් සිකුරාදා කිසිදු නීතිඥවරයෙකුට මැදිහත් වීමට ඉඩ නොදීමෙන් මහජනතාව කුපිත වීමයි. මහජනතාව කොන්දේසි විරහිතව දුර්වලයාගේ පාර්ශවය ගත්හ. එය අද දිනයේ වුව කැපී පෙණුනේ නීතිඥ වන්නිනායක වෙනුවෙන් නීතිඥවරුන් දෙසීයක් පමණ දෙනා අධිකරණයට ඉදිරිපත් වුව ද කොස්තාපල් තරින්ද වෙනුවෙන් ඉදිරිපත් වූයේ නීතිඥවරුන් දෙදෙනෙකු පමණක් වීමෙනි. තරින්ද වෙනුවෙන් නීතිඥයෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ එක් නීතිඥවරියක ඉදිරිපත් වූහ. එසේ වී නමුත් කොස්තාපල්වරයාට සහාය පළකරමින් ගල්කිස්ස අධිකරණ භූමියත් ඒ අවටත් විශාල මහජනතාවකගෙන් පිරී ගියේ නාමධාරී කළු කෝට් කරුවන්ට රටේ සිදුව ඇති වෙනස ගැන අවබෝධයක් ලබා ගැනීමට ඉඩ හසර පාදමිනි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ නාමධාරීන් වරප්‍රසාද ලත් පිරිස් මේ සිදුවීමෙන් අවබෝධයක් ලබා ගන්නවානම් අද රටේ ඉන්නේ මීට දශකයකට දෙකකට පමණ පෙර සිටි වරප්‍රසාද ලත් පන්තියට 'එහෙයි' කියන මහජනතාවක් නොවන බව තේරුම් ගත යුතු ය. රටේ ජනතාව වෙනස් වී ඇත. නොඑසේ නම් ඔවුන් සියයට 3 ක් පමණක් වූ අවවරප්‍රසාදිත දේශපාලන කණ්ඩායමකට තුනෙන් දෙකකටත් වැඩි බලයක් දෙන්නේ නැත. මේ යථාර්තය තේරුම් නොගන්නා තාක් වරප්‍රසාදිත දේශපාලන කඳවුරු විනාශ මුඛයට ගිය පරිදිම වරප්‍රසාදිත විවිධ නාමධාරී වෘත්තීය සංවිධාන ද විනාශ මුඛයටම යනු වැළැක්විය නොහැකිය.
අද අධිකරණය තුල වූ සිදුවීම් වැඩිදුර වාර්තා කරන්නේ නම්, නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සහ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කනිෂ්ඨ නීතිඥයෙකුට පහරදීම යන සිදුවීම් දෙකටම අදාල විභාගයන් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ. වැඩිදුර විභාගයට ගැණින.
මෙහිදී ඊයේ දිනයේ සිට ගුණරත්න වන්නිනායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගල්කිස්ස පොලිසිය කටයුතු කර තිබුණ ද වන්නිනායක පොලිසිය මගහැර බොරලැස්ගමුවේ ඔහුගේ නිවසින්ද පලා ගොස් සිටියේ ය. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරමින් අද කියා සිටියේ අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සමබන්ධ විමර්ශන සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක සහයෝගය නොදක්වන බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමට බලාපොරොත්තු වන බවයි.
අද අධිකරණයේ දී ගුණරත්න වන්නිනායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ප්‍රමුඛ නීතිඥවරුන් දෙසියයක් පමණ ඉදිරිපත් වී සිටියහ. ජනාධිපති නීතිඥ චානක රණසිංහ වන්නිනායක ගේ කනිෂ්ඨ නීතිඥයා වෙනුවෙන් පෙනී සිටියේ ය. ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙනී සිටි අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිටියේ ය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා පෙනී සිටියේ ය.
නීතිඥ ගුණරත්න වන්නිනායක පොලිස් රාජකාරියට බාධා කිරීම, ප්‍රසිද්ධ ස්ථානයක පරුෂ වචනයෙන බැණ වැදීම, තර්ජනය කිරීම ආදී වැරදි සිදුකර ඇතැයි මේ වන විට විමර්ශනවලින් හෙළි වී තිබෙන බව ගල්කිස්ස පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර වන්නිනායක විමර්ශන මඟහරින බවත් ඔහු පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීම් කෙළේ ය. එහෙත්, නීතිඥවරුන් එයට එරෙහි වූ අතර ඔවුන් පැවසුවේ වන්නිනායක අධිකරණය මඟහරිමින් නොසිටින බවයි. ඔහු පොලීසියේ දූරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා, නීතිඥ සංගමයෙන් උපදෙස් ලබාගෙන විමර්ශනයට දායක වන බව ඔහුගේ නීතිඥවරුන් පෙන්වා දුන්හ. වන්නිනායක විමර්ශන දිගින් දිගටම මගහරින්නේ නම් නොතීසි නිකුත් කළ හැකි නමුත්, ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියොගයක් නිකුත් කිරීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති යැයි මහේස්ත්‍රාත් පසන් අමසේන ප්‍රකාශ කෙළේ ය. එසේ නම් ඔහුව අත්අඩංගුවට ගන්නා බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා අධිකරණයට දැනුම් දුන්නේ ය.
වන්නිනායක මහතාට පොලීසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස බොරලැසගමුව පොලිස් ස්ථානාධිපතිවරයා හරහා සිතාසි භාර දෙමින් දැනුම් දුන් අතර සිතාසි භාරගත් නමුත් වන්නිනායක මහතා විමර්ශනයට සහභාගී නොවූ බව පොලීසිය පැවසීය.
ඔක්තෝබර් 12 (ඊයේ) සවස් වරුවේ ගල්කිස්ස පොලීසියේ කණ්ඩායමක් බොරලැස්ගමුවේ පිහිටි වන්නිනායකගේ නිවෙසට ගිය නමුත්, ඔහු නිවසේ නොසිටි බවත් ජංගම දූරකථනය විසන්ධි කොට ඔහු සැඟවී සිටින බවත් විමර්ශනවලට ඔහු කිසිදු සහයෝගයක් නොදක්වන බවත්, පොලිස් බුද්ධි අංශ මගින් වාර්තා කර ඇති පරිදි ඔහු විදේශගත වීමට සූදානමින් සිටින නිසා විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ දූරකථන අංකයට ඔක්තෝබර 10 වැනිදා සිට සම්බන්ධ වූ පුද්ගලයන්ට අදාල දූරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලී ය.
විදෙස් ගමන් තහනම නිකුත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී සහ බුද්ධි අංශ වාර්තා පිළිබඳ සඳහන් කළ අවස්ථාවේ දී වන්නිනායකගේ නීතිඥවරුන් උපහාසයෙන් සිනාසුනේ ය, මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කිරීම සහ දූරකථන වාර්තා ලබා ගැනීමට නියෝග නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කෙළේ ය.
මේ අතර නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කීවේ තමන් නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ උපදෙස් මත පෙනී සිටින බවයි. යුක්තිය ඉෂ්ඨ කිරීමේ මාවතේ ප්‍රධාන පාලම් දෙක පොලීසිය සහ නීතිඥවරුන් වන බවත් ඒ අනුව ඒ මාර්ගය ඔස්සේ පැමිණ යුක්තිය ඉටු කළ යුතු බවත් කීය. මහේස්ත්‍රාත් අධිකරණවලදී පැමිණිල්ල පොලීසිය බවත්, විත්තිය වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටින බවත් මේ දෙපාර්ශ්වය එක්ව ගමන යා යුතු බවත්, වෙන් වෙන්ව සැකයක් පවත්වාගෙන මේ ගමන යා නොහැකි බවත් කීය. අධිකරණය කෙරෙහි විශ්වාසය තහවුරු වනුයේ මේ මාවත් හරියට තිබුණොත් පමණක් බවත් කීය. කිසිදා සිදු නොවිය යුතු සිදුවීමක් සිදු වී ඇති බවත්, මෙය දුරදිග නොයා යුතු බවත් කීය. අධිකරණය කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම වැදගත් බව ද කුමරප්පෙරුම කීය.
මෙහිදී වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ කීවේ මෙම සිදුවීම දුරදිග ගෙන නොයා යුතු බවත්, අද දින වුව මෙය සමථයට පත් කරගත හැකි බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නීතිපතිවරයාට ඕනෑම පැමිණිල්ලක් පවරාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවත් නීතිපතිවරයාට මෙම සිදුවීම බාරගෙන සමථයට පත් කරගැනීම හෝ නඩු පැවරීම කළ හැකි නමුත් තමන් එසේ කිරීමට බල නොකරන බවද අනුර මැද්දේගොඩ කීය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා කියා සිටියේ මෙය තවමත් විමර්ශන අවස්ථාවක් බවත් නීතිපතිවරයා මෙම සිදුවීම පවරාගැනීමට නිගමනයකට එළැඹී නොමැති බවයි
ඒ මොහොතේ දී වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සියළු දෙනාම පාහේ කියා සිටියේ මෙම සිදුවීම් දෙකම සමථයකට යා යුතු බවයි. ඒ අවස්ථාවේ දී එයට ප්‍රතිචාර ලෙස නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා හඬ නගා ප්‍රකාශ කළේ 'නීතිය කාටත් පොදු බවයි'.
කෙසේ වෙතත් වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සියළු දෙනාගේම පොදු මතය වූයේ "සමථයකට යා යුතුය" යන මතය බැවින් පෙනී යන්නේ නීතිඥ ගුණරත්න වන්නිනායක සිද්ධියේ දී වැරදිකරුවා බව ඔහුගේම නීතිඥයන්ගේ පොදු හැඟීම බවයි. නොඑසේ නම් ඔවුන් එදින වන්නිනායක සේම ගැටුම දුරදිග ගෙන යෑමට ක්‍රියා කරනු ඇත.
ගුණරත්න වන්නිනායක වැරදිකරුවා බවට තවත් අපුරු සාක්කියක් ඉදිරිපත් කර තිබුනේ ඔහුගේම මිතුරෙකු වූ නාමල් රාජපක්ෂ ( හොර පෙරකදෝරුවා නොවේ) අද (13) සවස (8.30 ට පමණ) ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමිනි. නාමල් රාජපක්ෂගේ එකී සටහනින් ඔහු වන්නිනායකගේ පමණක් නොව අද වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ද සායම යවා තිබිණ. මෙම වාර්තාව එකී සටහනින් නිමා කරමු.
"ගුණරත්න වන්නිනායක කියන්නේ තම්බිට ඌරු මාළු වගේ පාරේ පොලිස් නිලධාරියෙක් හිටියොත් ඔහුට පරුෂ වචනෙන් බැන වැද එම පොලිස් නිලධාරියා තමන්ට හෝ තමන් සමඟ පැමිණි අනිකුත් නීතීඥ මහතුන්ට පහර දුන් බවට චෝදනා කරමින් කෑ කොස්සන් ගසමින් කලබල කරන අයෙක් වේ . ඒ නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් උදැසන ඔහු පැමිණෙන විට සැඟවීමට වග බලා ගනී.
නමුත් පසුගිය දිනක ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් සදහා ගිය අවස්ථාවේදී ඔහු පැමිණෙන බව නොදත් ලෝකයේ විනයගරුකම පොලිස් නිලධාරීන් ට ඔහුගෙන් සැඟවීමට නොදන්නා කමින් පරුෂ වචනයෙන් බැනුම් අසා ඔහු සමග ගිය අනිකුත් නීතීඥ මහතාට පහර දුන්නා යැයි බොරු චෝදනා කරන ලද සුපුරුදු පරිදි එම පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් අමතන ලදී.
පොලිස් බුද්ධි අංශයේ වගකිම වනුයේ තම්බිට ඌරු මාළු මෙන් පොලිස් නිලධාරීන් දුටු විට මළ පැන කෑ ගසන වන්නි පැමිණෙන විට පොලිස් නිලධාරීන් ට සැඟවීමට උපදෙස් දීමයි..!"
කොස්තාපල් තරින්ද දිල්හාර වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටි නීතිඥ මේනුකා සමරවික්‍රම ගේ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-10-13 18:01:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි