~

නීතිඥ ගුණරත්න වන්නිනායකගේ 'තවත් හෙළුවක්' කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී දිග හැරේ..!

-LeN අධිකරණ වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.15, පෙ.ව‍.9.15) නීතිඥ ගුණරත්න වන්නිනායක යන නම දැන් ශ්‍රී ලංකාවේ නොදන්නා කෙනෙක් නැත. ඒ පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ දී 'කෙළපු පිස්සුව' සමග ය. එය සාමාන්‍ය මහජනතාවට 'පිස්සුවක්' වුව ද නීතිඥ ප්‍රජාව සැලකුවේ වන්නිනායක නීතිඥවරුන්ගේ 'අයිතිවාසිකම්' වෙනුවෙන් පෙනී සිටි බවකි. නොඑසේ නම් ඔහු අධිකරණයෙන් සැඟවී සිටිය ද නීතිඥවරුන් දෙසීයක් පමණ ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ නැත. නමුත් වන්නිනායක එවැනි චරිතයක් නොවන බව ඊයේ(14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළිවිය. 

ඒ නම් නීතිඥ සහෝදරියක් අරභයා ඉතා නින්දිත ලෙස ක්‍රියා කළ තවත් මනෝවිකෘතියෙන් පෙළෙන නීතිඥයෙකු වෙනුවෙන් ද වන්නිනායක ලැජ්ජාවකින් තොරව පෙනී සිට ඇති  බව හෙළිවීමකි. 

සිද්ධිය මෙසේ ය;  

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ඉදිරියේ ඊයේ(14) කැඳවූ නඩුවක් විය. එහි නඩු අංකය B 41701/01/25 විය. චුදිතයා නීතිඥයෙකි. හේ නමින් 'කිංසි සඳුන් සංජීව' විය. විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයෙකි.  

චුදිත සඳුන් සංජීව නීතීඥවරයා විසින් විවෘත විශ්වවිද්‍යාලයේ තම කණ්ඩායමේම සහෝදර නීතීඥවරියකගේ මුහුණු පොතෙන් උපුටා ගත් ඡායාරූප AI තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකසා ඇගේ සත්‍ය නාමයෙන්, දුරකථන අංකයක්ද සමග වට්ස් ඇප්, ටෙලිග්‍රෑම්, මුහුණු පොත ආදී සමාජ ජාල සමූහවලට යොමුකර තිබුණි.

එමෙන්ම ඉහත කී දුරකථන අංකය සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන විවිධ පුද්ගලයින් සමග ද ඔහු නීතිඥවරිය සේ රඟපාමින් වසර දෙකක් පමණ තිස්සේ චැට් කරමින් තව තවත් ඇයගේ විකෘති කරන ලද නිරුවත් ඡායාරූප බෙදාගනිමින් සහ ලිංගික කතාබස් වල නිරත වෙමින් එම සංවාද වල තිර පිටපත් (Screen shots ) යළිත් ඉහත කී සමූහ වලට යොමු කර ඇත.

වින්දිත නීතීඥවරියගේ මුහුණ සහ නම සහිත එකී පළකිරීම් සම්බන්ධව ඇය දැනගනු ලබන්නේ වසර දෙකකට පමණ පසු සමාජ මාධ්‍ය තුළ දී ඒවා දැක තිබූ  ඇයගේ වෙනත් හිතවතුන්ගෙන් සහ ගනුදෙනුකරුවන් ලෙස තම සැබෑ මුහුණුපොත හරහා සම්බන්ධ වීමට උත්සාහ දැරූ පුද්ගලයන්ගෙනි.

වින්දිත නීතිඥවරිය පසුව මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයට පැමිණිලි කිරීමෙන් පසුව එම අපරාධ ඒකකය විසින් සිදුකරන ලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව 'කිංසි සඳුන් සංජීව' නම් නීතිඥවරය‍ා 2025/10/03 දින අත් අඩංගුවට ගන්නා ලදී. පසුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

'පිස්සු නීතිඥයා' වෙනුවෙන් 'පිස්සු කෙළිය නීතිඥයා'..

රිමාන්ඩ් භාරයේ සිටි 'කිංසි සඳුන් සංජීව' නමැති 'පිස්සු නීතිඥයා' වෙනුවෙන් පෙනී සිට ඔහුට ඇප ලබා ගන්නේ ගල්කිස්සේ අධිකරණ භූමියේ දී 'පිස්සුකෙළිය' නීතිඥ ගුණරත්න වන්නිනායක ය. ඔහුට එහි දී වින්දිත කාන්තාව ද නීතිඥවරියක් වීම ගැටළුවක් වන්නේ නැත. නීතිඥ 'අයිතිවාසිකම්' ද බලු වටින්නේ නැත.

ඇපමත මුදා හැර සිටි 'කිංසි සඳුන් සංජීව' ට එරෙහි නඩුව ඊයේ (14) දිනයේ දී කොළඹ ප්‍රධාන මෙහේස්ත්‍රාත් අසංක බෝදරගම ඉදිරියේ යළි විභාගයට ගැණින. හොඳ වේලාවට හෝ නරක වේලාවට හෝ කිංසි සඳුන් සංජීව වෙනුවෙන් පෙනී සිටීමට ගුණරත්න වන්නිනායක ඊයේ ඉදිරිපත් වූයේ නැත. මන්ද යත් ඔහු තවමත් අධිකරණයෙන් සැඟවී සිටින නිසා ය. ඊයේ දිනයේ මනෝවිකෘති ලෝයරයා වෙනුවෙන් 'ඈෂ්ලි' නම් නීතිඥයෙක් පෙනී සිටියේ ය. එහි දී පසුගියදා ගල්කිස්සේ දී මෙන් කොස්තාපල් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයෙක් ඉදිරිපත් නොවීමේ සිද්ධාන්තය තවත් වින්දිත නීතිඥවරියක කෙරෙහි බලපා නැත.

ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ දැඩි දෝෂ දර්ශනයට..

කෙසේ වෙතත් නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේ 'කිංසි සඳුන් සංජීව' නීතීඥයාගේ ක්‍රියාකලාපය පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම දැඩි දෝෂ දර්ශනයට ලක් කෙළේ ය. 

නීතිඥ කිංසි සඳුන් සංජීව යන අයගේ ක්‍රියාකලාපය නීතිඥ වෘත්තියට නුසුදුසු බවත්, ඒ පිළිබඳ තමන් විසින්ද නඩු වාර්තාවේ සටහනක් යොදන බවත්, අගතියට පත් පාර්ශවය වූ නීතිඥවරියට හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම ප්‍රකාශ කෙළේ ය.   

අධික දියවැඩියා රෝගයෙන් පෙළීම නිසා නීතිඥ කිංසි සඳුන් සංජීවගේ කකුලේ ඇඟිලි කීපයක් ඉවත් කරන ලද ශල්‍යකර්මයක් මෑතක දී සිදුකර තිබිණ.

මෙම නඩුව 2025/10/28 දින යළි කැඳවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේ ය

අගතියට පත් නීතීඥවරිය වෙනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටිය හ.

(ගුණරත්න වන්නිනායක අනුව යමින් 'කිංසි සඳුන් සංජීව' නීතීඥයා වෙනුවෙන් ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය BASL නිවේදනයක් නිකුත් නොකිරීම වාසනාවකි)

-සේයාරුවේ ඉන්නේ 'කිංසි සඳුන් සංජීව' නීතීඥයා ය-

-LeN අධිකරණ වාර්තාකරු විසිනි

---------------------------
by     (2025-10-15 03:54:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links