-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.21, පෙ.ව.4.30) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනු විටෙක “කොමඩිය”කි. තවත් විටෙක “රියැලැටි ෂෝ” එකකි. පසුගිය දා ගල්කිස්ස අධිකරණ භූමියේ දී මේ පොලීසිය “කොමඩිය” දිග හැරිනි. ගුණරත්න වන්නිනායක නම් “නීතිඥයා” තමා හැදුනු වැඩුණු, තමා සාමාන්‍ය ජීවිතයේ දී භාවිතා කරන සුපුරුදු භාෂාවෙන් අධිකරණ භූමියේ සිටි කොස්තාපල්වරයෙකු ඇමතුවේ ය. එහෙත් බාහිර සමාජයේ බොහෝ දෙනා ඔහු භාවිතා කළ භාෂාව අසභ්‍ය යැයි කීම හේතුවෙන් විශාල ආන්දෝලනයක් හට ගත්තේ ය. ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණ භූමියේ “ජාතිය” අමතන අවස්ථාවේ “ ප්‍රියන්තට කෝල් කරන්න, වටගලට කෝල් කරන්න” යැයි ඉතා පැහැදිව කියා සිටියේ ය. ප්‍රියන්තගේ, වටගලගේ මැදිහත්වීම යටතේ අදාළ සිද්ධියට සම්බන්ධ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ය. පොලිස් ඇප මත නිදහස් කිරීමට හැකිව තිබිය දී පොලීසිය එම කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කරන අතර විනිසුරු ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ය. පොලීසිය එම කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කිසිදු මූලික පරීක්ෂණයකින් තොරවය. අදාළ සිද්ධිය සිදුවී විනාඩි කිහිපයකින් ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරීහු ගල්කිස්ස අධිකරණ භූමියට පැමිණීම හරහා එම සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ ඉහළ මට්ටමේ බලපෑම ඉතා පැහැදිලිය.
ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණ භූමියේ “ජාතිය” අමතන අවස්ථාව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයවීමත් සමඟ නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් අසාධාරණයට ලක් වූ කොස්තාපල්වරයා පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය විය. එම සමාජ කතිකාව හේතුවෙන් එතෙක් හොරට නිදාසිටි පොලිස්පතිවරයාට අවදිවීමට සිදු විය. පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ගුණරත්න වන්නිනායක එරෙහිව පරීක්ෂයක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු ආරම්භ කළේ ය. ඒ සමඟ ගුණරත්න වන්නිනායක තම නිවසින් පළා ගියේ ය. ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට නො හැකි විය. දින ගණනාවක් සැඟව සිටි වන්නිනායක අධිකරණයට භාර වූයේ ය. ඔහුට කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇප ලබා දුන්නේ ය. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොස්තාපල්වරයාගේ සිද්ධිය ද සමථ මණ්ඩලයකට යොමු කිරීමට තීරණය විය. ශ්‍රී ලංකාවේ නීතිය සැමට සාධාරණව ඉටු නොවන බවට මේ සිද්ධිය පැහැදිලි නිදසුනකි.
අධිකරණයේ දී තම ජංගම දුරකතනය නාදය වීමේ, බුලත් විටක් කෑමේ වරදට වසර ගණනක සිරදඬුවම් විඳින සාමාන්‍ය පුරවැසියන් සිය ගණනකි. අපට අධිකරණ අසළ මෝටර් රථ නළාවක් ක්‍රියාත්මක කිරීමට නොහැකිය. එහෙත් ගුණරත්න වන්නිනායකට ගල්කිස්ස අධිකරණ භූමියේ කිසිම බාධාවකින් තොරව “ජාතිය” ඇමතීමට හැකිය. එසේ ජාතිය අමතා දින ගණනක් පොලීසියෙන් සැඟව සිටි වන්නිනායකට කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇප ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේ ය. එම විනිසුරුවරයාම මූලික පොලිස් පරීක්ෂණයකින් පවා තොරව අධිකරණයට ඉදිරිපත් කරන කොස්තාපල්වරයාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ ය. සාමාන්‍ය පුරවැසියෙකු පොලීසියේ රාජකාරියට බාධා කිරීම යටතේ අධිකරණයට ඉදිරිපත් කළහොත් සිදුවන ඉරණම සම්බන්ධයෙන් සිතා ගත හැකිය. එහෙත් ගුණරත්න වන්නිනායකලාට එවැනි ප්‍රශ්න නැත. ඔවුන් පොලීසියේ රාජකාරියට බාධා කළ විට එම ප්‍රශ්න ඉතා පහසුවෙන් සමථ මණ්ඩලයෙන් විසඳාගත හැකිය.
සාමාන්‍ය පුරවැසියන් සහ ගුණරත්න වන්නිනායකලා අතර වෙනස කුමක් ද? වන්නිනායකලා යනු ප්‍රභූ පංතිය නියෝජනය කරණ “නීතීඥ” නම් වෙනම උසස් කුලයකි. වෛද්‍යවරුන් මෙන් ඔවුන් ද සිටින්නේ නීතියට ඉහළිනි. ඔවුන්ට සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. “දෙරණ” නාලිකාවේ උදෑසන “පුවත්පත් කියවන” සංඛ අමරජිත් නම් සිංහල බෞද්ධ ජාතිවාදී, වර්ගවාදී භ්‍රෂ්ටයා රටේ පොදු ජනතාවට මේ යථාර්ථය ඉතා සරළව තම වැඩසටහනේ දී පැහැදිලි කළේය. “පොලිස් කොස්සෙකුට, නීතීඥයෙකුට පාට් දාන්න පුළුවන් ද” යැයි ඉතා සරළ ලෙස තමන් “නීතීඥයෙකු” යැයි හඳුන්වා ගන්නා සංඛ අමරජිත් මේ පංති යථාර්ථය රටට පෙන්වා දුන්නේ ය. අප ඔහුට ස්තූති කළ යුතුය. අනෙකුත් “නීතීඥයන්” කියා ගන්නා හීපාටුවන් අහවල් එක හංගා ගෙන කෙලින විට සංඛ ඉතා අවංකව අහවල් එකෙන්ම කෙළියේ ය.
ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණ භූමියේ “ජාතිය” ඇමතීම පක්ෂ භේදයෙන් තොරව අති බහුතරයක් නීතිඥයෝ සාධාරණීකරණය කළහ. වන්නිනායක වෙනුවෙන් පෙනී සිටියහ. නීතිඥ සංගමය පමණක් නොව නීති විද්‍යාල, නීති පීඨයන්හි නීති ආචාර්යවරු පවා වන්නිනායකගේ “ජාතිය” ඇමතීම සාධාරණීකරණය කළහ. ඒ අවස්ථාවේ වන්නිනායකට ඇති වූයේ “සාධාරණ සහ හදිසි කෝපයක්” බැවින් එම අසභ්‍ය වචන සහ බලය අයතු ලෙස යොදා ගැනීම සාධාරණ බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් සාමාන්‍ය පුරවැසියෙක් අධිකරණ භූමියේ “සාධාරණ සහ හදිසි කෝපයක්” හේතුවෙන් “ජාතිය” ඇමතුවේ නම් එය අධිකරණයකට කළ අපහාසයකි. ඒ අපහාසය වෙනුවෙන් වසර ගණනකට කූරු ගණන් කිරීමට සිදු වෙයි. එහෙත් වන්නිනායකලාට එසේ වන්නේ නැත. වන්නිනායකගේ “ජාතිය” ඇමතීම නීතිඥයන් එකාවන්ව සාධාරණීකරණය කරන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කළේ අකුරට නීතිය ක්‍රියාත්මක කළ තමන්ගේ එකා කිසිදු මූලික පරීක්ෂණයකින් පවා තොරව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමය. මේවා පොලිස් “කොමඩිය”.
රාජකාරියේ යෙදී සිටි රජයේ සේවකයෙකුට බාධා කිරීමේ වරදට දණ්ඩ නීති සංග්‍රහයේ 183 සහ 334 වගන්ති යටතේ චෝදනා ගොනු කළ හැකිය. එහෙත් මේ සිද්ධියේ දී පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම යනු වන්නිනායක කළ සිල්ලර වරදකි. මේ සිද්ධියේ භයානකම වරද වන්නේ ඔහු ගල්කිස්ස අධිකරණ භූමියේ සිට “ජාතිය” ඇමතීමය. එය පැහැදිලිව අධිකරණයට සිදු කළ අපහාසයකි. ජංගම දුරකතනයක් නාද වීමේ වරදට වසර ගණන් සිරදඬුවම් නියම වන රටක අධිකරණ භූමියේ අසභ්‍ය වචන වපුරමින් යකා නැටීම අධිකරණයට අපහාසයක් නොවන්නේ ද? ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තවමත් ගුණරත්න වන්නිනායක නම් “නීතිඥයා” ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට ඇඹරෙන්නේ ඇයි? එයට නීතිපතිවරයා බාධා කරමින් සිටින්නේ ද? ගුණරත්න වන්නිනායක සිදු කළ වරදේ තරම දන්නා නීතිඥ සංගමය සහ නීතිඥ ප්‍රජාව මේ සිද්ධිය ගොඩින් බේරා ගැනීමට උත්සාහ කරති. පොලිසිය ද දැනට කඳවුරු බැඳ සිටින්නේ නීතිඥ සංගමය සහ නීතිඥ ප්‍රජාව සමඟ මිස අසාධාරණයට ලක් වූ කොස්තාපල්වරයා සමඟ නොවෙයි. යුක්තිය ඉටුවෙනවා පමණක් නොව එය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය. එහෙත් වන්නිනායක සිද්ධියේදී තම රාජකාරිය ඉටු කළ කොස්තාපල්වරයාට යුක්තිය ඉටුවන බව පෙනෙන්නට නැත. යුක්තිය “නීතිඥ” බලපරාක්‍රමයෙන් සහ ඔවුන්ගේ සිවිල් බලයෙන් වැසීගොසිනි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
ප.ලි.
මේ සටහන ලියන මොහොතේ, පානදුර පොලිසියේ නිළධාරීන් පිරිසක් අන්තර් ජාලයට මුදාහැර ඇති වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් පවතියි. එහි සිටින්නේ වෛද්‍යවරියක සහ ඉංජිනේරු පෙම්වතුන් යුවලකි. ඔවුන් පොලිසියට කුදලාගෙන පැමිණ ඔවුන්ගේ ප්‍රකාශ වෙන වෙනම ලබා ගන්නා අවස්ථාවේ පානදුර පොලිස් නිළධාරීන් ඒවා විඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැර ඔවුන්ගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම විනාශකර තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ මෙය ඉල්ලා සිටි අල්ලසක් නොලැබීම හේතුවෙන් සිදුකරන පලිගැනීමක් බවයි. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී, මෙන්ම මූලික මානවහිමිකම් උල්ලංඝනය කරන ක්‍රියාවකි. අපට “ප්‍රියන්තට” කීමට ඇත්තේ කැතැයි, ලැජ්ජයි, නින්දිතයි කියාය. මෙවැනි පොලිසියකට නායකත්වයට දෙනවාට වඩා හරක් බලන එක නම්බුකාරය. එම පෙම්වතුන් යුවලගේ පෞද්ගලිකත්වය, නිදහස සහ සතුට වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිමු.
---------------------------
by (2025-10-20 22:57:03)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි