(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.21, පෙ.ව.5.10) මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙන ආ වැදගත්ම නීතියක් වන 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සිදුකර අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ස්ථාපනය කරනු ලබන විශේෂ පොලිස් කොට්ඨාසය, "අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය" (PCID) ඊයේ (20) නිල වශයෙන් ආරම්භ කෙරිණ.
මෙම කොට්ඨාසය (PCID) කොළඹ කොටුවේ පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැඟිල්ලෙහි පිහිටුවා ඇත. ග්‍රාම නිලධාරීවරයාගේ සිට සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, පෞද්ගලික නිලධාරීන් හා සේවකයන් මෙන්ම ඕනෑම පුද්ගලයෙක්ගේ අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කර, අදාළ දේපළ පවරා රජයට පවරා ගැනීමේ හැකියාව මෙම පනත මඟින් ලබාදී ඇත.
මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව තිබෙයි. නීතිවිරෝධීව උපයා ගත් දේපළ වල වටිනාකම ක්ෂය වී ඇති නම් ඒ හා සමාන වටිනාකමක් ඇති චුදිතයාට අයත් වෙනත් දේපොලක් පවරා ගැනීමට ද මේ මගින් බලය හිමි වී තිබේ. අපරාධයකින් උපයාගත් ධනය වෙනත් රටක ආයෝජනය කර තිබුනද පවරා ගැනීමේ බලතල මේ පනත මගින් ලැබී තිබේ.
මෙම නීතියේ ඇති අනෙක් වැදගත්ම කාරණය නම් මෙතෙක් පැවැති සියළු නීතිවලදී පැමිණිල්ල විසින් චෝදනා ඔප්පු කළ යුතු වූ නමුත් අපරාධයකින් උත්පාදනයක කර ගත් දේපොළ අරභයා එය තමන් නීත්‍යාණුකූලව උපයා ගත් බව ඔප්පු කළ යුත්තේ පැමිණිලි පාර්ශවය නොව විත්ති පාර්ශවය විසින් වීමයි.
සත්‍ය වශයෙන්ම මෙම නව කොට්ඨාශය ක්‍රියාත්මක වෙද්දී හොරුන්ට දූෂිතයන්ට මළ මුත්‍ර පහවීම නියත ය.
මෙම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ගුණතිලක ද පත් කර තිබේ.
ඊයේ (20) පැවැති මෙම නව විමර්ශන කොට්ඨාසය ආරම්භ කිරීමේ උත්සවය සහ මාධ්‍ය හමුව මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජයපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගේ ප්‍රධනත්වයෙන් පැවැතින.
"අපරාධයක් වූවාට පසුව ලැබෙන දඬුවම සමාජයටත් දැනෙන්න ඕනෑ. අවුරුදු 10කට පසුව දඬුවම ලැබුණාම මේ දඬුවම අසවල් අපරාධයට ලැබුණු දඬුවම බවට සමාජයට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සමාජයට යුක්තිය ලැබෙන්න නම්, නීතිය ක්‍රියාත්මක වන බව සමාජයට දැනෙන්න ඕනෑ. නීතිවිරෝධිව අත්පත් කරගන්නා කිසිවක් මින්පසුව පරිහරණය කිරීමේ හැකියාවක් නැතැ" යි මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මෙහි දී පැවසීය.
“අල්ලස, දූෂණය, මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කතිකාවතක් ඇති වුණා. මේ හරහා වරින් වර නීති සම්පාදනය වුණා වගේම යම් යම් සාධනීය දේ අත්පත් කරගත්තා. එහෙත් නීතිවලත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුත් විසඳන ඒකාබද්ධ ප්රවේශයකට මංපෙත් විවර කරන පනතක් ලෙස මේ පනත හඳුන්වා දෙන්න පුළුවන්. පනතක් සම්මත කිරීමෙන් ප්‍රතිඵල උදාකර ගන්න බෑ. සමහර පනත් සක්‍රිය වුණත් සමහර පනත් ක්‍රියාවේ යොදවා ගන්න හැකියාව ලැබිලා නැහැ. ගෝලීය වශයෙන් ඇති වන වෙනස්කම්වලට මුහුණ දීමට හැකි වන පරිදි නීති රීති අවශ්‍යයි වගේම සමහර නීති සංශෝධනය වීමත් අවශ්‍යයි.
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කරමින් තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය සම්බන්ධයෙන් මහජන ආරක්ෂණ, අධිකරණ, ජනමාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් මඟින් සාකච්ඡා පැවැත්වෙනවා. ඒ පනතට තව මාස දෙකකින් පමණ සංශෝධන ගේන්න හැකියාව ලැබෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඊට අනුගත අනෙකුත් කාරණා සම්බන්ධයෙන් සකස් වෙන පනතක් සම්බන්ධයෙන් මේ වෙද්දි කමිටුවක් මඟින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා පනතක් සකස් වෙමින් තිබෙනවා.
මේ විදිහට නීති සකස් වුණත්, නීතියක් තිබුණ පමණින් එහි සහන ජනතාවට ලැබෙන්නේ නැති බව අවධාරණය කළ යුතුයි. වැදගත් වන්නේ, නීතිය ක්‍රියාත්මක වෙනවා ද? කියන කාරණයයි. නීතිය ක්‍රියාත්මක වීමත් සමාජයට දැනෙන්න ඕනෑ. සමහර අධිකරණ තීන්දු ලැබෙන කාලය අනුව නීතියේ සාධාරණත්වය ලැබෙනවාද? කියන එක මතභේදයට ලක්වෙනවා.
අපරාධයක් වූවාට පසුව ලැබෙන දඬුවම සමාජයටත් දැනෙන්න ඕනෑ. අවුරුදු 10කට පසුව දඬුවම ලැබුණාම මේ දඬුවම අසවල් අපරාධයට ලැබුණු දඬුවම බවට සමාජයට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සමාජයට යුක්තිය ලැබෙන්න නම්, නීතිය ක්‍රියාත්මක වන බව සමාජයට දැනෙන්න ඕනෑ. සමාජයට එය දැනෙන එකත් අපරාධ වළක්වා ගැනීමට හේතුවක් වෙනවා.
අණ පනත්වලට වඩා නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා හා අඩුපාඩු මෙන්ම ප්‍රමාද නිසා ජනතාවට යුක්තිය ප්‍රමාද වෙනවා. මේ හැම ලිපි ගොනුවකම ඉන්නේ යුක්තිය ඉල්ලන මිනිස්සු. ඒ නිසා අපිට මේ පනත සුවිශේෂයි. මේ හරහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරවා ගැනීමේ බලතල දී තිබෙනවා. මෙය ජාත්‍යන්තර ප්‍රමිතියක් අනුව නිර්මාණය වූ පනතක්.
අලුත් පනත් නැතත් මේ පනත හරහාත් සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරමත් යම් පමණක් මැඬලිය හැකියි. සංවිධානාත්මක අපරාධකරුවන් බොහෝ දුරට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන්නේ මුදල් උපයන්න. යම් අයෙක් නීතිවිරෝධිව උපයා අත්පත් කරගන්න උත්සාහ කරන දේ මේ පනත හරහා ව්‍යර්ථ කළ හැකියි.
නීතිවිරෝධිව මුදල් උපයන්නේ, වත්කම් උපයා ගන්න. හැබැයි නීතිවිරෝධිව සියල්ල අත්පත් කර ගත්තද තමන්ට පරිහරණය කිරීමේ හැකියාව නැහැ කියන පණිවුඩය ලැබුණොත් තවදුරටත් නීතිවිරෝධි දේවල නිරත වීමේ ප්‍රයෝජනයක් නැති බව ඔවුන්ට හැඟෙනවා. මේ පනත හරහා නීතිවිරෝධිව අත්පත් කර ගන්නා කිසිවක් පරිහරණය කිරීමේ හැකියාව නැහැ.
අපරාධයකින් උත්පාදිත දේ හඳුනාගැනීම, සොයා ගැනීම හා සියලු අනුශාංගික කාරණා මෙයට අදාළයි. මේ පනත අනෙක් පනත් හා නීති ක්‍රියාත්මක කරන්න පිටිවහලක් වෙයි. අනෙක් කොට්ඨාසවලටත්, මේ කොට්ඨාසය හරහා තොරතුරු හා සාක්ෂි අනාවරණය කරගැනීමට හැකි වෙයි.
ආයතන, නීති හදනවා. ඒවා වර්තමානයට ගැළපෙන ලෙස මෙහෙයවා ගත යුතුයි. පළමු ලිපිගොනුවේ සිටම ඩිජිටල්කරණය කිරීම පහසුවක්. දහස් ගණන් ලිපිගොනු විමර්ශන ආයතවල තියෙනවා. අලුත් විමර්ශනයක් එනකොට පෙර විමර්ශන යට යනවා. සමහර විට මේවාට සම්බන්ධ පුද්ගලයන් අද ජීවතුන් අතරත් නැතුව ඇති. සමහර ලිපිගොනු හිතාමතා ප්‍රමාද කරනවා. පළමු පැමිණිල්ලේ සිට කෙටි කාලයක් තුළ ප්‍රතිඵල සමාජයට දිය යුතුයි.
රටකට ආර්ථීක ස්ථාවරතාවක් අවශ්‍යයි, ජනතාවට අවශ්‍ය සහන හා යටිතල පහසුකම් දෙන්න. එහිදී රටට ලැබෙන ධනය නීතිවිරෝධිව අත්පත් කරගැනීම වැළැක්විය යුතුයි. මහජනයා පීඩා විඳිමින් නීත්‍යනුකුලව ධනය උපයන විට සුළු කොටසක් සුවිශාල ධනස්කන්ධයක් නීතිවිරෝධිව උපයා ගැනීම නිසා යම් ආකාරයක කළු ආර්ථිකයක් නිර්මාණය වී නීතිවිරෝධි වත්කම් පරිහරණය කරන්න, අත්පත් කරගන්න හෝ ඒ ධනය හරහා තවත් ධනය උපයාගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.
මේ කොට්ඨාසය පුළුල්කර ශක්තිමත් කළ යුතුයි. අල්ලස දූෂණයට වැට බඳින්න මහඟු මෙවලමක් බවට මේ කොට්ඨාසය පත් වෙයි. කොට්ඨාසයේ ගුණාත්මකභාවය සුරකින්න පුහුණුව යටිතල පහසුකම් වගේම රැකියාවට සරිලන වැටුපක් වගේම උසස්වීම් ලබාදීමට කටයුතු කරනවා. පෙරළා ජනතාවට මේ නීතිරීති හරහා ජනතාවට ප්රතිලාභ ලබාදීමට අවංකව, කාර්යක්ෂමව කටයුතු කර ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. නීත්‍යනුකූලව ධනය උපයන අයට මේ හරහා බලපෑම් නොවිය යුතුයි.
පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට අමෙරිකානු ඩොලර් බිලියන 8ක් ලබාගෙන තිබුණ ද වත්කම් ලෙස තිබුණේ, අමෙරිකානු ඩොලර් බිලියන 2කටත් අඩු මුදලක් බව විගණකාධිපති වාර්තාවක සඳහන්ව තිබුණා. ඉතිරි ඩොලර් බිලියන 6ට සිදු වූ දෙය නොදන්නා නමුත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතින් ඒ සියල්ල යළි අත්පත් කරගැනීමට හැකියාව තියෙනවා."
මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි වංචා නිසා ඇතැම් අයට මූල්‍ය ප්රතිලාභ හිමිව තිබෙන බව ද මේ පනත යටතේ ඒ සම්බන්ධයෙන් ද විමර්ශන කාර්යක්ෂම වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම යමකු නීති විරෝධිව මුදල් උපයා යම් යම් දේපොළ හෝ වෙනත් දෑ අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේ නම්, ඒවා මැඬපැවැත්වීමට ද මෙම පනත මඟින් හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා කිවේය. "මෙය ඉතා සුවිශේෂි පනතක් වෙනවා. මෙමඟින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. මේ රටට දැන් අලුත් පනත් නැතත් මේ පනත මඟින් සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යයත් යම් ප්‍රමාණයකින් මැඬ පවත්වන්නට හැකියාව ලැබෙනවා." ඇමැති විජේපාල පැවසීය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන පනත මෙන් සුවිශේෂි බලයක් ලැබුණු පනතක් මින් පෙර නීති පද්ධතිවල නොතිබුණු බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට උපරිම බලයක් මෙමඟින් ලැබෙන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේය. මේ බලය අවභාවිත නොකර මහජනතාවගේ යහපත සහ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා යොදවන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා වූ පනත් කොටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ වන විටත් කටයුතු සුදානම් කර ඇති බව ද පොලිස්පතිවරයා කීවේය. මේ නිසා මිනිසුන් වැනසීම නවතා වෙනත් රක්ෂා සොයා ගන්නැයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බව කී පොලිස්පතිවරයා, සංවිධානාත්මක අපරාධවලින් තොර රටක් නිර්මාණය කිරීමට සියලු දෙනා පෙළ ගැසිය යුතු යැයිද කීවේය. මේ සඳහා ගමේ පන්සලේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් ඉදිරියේදී ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බවත් පොලිස්පතිවරයා පැවසුවේය.
මෙම නව කොට්ඨාසයේ මානව සම්පත ඇතුළු අනෙකුත් විශේෂ සම්පත්වල අවශ්‍යතා මාස තුනක් වැනි කාලයකින් නිම කර දෙන්නට පොරොන්දු වන බවත් හෙතෙම මෙහිදී කීවේය.
(දිනමිණ වාර්තා ද ඇසුරු කෙරිණ)
---------------------------
by (2025-10-20 23:54:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි