~

වැලිගම ප්‍රාදේශීය සභාවේ සජබ සභාපති 'මිදිගම ලසා' වෙඩිතබා ඝාතනය කරයි..! පාතාල සම්බන්ධතා සහ නඩු රැසක් තිබූ අයෙක්..!!

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.22, ප.ව‍.1.00) වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති (සජබ), ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' නමැත්තා ජීවිතක්ෂයට පත්විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 38 ක් විය. 

අද (22) උදෑසන 10.30ට පමණ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් ඔහුට වෙඩි තබා පලාගොස් තිබිණ. සභාපතිවරයා හමුවී ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස වෙඩික්කරුවන් දෙදෙනා ප්‍රාදේශීය සභාව තුළට පැමිණ තිබේ.  

වෙඩි ප්‍රහාරයට ලක්වූ 'මිදිගම ලසා' ‍මාතර මහ රෝහලට ඇතුළත් කරද්දීත් මිය ගොස් සිටියේ ය. ඔහුගේ මුහුණට සහ ගෙල ප්‍රදේශයට වෙඩි වැදී තිබේ. වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇත.  

ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තරඟ කරද්දී ද මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගැනීමට ලක් විය. තවත් මාලිමා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 

පාතාල ක්‍රියාකාරීන් සමග සමීප සම්බන්ධතා..

ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' පාතාල ක්‍රියාකාරීන් සමග සමීප සම්බන්ධතා තිබූ අයෙකි. 

අමිල හෙට්ටිහේවා හෙවත් 'සන්ෂයින් සුද්දා' ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබිණ. 

පාතාල කල්ලි නායකයෙකු වන රුවන් චින්තක හෙවත් හරක් කටාගේ ජාවාරම් මෙහෙයවන ප්‍රධානතම අනුගාමිකයා 'මිදිගම ලසා' බවට පොලිසිය හඳුනාගෙන තිබිණ.

ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' සිදු කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූූ සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකි.

ටී 56 ගිනි අවියක් නිවසේ තිබුනා..

2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇඟලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද, පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද, ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන්ද, පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන්ද ඇතුලුව අපරාධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විවිධ අධිකරණ වල විභාග වෙමින් තිබේ.

ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සඳහා වැලිගම ප්‍රාදේශිය සභාව සඳහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් සජබ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ජයගත්තේ ය. 

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට ඔහු පත්වූයේ පොහොට්ටුවේ ද සහාය ඇතිව එක් වැඩි ඡන්දයකිනි.

අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් ගේ අධික්ෂණයෙන් ක්‍රියාත්මක වේ. 

---------------------------
by     (2025-10-22 08:07:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links