~

මාලිමා ආණ්ඩුවේ පළමු දේශපාලන පරාජයට හේතු වූ 'අඳනකඩ භීතිකාව'..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.24, පෙ.ව‍.5.00) පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට තමා සහතික කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ඔක්තෝබර් 17දා පැවසීය. වත්මන් රජය නීති හදන්නේ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් විනා පාලකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නොවන බව ද ඉතිහාසයේ පාලකයන්ගේ උවමනාවට පනත් ගෙනෙමින් ව්‍යවස්ථා හා ව්‍යවස්ථා සංශෝධන හැදූ බව ද ජනපතිවරයා කියා සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ 22 වන ජාතික ගුරු සමුළුව අමතමිනි.

“පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියා වෙනුවෙනි. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම සහතික කරනවා. නීති හදන්නේ ජනතාව වෙනුවෙන් නම් ඒ නීතිවලට අනුගත වේන්නේ ජනතාව නම් ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරනවා නම් එම නීති සම්මත කිරීමෙන් පලක් නෑ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කර තිබෙනවා. අපි නීති හදන්නේ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් විනා පාලකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නොවන බවට මම ඔබට සපථ කරනවා” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය. 

ජනාධිපතිවරයා කියන “යම් පනත” කුමක් ද? 

ජනාධිපතිවරයා කියා සිටින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “යම් පනත” කුමක් ද? මේ “යම් පනත” යනු මාලිමා ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේ ගැසට් කරනු ලැබූ දණ්ඩ නීති සංග්‍රහයට ඉදිරිපත් කළ සංශෝධනයන්ය. මේ සංශෝධනයන්ගේ අරමුණ ළමා හිංසනයට වැට බැඳීමය. මාලිමා ආණ්ඩුව මේ සංශෝධන ඉදිරිපත් කරනු ලැබූවේ හදිසි පනතක් වශයෙන් නොවේ. මේ සංශෝධන ගැසට් කිරීමෙන් පසුව එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සති දෙකක කාලයක් තිබිණි. එහෙත් දේශපාලන පක්ෂ හෝ සිවිල් සංවිධාන නියෝජනය කරමින් කිසිවෙකු මේ සංශෝධනයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත. කිසිදු සිවිල් පුරවැසියෙකු එවැනි විරෝධයක් ගොනු කළේ ද නැත. අදාළ සංශෝධනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය පාර්ලිමේන්තුවේ සරළ බහුතරයෙන් සම්මත කළ හැකි  බව කථානායකයාට දැනුම් දුන්නේ ය. ඒ අනුව මාලිමා ආණ්ඩුව වෙනුවෙන් සාවිත්‍රි පෝල්රාජ් ඇමතිනිය එම සංශෝධන සහිත පනත පසුගිය සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට ඉදිරිපත් කළේ ය. අවසාන පියවර වූයේ පනත තුන්වන වර කියවා සරළ බහුතරයෙන් සම්මත කිරීමය. පාර්ලිමේන්තුවේ මූලික වගකීම නීති සම්පාදනය වන අතර එම අවස්ථාවේ අදාළ වගකීම අකුරටම ඉටු කරමින් තිබිණ.   එහෙත් එහි අවසාන පියවරට පෙර හදිසියේම ජනාධිපතිවරයා කියන “පොදු පුරවැසියන්” මේ පනතට විරුද්ධවීම හේතුවෙන් මාලිමා ආණ්ඩුව අදාළ පනත දැන් හකුලා ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ගුරු සමුළු අමතමින් ඒ බව යළි තහවුරු කළේ ය.

“පොදු පුරවැසියන්” කවුද ?

මාලිමා ආණ්ඩුවට මේ පනත හකුලා ගැනීමට තරම් බලපෑමක් කළ “පොදු පුරවැසියන්” කවුද? මේ පනත ගැසට් කර තිබූ කාලයේ “පොදු පුරවැසියන්” තබා සාමාන්‍ය පුරවැසියෙකු පවා එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත. ජනාධිපතිවරයා කියන මේ “පොදු පුරවැසියන්” යනු පසුගිය මැතිවරණවලදී කුල්ල කුජීත ලෙස පරාජය වූ සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී,  රාජපක්ෂ කඳවුර සහ ඔවුන්ගේ කිහිලිකරු දෙක වන මහනායකලා සහ කාඩිනල් මැල්කම් රංජිත් ය. මේ පනතට එරෙහිව අවසාන මොහොතේ බිල්ලන් මැවීමට කරළියට පැමිණියේ මෙරට දේශපාලනයේ පිසාචයන් දෙදෙනාවන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලය. ඇතැම් ගුරු සංගම් මේ මෙහෙයුමට සම්බන්ධ විය. ඔවුහු ළමා හිංසනය නැවැත්වීමට මාරාන්තික ලෙස විරුද්ධ වූහ. එහෙත් මේ බලවේග අයත් වන්නේ අතීතයට මිස වර්තමානයට නොවෙයි. ළමා හිංසනය සිදු කරන ශාරීරික දඬුවම් ක්‍රම වර්තමාන ශිෂ්ට ලෝකය පිලිගන්නේ නැත. ඒවා අතීතයේ උපාය උපක්‍රමයන්ය.  එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය, යුනිසෙෆ් සංවිධානයේ නිර්නායක ශාරීරික දඬුවම් ක්‍රම දැඩිව ලෙස බැහැර කර තිබේ. ශාරීරික දඬුවම් හේතුවෙන් ළමුන්ගේ මානසික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් සිදු වන බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇත. මේවා “බටහිර කුමන්ත්‍රණ” නොවෙයි. අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසියාවේ බොහෝ රටවල් ද ළමුන්ට ශාරීරික දඬුවම් ලබාදීම නවතා දමා බොහෝ කාලයකි.

ප්‍රභූ දේශපාලනය පරාජය කර මාලිමාවට ලබා දුන් ඵෙතිහාසික ජනවරම…

“දෙදහස් පන්සීයේ සීන් එක” කර තබාගෙන යන  සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී රාජපක්ෂ කඳවුරට නවීන ලෝකය ඇලජික්ය. ගුරු සංගම් ළමා හිංසනය සිදු කරන ශාරීරික දඬුවම් තහනම් කිරීමට විරුද්ධ වන්නේ දරුවන්ගේ කන් පලා, අත පය කඩා දණ්ඩමුක්තිය ලබා ගැනීමටය. ඔවුන්ට ඇත්තේ  දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදී වීරයන් සේ වැජඹීමේ පරපීඩික කාමුකත්ව ආශාවන්ය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලිමා ආණ්ඩුව බිය වී සිටින “පොදු පුරවැසියන්” යනු රාජපක්ෂ කඳවුර සහ ආගමික සංස්ථාවයි. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේ දී මේ රටේ ජනතාව ප්‍රභූ දේශපාලනය තීරණාත්මක ලෙස පරාජය කර මාලිමාවට ඵෙතිහාසික ජනවරමක් ලබා දුන්නේ ය. මහ මැතිවරණයේ දී ලක්ෂ හැට අටක ජනවරමක් මාලිමාවට හිමිවිය. ඡන්දදායකයෝ සියයට 61.5ක් මාලිමාව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ පිලිගත්හ. පාර්ලිමේන්තුවේ සිටින මාලිමා මන්ත්‍රීවරු එකසිය පනස්නම දෙනා එම ජනවරම නියෝජනය කරති. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයයි. ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ මාලිමා ආණ්ඩුවට තම ජනවරම ක්‍රියාත්මක කිරීමට තවදුරටත් “පොදු පුරවැසියන්”ගේ  එකඟතාවයක් අවශ්‍ය නැත. 

මාලිමා ආණ්ඩුවට කෙළවනතුරු බලා සිටින  “පොදු පුරවැසියන්”..

පසුගිය මහ මැතිවරණයේ දී මාලිමාවට විරුද්ධව ඡන්දය ලබාදුන් ප්‍රමාණය සියයට 38.5 කි. මේ පිරිස මාලිමා ආණ්ඩුව සිදුකරන ඕනෑම වැඩපිළිවෙළකට විරුද්ධය. ඔවුන් බලා සිටින්නේ ඉඩ ලැබෙන ඕනෑම මොහොතක මාලිමා ආණ්ඩුවට කෙළවීමටය. නිදසුනකට ළමා හිංසන වැළැක්වීමේ  පනත ඉදිරියේ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින්ගේ හැසිරීම ගනිමු. ඔහු පෞද්ගලිකව ආණ්ඩුවේ යෝජිත පනත ඉදිරිගාමී ප්‍රගතිශීලී ප්‍රවේශයක් වශයෙන් ප්‍රශංසා කරයි. එහෙත් ප්‍රසිද්ධියේ එයට සහයෝගය නොදෙයි. ඔහුගේ ගුරු සංගමය පනතට මාරාන්තිකව විරුද්ධය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මාලිමා ආණ්ඩුවට කෙළවනු දැකීමය. එය පැහැදිවම බල දේශපාලන කුහකකමයි. මාලිමා ආණ්ඩුව සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බවට රාජපක්ෂ බයි කඳවුර සහ ආගමික සංස්ථාව ඉතා අසාධාරණ විවේචනයක් ඉදිරිපත් කළහ. අපේ සංචාරක මණ්ඩලය ශ්‍රී ලංකාව යනු සමලිංගිකයන්ට සුරක්ෂිත ගමනාන්තයක් බව ප්‍රකාශ කිරීමට ගත් තීරණය මේ ව්‍යාජ අර්බූදයට හේතු විය. රනිල් රාජපක්ෂ ආණ්ඩුව සමයේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී (දැන් සිලින්ඩරයේ)  ප්‍රේමනාත් සී. දොලවත්ත  සමලිංගික අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා වැදගත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම ඔහුගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ අරමුණ විය. එහෙත් මාලිමා ආණ්ඩුවට සමලිංගික ප්‍රවර්ධන පිළිබඳව අසාධාරණ චෝදනා එල්ල වෙද්දී දොලවත්තලා කටක් ඇරියේ නැත. සමලිංගික අයිතිවාසිකම් ගැන දිනපතා කථා කරන රනිල් වික්‍රමසිංහගේ “ලිබරල්” අනුගාමිකයෝ ද නිහඬව සිටියහ. ඒ සියලු දෙනාටම අවශ්‍ය වූයේ මාලිමා ආණ්ඩුවට කෙළවීමය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලිමාව බිය වී සිටින “පොදු පුරවැසියන්” යනු ආණ්ඩුවේ කිසිදු ප්‍රගතිශීලී, ඉදිරිගාමී වැඩ පිළිවෙලකට සහයෝගය නොදෙන දැඩි මාලිමා විරෝධී බලවේගයකි. ඔවුන්ගේ සහයෝගයෙන් සහ අනුමැතියෙන් නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තුවේ නම් එය කිසිදිනෙක ඉටුනොවන දවල් සිහිනයකි. ඔවුන් ඇඟිලි ගනිමින් බලාසිටින්නේ මාලිමා ආණ්ඩුව බිඳ වැටෙන තුරුය. 

ජනවරම සහ ජනතා පරමාධිපත්‍ය පාවාදීම…

සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී රාජපක්ෂ කඳවුර, ගුරු වෘත්තීය සමිති,  සහ ආගමික සංස්ථාවට බියවී ළමා හිංසනයට වැට බැඳීමේ පනත හකුලා ගැනීම යනු ලක්ෂ හැට අටක ජනවරම සහ ඒ හරහා හිමි වූ ජනතා පරමාධිපත්‍ය අමු අමුවේ පාවාදීමකි. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවකට දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට නොහැකිවීම දැවැන්ත දේශපාලන පරාජයකි. එමෙන්ම එය වැරදි පූර්වාදර්ශයකි. ඉදිරියේ දී මාලිමා ආණ්ඩුව ගෙන එන ඕනෑම වැදගත්, ඉදිරිගාමී පනතක් නැවැත්වීමේ හැකියාව රාජපක්ෂ කඳවුර සහ ආගමික සංස්ථාවට ලැබීමේ වැරදි පූර්වාදර්ශය ද “පොදු පුරවැසියන්”ට බියවීම හරහා නිර්මාණය වී ඇත. එයට අමතරව ළමා හිංසන විරෝධී පනත වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන් සියළු දෙනා ද මාලිමා ආණ්ඩුව විසින් පාවා දී තිබේ. ආණ්ඩුවක් ගෙන එන ඕනෑම පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කළ හැකිය. එයට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය සෑම පනතක්ම ව්‍යවස්ථාවට එකඟ දැයි විමසීමක් කරයි. එබැවින් නීති විරෝධී,  ව්‍යවස්ථා විරෝධී පනත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නොහැකිය. 

මාලිමා ආණ්ඩුවට තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදීවීමට අවශ්‍ය නම් (එය අනිවාර්ය කොන්දේසියක් නොවෙයි) සමාජයට දැඩිව බලපාන ඉදිරිගාමී නව පනත් සම්පාදනයට පෙර ඒ සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීම සඳහා  සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රැස්වීම් සංවිධානය කළ හැකිය. එසේ නොමැති නම් අදාළ පනත් සඳහා ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණ පැවැත්විය හැකිය. මේ ප්‍රවේශ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල අනුගමනය කරයි. ජාතික මැතිවරණ පැවැත්වෙන අවස්ථාවේ ballot proposals වශයෙන් ව්‍යවස්ථා සංශෝධන, නව ප්‍රතිපත්ති, යෝජනා කිහිපයක් පිළිබඳ ඡන්දදායක කැමැත්ත විමසීම සිදුවෙයි. ඖෂධයක් වශයෙන් කංසා භාවිතයට  අවසරදීම, යම් සෞඛ්‍ය තත්ත්වයන් යටතේ ගබ්සාවන්ට ඉඩ දීම, යම් රක්ෂිත වගුරු බිමක් නව ජනාවාස සඳහා යොදා ගැනීම මෙවැනි යෝජනාවන්ට නිදසුන් කිහිපයකි.  බොහෝ විට මෙවැනි යෝජනා, ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන ඡන්ද පත්‍රිකාවේ අනෙක් පැත්තේ මුද්‍රණය කර තිබේ. ඒ මගින් මැතිවරණ වියදම අවම කර ගනියි. එහි දී ඡන්ද දායකයන් විසින් අනුමත කරන යෝජනා පමණක් ආණ්ඩු ඉදිරියට ගෙන යයි. නීති සම්පාදනයේදී මාලිමා ආණ්ඩුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අනුගමනය කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මිස ජනාධිපතිවරයා කියන “පොදු පුරවැසියන්” (ආගමික සංස්ථාව ඇතුළුව)ගේ අනුමැතිය ලබා ගැනීම හෝ ඔවුන් ඉදිරියේ දණ ගසා, පරාජය බාරගෙන පසුබැසීම නොවෙයි.

ආගමික සංස්ථාවට යටවූ ආණ්ඩුව..

මහනායක හිමිවරු, සහ කාදිනල්වරයා එවන ලිපියකට බිය වී තමන් මාස ගණනාවක් පුරා සකස් කර පාර්ලිමේන්තුවට නීත්‍යානුකූලව ඉදිරිපත් කරන පනතක් හකුලා ගන්නා ආණ්ඩුවක්වේ නම් එය වචනයේ පරිසමාර්ථාර්ථයෙන් බියගුළු, නෝන්ජල් ආණ්ඩුවකි. යම් ආණ්ඩුවක් ආගමික සංස්ථාවට යටත්වේ නම් ඔවුන්ගේ දේශපාලන ගමන අවසන් වන්නේ දැවැන්ත ඛේදවාචකයකිනි. ආගම සහ රාජ්‍ය එකිනෙක වෙන්ව පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු බව කියන්නේ මෙවැනි දේශපාලන ඛෙදවාචක වළක්වා ගැනීම සඳහාය. ජනාධිපති අනුර කුමාර දිසානායක අටපිරිකර උස්සාගෙන මහනායකයන් මුණගැසීමට පන්සල් ගානේ ගාටනවිට මාලිමා ආණ්ඩුව මේ ඉරණමට මුහුණ දෙනු ඇතැයි දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති බොහෝ දෙනෙක් අනාවැකි පල කළහ. මාලිමා ආණ්ඩුවට ලැබිය යුතු ප්‍රතිචාරය ඒ ආකාරයෙන් දැන් ලැබී තිබේ.  ‘තල වපුරා මුං බලාපොරොත්තු නොවන්න. තල වපුරන්නාට තල ද, මුං වපුරන්නාට මුං ද අස්වැන්න සේ ලැබෙනු ඇත’. ඒ  බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලිමා ආණ්ඩුවට අපි මතක් කිරීමට කැමැත්තෙමු.

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-10-23 23:32:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links