~

"තෙන්නකෝන්ගේ සමාජ සමයං" - හොම්බ බිම් ඇනගත් ජාතිවාදී අඬහැර යළිත් අළු ගසමින් නැගිටින්න දඟලයි...!

-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.24, පෙ.ව‍.5.40) ලංකාවේ හිටපු මාධ්‍යවේදියෙකු වූ උපාලි තෙන්නකෝන්, දැනට දින කිහිපයකට පෙර මුහුණු පොතේ පළ කර තිබූ සටහනක් මගේ ඇස ගැටුණේ පසුගිය 22 වැනි දා ය. ඔහුව මම පුද්ගලිකව ඇසුරු කර නැතත්, මම වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කටයුතු කරන අවදියේ  'දිවයින' පුවත් පත් කාර්යාලයට ගිය ඇතැම් අවස්ථාවලදී ඔහුව දැක ඇත්තෙමි. ඔහු ඒ කාලයේ කටයුතු කළේ 'දිනපතා දිවයින' පුවත් පතේ ප්‍රධාන කර්තෘ ලෙස ය.

කතුවරයෙකු ගේ ලේඛන කලාවේ 'මහිමය'

සිංහල භාෂාවෙන් පළ වූ ජාතික පුවත් පතක කර්තෘ ලෙස කටයුතු කළ අයෙකු ලියා තිබු ඉහත කී සටහනේ ශීර්ෂ පාඨය ඇස ගැටුණු විගස මට පළමුවෙන් ඇති වූයේ අතිශයින් කණගාටුවකි. දෙවනුව, මේ කතු තුමා ලියූ දෑ කියවා ඇති පාඨකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. කතු තුමාගේ සටහනේ ශීර්ෂ පාඨයට යොදා තිබුණේ "ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න" යනුවෙනි. මෙය අත් වැරදීමකින් සිදු වී ඇතැයි සිතා මම සටහන අවසන් වන තුරුම කියවීමි. පුදුමයට කාරණය නම් සටහන අවසන් කර තිබුණේ  ද  "ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න" යනුවෙන්ම ය. කාට 'ඔබලා' ද? මොකකට 'ඔබලා' ද? යන්න පැහැදිළි නැත.

සම්මත ලිවීමේ භාෂාවට අනුව නම්, එය ලියා තැබිය යුත්තේ, " ඔබ විසින් බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න" හෝ " ඔබ සැම බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න"  ලෙස ය. කතුවරයෙකු ගේ ලේඛන කලාවේ 'මහිමය' ගැන කතා කිරීම පසෙක ලා එහි තිබූ අනෙක් කාරණා ගැන විමසා බැලීම මේ සටහනේ මුඛ්‍යාර්ථය ය.

තෙන්නකෝන්ගේ 'සමාජ සමයං'

මොහුගේ සටහනට අනුව ලංකාවේ වත්මන් පාලන බලය අත් පත් කර ගෙන සිටින නායකයෝ දුර්වලයෝ ය. කෙතරම් දුර්වල ද යත්, මෛත්‍රීපාල සිරිසේනටත් වඩා දුර්වලය. මොහුගේ ජීවිත කාලය පුරාවටම, මේ වැනි දුර්වල නායකයන් පිරිසක් මීට පෙර කිසි දිනෙක දුටු බවට මොහුට මතක නැතැයි පවසා ඇත.  එය එසේ තිබියදීත්, ඒ සියල්ල අභිබවා මොහුට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ, දෙමළ ඩයස්පෝරාව සමඟ වත්මන් පාලකයන් හට තිබෙන සම්බන්ධය සහ ගනුදෙනුව බව මොහු සඳහන් කර ඇත. එය ඉතාමත් භයානක බව ද මොහු කියයි.

උතුරේ, දකුණේ හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක සිටින දෙමළ ජනතාව සමඟ ගනුදෙනු කිරීම, ඔවුන්ගේ යහපතට ක්‍රියා කිරීම හෝ ඔවුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම කළ යුතු වුවත්, එවැනි ප්‍රශ්න ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද මොහු එම සටහනේ ලියා ඇත.

ප්‍රශ්නය ඇත්තේ දෙමළ ඩයස්පෝරාව සමඟ බවත්, එළැඹෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ඩයස්පෝරාවේ උවමනාවට බව බොහෝ අයගේ විශ්වාසයක් ඇති බවත් මොහු පවසයි. වත්මන් නායකයා වූ අනුර කුමාර දිසානායක දෙමළ ඩයස්පෝරාවේ උගුලට හසුව ඇති නිසා එයින් රට බේරා ගැනීමට නම්, නැවතත් කීර්ති විජයබාහු කෙනෙක් පහළ වෙන තුරු වසර සිය ගණනක් ඉන්න වෙන බවත් මොහු සැක හැර කියයි. 

දෙමළ ඩයස්පෝරාවට නොරැවටෙන මෙන් වත්මන් නායකයින්ට දන්වා සිටින මේ හිටපු කතු තුමා, "ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න" යැයි කියයි. එසේ කළේ නැති නම් ඊට සම්මාදම් වෙන හැමෝටම රට අත්හැර යන්නට සිදු වෙන බවට කිසිදු සැකයක් නැති බව ද කියයි.

සිය දිවි නසා නොගැනීම ගැන සතුටුයි..

ලොස් ඇන්ජලීස් වල සිටින උපාලි තෙන්නකෝන්ට, වත්මන් පාලකයන් පිළිබඳව පෙර නොවූ විරූ තරම් කලකිරීමක් ඇති වී ඇත්තේ, උදේ පාන්දර සිට නරඹන ශ්‍රී ලාංකික YouTube චැනල් වල කියන දේවල් ටික ඇසීම නිසා ය. ඔහු නරඹනවා යැයි ඔහු විසින් සඳහන් කර ඇති චැනල් ලැයිස්තුව දුටු විට, මට සතුටක් දැනුනේ මේ මනුස්සයා සිය දිවි නසා නොගෙන කළකිරීම ඇති  වී පමණක් බේරී සිටින නිසා ය.

තැටමිල්ලේ ගොන් තර්ක..

මෛත්‍රීපාලට වඩා අනුර දුර්වල යැයි උපාලි තෙන්නකෝන් කියා ඇති නමුත්, ඒ කුමන ක්ෂේත්‍ර වලින් ද? ඒ කෙසේ ද ? යන්න ගැන කිසිම පැහැදිලි කිරීමක් සිදු කර නැත. අදාළ සටහන තුළ පැහැදිලි කිරීමට යන්තම් හෝ උත්සාහයක් ගෙන ඇති බව පෙනෙන්නේ, වත්මන් පාලකයන් දෙමළ ඩයස්පෝරාව සමඟ සම්බන්ධයක් ඇතැයි පෙන්වීමට ය. ඒ උත්සාහයත් 'තැටමිල්ලකට' වැඩි මනත් දෙයක් නොවේ. එම 'තැටමිල්ලේ' දී ත් ගෙන හැර දක්වන්නේ ගොන් තර්කයකි. එනම්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් වන්නේ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට ය යන්නය. 

මේ වන විට පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා වැඩියෙන්ම හඬ තලමින් සිටින්නේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය ය. මොහුගේ තර්කයට අනුව නම් දෙමළ ඩයස්පෝරාවේ උවමනාව වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂයේ පක්ෂ ය. අපට නම් පෙනෙන ආකාරයට උපාලි තෙන්නකෝන් මේ අර අඳින්නේ, රාජපක්ෂවාදීන් විසින් මීට පෙර ලංකාව තුළ ගොඩ නැගූ ජාතිවාදී බලවේග, නැවත වතාවක් හිමින් සීරුවේ කරලියට ගෙන එන්නට පුළුවන් දැයි බලන උත්සාහයකට ය.

සට්ටැඹි උපාලි තෙන්නකෝන්ගේ අමු ගෝත්‍රික ජාතිවාදී ඉතිහාසය.. 

උපාලි තෙන්නකෝන් යනු 'දිවයින' පුවත් පතේ කර්තෘ ලෙස සිටිමින්, අමු ගෝත්‍රික ජාතිවාදියෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකු බව ඔහු ගේ ඉතිහාසය පිළිබඳ දන්නා අය ඉතා හොඳින් දනිති. රාජපක්ෂලාගේ අසූචි බුදිමින් මොහු  රාජපක්ෂලාට සට්ටැඹිකම් කළ ආකාරය වඩාත් හොඳින් දන්නේ ඒ අවදියේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි පිරිස ය.

මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන විට, මාධ්‍යවේදීන්ව අතුරුදහන් කරන විට, මාධ්‍යවේදීන් මරා දමන විට, එපමණක් නොව 'ලංකා ඊ නිවුස්', 'සිරස', 'සියත' වැනි මාධ්‍ය ආයතන ගිනි තබන විට, ප්‍රහාර එල්ල කරන විට, කතු වැකියක් තියා එක අකුරක්වත් ලියා ඒ මර්දනයට එරෙහිව උපාලි තෙන්නකෝන් පෙනී නොසිටි ආකාරය හොඳින් දන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින පිරිස් ය. 

රාජ්‍ය මර්දනයට එරෙහිව උද්ඝෝෂනයක්, පිකටින් එකක් වැනි ක්‍රියාකාරකම් සිදු කළ විට මේ තෙන්නකෝන් කළේ, එම උද්ඝෝෂණය සංවිධානය කළ මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන කොටි ඩයස්පෝරාවේ සහ ජාත්‍යන්තර NGO කාරයන් ලෙස නම් කර උද්ඝෝෂකයන් ද්‍රෝහීන් කර රාජ්‍ය මර්දකයන්ගේ පැත්තේ හිට ගැනීම ය. ඒ සඳහා මොහු පාවිච්චි කළ ජාතිවාදීයා වූයේ එවකට දිවයින පුවත්පතේ සිටි කීර්ති වර්ණකුලසූරිය ය.

රාජපක්ෂලාගේ පාලනය යටතේ ලසන්ත වික්‍රමතුංග මරා දැමූ විට, "ආණඩුවේ වගකීම ඝාතනය ගැන සොයා බැලීමට කටයුතු කිරීම" බව පමණක් සඳහන් කරමින් ' පතෝල ' කතු වැකියක් ලියා රාජපක්ෂලාව ආරක්ෂා කරන්නට මේ තෙන්නකෝන් කටයුතු කළ ආකාරය ලංකාවේ මාධ්‍යවේදීහු හොඳින් දනිති.

ජනාධිපති අරමුදලින් පුතාට ශිෂ්‍යත්වයක්..

රාජපක්ෂලා සැලකුවේ, තමන් වෙනුවෙන් සට්ටැඹිකම් කළ මොහුට පමණක් නොවේ ය. මොහුගේ පුතාට ද සැලකීමට රාජපක්ෂලා අමතක කළේ නැත. රටේ ජනතාවගේ බදු මුදලින් ගොඩ නඟා ඇති ජනාධිපති අරමුදලේ මුදල් වලින් පුත්‍රයාට ඇමැරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ශිෂ්‍යත්වයක් ලබා දීමෙන් එය ඔවුන් සනාථ කර පෙන්වා ඇත.

රාජපක්ෂලා උපාලි තෙන්නකෝන්ටත් ගැහුවේ ඇයි?

එසේ නම් රාජපක්ෂ පාලන සමයේදී ම උපාලි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වුණේ කොහොමදැයි, මෙය කියවන පාඨකයාට ගැටලුවක් පැන නැඟී ම ස්වාභාවික ය. ඒ නිසා ඒ ගැන ද යමක් කිව යුතුය. ඊට ඇති සරලම පිළිතුර නම්, මේ ප්‍රහාරයේ අරමුණ වූයේ, ලසන්ත වික්‍රමතුංග වැනි රාජපක්ෂලාගේ දූෂණ හෙළි කළ කර්තෘවරයෙක් මරා දමන විට, රාජපක්ෂලාගේ සුවච කීකරු කර්තෘවරයෙක්ටද ප්‍රහාරයක් එල්ල වී ඇති බව පෙන්වීමෙන්, ලසන්ත ඝාතනය රාජපක්ෂලා විවේචනය කිරීම නිසා සිදු වූ දෙයක් නොවන බවට ඒත්තු ගැන්වීම ය. රාජපක්ෂලාට අවශ්‍ය වූයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන්නේ වෙනත් පිරිසක් බව පෙන්වීමටය. පහරකෑමට ලක් වූ උපාලි තෙන්නකෝන් කඩිනමින් ගියේ ලොස් ඇන්ජලිස් සිටින පුතා ලඟට ය.

උපාලි තෙන්නකෝන්ට එල්ල කළ ප්‍රහාරයට චෝදනා ලැබ සිටින එක් අයෙකු වන්නේ යුධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරියෙකු වූ 'උදලාගම' නමැත්තා ය. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී ඔහුව හඳුනා ගෙන ගත්තේ ද උපාලි තෙන්නකෝන් ය. ප්‍රහාරයට ගොදුරු වන අවස්ථාවේ දී උපාලි තෙන්නකෝන් ගමන් ගත් රථයේ සටහන් වී තිබූ ඇඟිලි සළකුණු සහ උදලාගමගේ ඇඟිලි සළකුණු දෙකම එකක් බව ද පැහැදිලි විය. තෙන්නකෝන්ලාට අනුව උදලාගමලා කොටි ඩයස්පෝරාවේන් රට බේරාගත් රණවිරුවන්ය. එසේම, අනුර කුමාර දිසානායක සහ වත්මන් ආණ්ඩුව කොටි ඩයස්පෝරාවේ උවමනාවට වැඩ කරමින් සිටින අය ය. 

උපාලි තෙන්නකෝන්ට රත්තරන් අවස්ථාවක් ලැබී ඇත..

උපාලි තෙන්නකෝන්ට ප්‍රහාර එල්ල කළ උදලාගමලාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ පවතින අංක HC/212/19 දරණ නඩුව සඳහා මේ වනවිට උදලාගමට එරෙහිව අධිචෝදනා භාර දී ඇත. එය සිදු කර ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස සිටින වත්මන් කාලයේ ය. උපාලි තෙන්නකෝන්ට අනුව අනුර කුමාර දිසානායක වැඩ කරන්නේ කොටි ඩයස්පෝරාවේ උවමනාවට නම්, රණවිරු උදලාගමට අධිචෝදනා භාර දීමට මේ රජය වැඩ කර ඇත්තේ කොටි ඩයස්පෝරාවේ උවමනාව වෙනුවෙන්  'රණවිරුවන්' පාවා දීමට විය හැකි යැයි කල්පනා කිරීමට ද උපාලි තෙන්නකෝන්ට පුලුවන් ය. එසේ නම් මේ මොහොතේ උපාලි තෙන්නකෝන්ට රත්තරන් අවස්ථාවක් ලැබී ඇත. එනම් වහාම ලංකාවට ගොස් තමාට පහර දුන්නා යැයි තමා විසින්ම හඳුනා ගත් උදලාගම 'රණවිරුවාට' ලබා දී ඇති අධිචෝදනාව වහාම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීම ය.

අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව, උපාලි තෙන්නකෝන්ට කළ හැකි තවත් ප්‍රධාන කටයුත්තක් ඇත. එනම්, ලොස් ඇන්ජලිස්වල  සිටිමින් සෑම උදෑසනකම නරඹනවා යැයි කියන YouTube චැනල් ලැයිස්තුවේ ඇති විශිෂ්ට මාධ්‍යවේදීන් ටික කැඳවා, විශාල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඩයස්පෝරාවේ උවමනාවට වැඩ කරන අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් පාලකයන්ව පතුරු ගැසීම ය. 

දෙමළ ඩයස්පෝරාවේ උගුලට හසුව සිටින අනුර කුමාර ඇතුළු වත්මන් පාලකයන් ගැන කලකිරීමට පත්ව සිටින උපාලි තෙන්නකෝන් ඉදිරියේ දී කුමක් කරනු ඇති ද යන්න පිළිබඳව අප සිටින්නේ ද දෑස් දල්වා ගෙනය.

(මෙහි ශීර්ෂයට භාවිතා කළ 'තෙන්නකෝන්ගේ සමාජ සමයං' යන්න උපාලි තෙන්නකෝන් අරභයා භාවිතා කළ ද එහි මුල් අයිතිය සතු, දශක කිහිපයක් මුළුල්ලේ ලංකාදීප පුවත්පතට 'තෙන්නකෝන්ගේ සමාජ සමයං' යන සමාජ විවේචනාත්මක කාටූන් පෙළ නිමැවූ නැසී ගිය 'හෙන්රි තෙන්නකෝන්' මාධ්‍යවේදියාගේ නාමයට අගෞරවයක් නොවේවා..! )
 
උපාලි තෙන්නකෝන් ලියූ fb සටහන පහත දිගුවෙන් කියැවිය හැකිය
https://www.facebook.com/share/p/1ATkaiF9TA/

-සුනිල් ගාමිණී ජයලත්ගේ.

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-10-24 00:13:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links