-විශේෂ ලියුම්කරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ඔක්.24, පෙ.ව.6.10) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ඕ.පී.ආර්. දමයන්ති රක්ෂණ සංස්ථාව නොමඟ යවා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වංචා කර ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 'ලංකා ඊ නිවුස්' වෙත වාර්තා වී ඇති අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ප්‍රධාන ගණකාධිකාරි වෙත දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර තිබූ නිල රථය වන නිසාන් කැබ් රථය එහි රියදුරා වෙනුවට ගණකාධිකාරිවරියගේ ස්වාමි පුරුෂයා විසින් පදවා අනතුරකට භාජනය කර ඒ බව සඟවා රක්ෂණ සංස්ථාවෙන් අලුත්වැඩියාව සඳහා මුදල් ලබාගෙන ඇත. එදින නිල රථයේ රියදුරු නිවාඩු ලබාගෙන සිට ඇතත් ඔහුට වරද භාර ගැනීමට බලකර මෙසේ රක්ෂණ සංස්ථාව නොමඟ යවා ඇත. ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ රියදුරු සංගමය අභ්‍යන්තර කටයුතු ඒකකයට මෙන්ම අභ්‍යන්තර විගණන අංශය වෙත ද වාර්තා කර ඇතත් කිසිදු පරීක්ෂණයක් මේ දක්වා ආරම්භ කර නැතැයි පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේ අභ්‍යන්තර විගණක නිලය තනිකරම සුදු අලියෙක් බවයි. ගණකාධිකාරී පුටුවකට පැනගන්නට ඉව අල්ලන අභ්‍යන්තර විගණන නිලධාරීන් කිසි දිනක මූල්‍ය අංශයේ වැරදි සම්බන්ධයෙන් පියවර නොගන්නා බව ප්‍රසිද්ධ රහසකි. ඒ වෙනුවට ඔවුහු දශක ගණනාවකට පෙර මුද්‍රණ අංශය වෙත කොළ නමන යන්ත්‍රයක් මිලදී ගැනීමේදී සිදු වූ වංචාවක් ගැන හෝ විශ්‍රාමික නිලධාරියකුට වැඩිපුර ගෙවූ සත ගණනක් ආපසු අයකර ගන්නා ආකාරය ගැන හෝ රුපියල් ගණන් වැය කරමින් වාර්තා ලියති! පින්පඩි ගිලින අභ්‍යන්තර විගණක තනතුර රාජ්‍ය සේවයේ අහෝසි කළ යුතු තනතුරු ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබේ.
ඒ අතර විභාගේ අභ්‍යන්තර කටයුතු ඒකකය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇත. පැමිණිලි පෙට්ටියට දැමූ පැමිණිලි ගැන කිසිදු විමර්ශනයක් ආරම්භ නොකර කොමසාරිස් (පාලන) සිය වගකීම් පැහැර හැර ඇතැයි නැගෙන චෝදනාව සුළුකොට තැකිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මූල්‍ය වංචා රැසකට වගකිව යුතු හිටපු ප්‍රධාන ගණකාධිකාරී කමනී හෙට්ටිආරච්චි පන්නා දමා වත්මන් ප්‍රධානී ඕ.පී.ආර්. දමයන්ති පත්කර ගන්නා ලද්දේ මූල්‍ය පරිපාලනය විනිවිදභාවයෙන් යුතුව ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් වුව ද සිදු වී ඇත්තේ 'බකල ගෑනි පන්නා නොන්ඩි ගෑනි කැන්දා ගැනීමක්' බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මතය වී තිබේ. ප්‍රධාන ගණකාධිකාරිවරිය තමන් විභාග කොමසාරිස් ජනරාල්ට ඉහළින් සිටිතැයි සිතා කටයුතු කිරීම සෙසු නිලධාරීන්ට හා සියලු සම්පත්දායකයන්ට මහත් හිරිහැරයක් වී තිබේ.
විභාග රාජකාරි සඳහා වන ගෙවීම් භාණ්ඩාගාරයේ ගෙවීම් පද්ධතිය හෙවත් ITMIS පද්ධතියට මාර්ගගතව ඇතුළත් කරන ලේඛනය කූට ලෙස සංශෝධනය කර ලංකා බැංකුව වෙත ඉදිරිපත් කරන බවත් ඒ සඳහා දමයන්තිගේ විශ්වාසවන්ත හෙංචයියකු වෙනත් දෙපාර්තමේන්තුවකින් විභාගෙට ගෙන්වා ගෙන ඇති බවත් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ රහසක් වුවත් විගණන අංශය පසුවන්නේ හොර නින්දේය.
යටකී ගසාකෑම්වලට අමතරව රාජකාරි වේලාව තුළ සිදුකරන ගෙවීම් සඳහා කෑලි ගණනට දීමනා ලබාගන්නා ප්‍රධාන ගණකාධිකාරිවරිය මාසික වැටුප මෙන් තුන් හතර ගුණයක් අමතර දීමනා ලබාගන්නා නමුත් සාමාන්‍ය පරිපාලනය හෝ මූල්‍ය පරිපාලනය හෝ ගැන මෙලෝ අටමගලක් නොදන්නා විභාග කොමසාරිස් ජනරාල්වරිය බකන් නිලාගෙන සිටින බව තතු දත්තෝ පෙනවා දෙති. දිගින් දිගටම සිදුවන ගෙවීම් ප්‍රමාදය හා ගෙවීම් කප්පාදුව ගැන ජනරාල්වරිය වගේ වගක් නැතිව සිටිනා බව පැවසේ.
පරිපාලනය බිඳ වැටී මේ වන විට ට්‍රැක්ලන්තයක් බවට පත් වී ඇති විභාග දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අතිශය සෝචනීය බවත් විද්වත් වෘත්තීයවේදීන් වෙනුවට උත්තර පත්‍ර බලා මඩි තරකර ගැනීමට පොරකන වැඩ බැරි මළ පෙරේතයන්ගෙන් ඉහළ පුටු පිරී ඇති බවත් එහි නිතර යන එන විශ්වවිද්‍යාල ආචාර්යවරු පවසති.
විභාග දෙපාර්තමේන්තුව පත්ව ඇති අංග විකල තත්ත්වයෙන් ඉහළම වාසිය ලබා ගන්නට ඉව අල්ලමින් සිටින්නේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හෙවත් SLIDA ආයතනයයි. කලින් SLIDA මුල් පුටුව හෙබ වූ වත්මන් අධ්‍යාපන ලේකම් නාලක කලුවැව විභාග දෙපාර්තමේන්තුවේ මුල් සිඳීමේ කොන්ත්‍රාත්තුව යස අගේට ඉටු කරමින් සිටින බව නොරහසකි. ඔහු වැඩ බැරි හොල්මනක් විභාග මුල් පුටුවේ ඉන්ද වීමට අධ්‍යාපන ඇමතිවරියට දිරච්ච ලණු දුන්නේ එකී අරමුණ මුදුන් පමුණුවා ගැනීමට බව දැන් දැන් පෙනෙන්නට තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කර ඇති අල්ල පනල්ලේ විභාග දෙපාර්තමේන්තුව ගණකාධිකාරීගේ අල්ලේ නැටවෙන අට්ටාල රූකඩයක් යටතේ පාලනය වීම කිසිසේත් සාධනීය තත්ත්වයක් නොවේ. රටේ අහිංසක දූ පුතුන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව රැක ගැනීමට අධ්‍යාපන ඇමතිවරියගේ අවධානය කඩිනමින් යොමු වනු ඇතැයි ලංකා ඊ නිවුස් අපේක්ෂා කරයි.
සබැඳි පුවතක්
* විභාගේ ගෙවීම් නොන්ඩි ගහයි..! ගුරුවරු කලකිරීමෙන්..!
---------------------------
by (2025-10-24 00:47:05)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි