~

‘ජනවාරියේදී විශාල වූ පුංචි දිවයින‘ - ශ්‍රී ලංකාවේ මෛත්‍රීකරණය ලෝකප්‍රකට ටයිම්ස් සඟරාව දකින හැටි

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.16, ප.ව. 11.55) ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාගේ මෝටර් රථ පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු විට දැන් සිදු වන්නේ මීට මාස කීපයකට පෙර කිසිසේත් දැකිය නොහැකි වූ දසුනකි. රථ පෙළ නවතා තබා කොළ සංඥාව ලැබෙන තුරු බලා සිටී. අලූත් අත්දැකීම එපමණක් ද නොවේ. පෙර වූ වාහන 16 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාව වෙනුවට දැන් ජනාධිපති රිය පෙළට ඇත්තේ වාහන දෙක තුනක් සහ මෝටර් බයිසිකල් දෙකක් පමණි. එදා මාර්ග සංඥා නොතකා ගමන් කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රිය පෙළට බලාපොරොත්තු රහිත ලෙස රතු එළිය වැටුනේ ජනවාරි මස 8 වනදාය. 

එදින අවුරුදු 9 ක් එක දිගට මෙම දිවයින් රාජ්‍යය පාලනය කළ 69 හැවිරිදි රාජපක‍්ෂට පරාජයක් හිමිවන බව මැතිවරණ දා උදෑසන සිටම දක්නට ලැබුණි. 2009 දී ඔහු දශක තුනක් සිවිල් යුද්ධයේ යෙදී සිටි දෙමළ සුළුතරයට අයත් බෙදුම්වාදීන්ව යුද බිමේදී පරාජය කළ අතර එක්සත් ජාතීන්ගේ සමහර වාර්තා සඳහන් කරන පරිදි එහිදී මිය ගිය දෙමළ වැසියන්ගේ සංඛ්‍යාව 40,000 ද විය හැක. වසරකට පසුව රාජපක්ෂ සිංහල බෞද්ධ වැඩි ජනතාවගේ සහාය ඇතිව දෙවන වරට ද තේරී පත්විය. යුද්ධයේ අවසන් කාල සීමාවේ සිදුවී යයි කියන මානව හිමිකම් කඩ කිරීම් ගැන සොයා බැලීමට කළ ඉල්ලීම ගැන කිසිසේත් නොතැකූ රාජපක‍්ෂ, පාලනය ගෙන ගියේ සිය පවුලේ සාමාජිකයින්ට පාලන තන්ත්‍රයේ අණසක පැතිරවීමට ඉඩකඩ සලසමිනි. ජනාධිපතිගේ සහෝදරයෙක් ජාතික ආරක‍්ෂාව භාරව සිටි අතර, තවකෙකු ආර්ථීක සංවර්ධනය භාරව සිටියේය. තෙවන සහෝදරයා පාර්ලිමේන්තුවේ කථානායක විය. රාජපක‍්ෂ, පාලනයට විරුද්ධ මත ධාරීන්ව නිහඬ කළේ අයෝමය හස්තයකිනි. රජය විවේචනය කළ මාධ්‍යවේදීන් සහ දේශපාලන ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම් පමණක් නොව නොම්මර තහඩු රහිත සුදු වෑන් වලින් පැහැර ගැනීම් ද සිදු විය. සමහරු අතුරුදහන් වූහ. (කෙසේ වුවද රාජපක‍්ෂ රජය මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය.)

එහෙත් බලාපොරොත්තු රහිත ලෙස මෙම උඩු රැවුලක් සහිත ශක්තිමත් නායකයාට බලය අහිමි විය. ඡන්ද දායකයා ශ්‍රී ලංකාව එක් පවුලකට බලය හිමි ඒකාධිකාරී පාලනයක් වෙතට ගෙන යමින් සිටි එම නායකයාව පරාජය කරමින් නව ජනාධිපති ලෙස කලින් බොහෝ දෙනා නොදැන සිටි, රාජපක‍්ෂ රජයේම හිටපු ඇමතිවරයෙකු වූ 63 හැවිරිදි මෛත්‍රීපාල සිරිසේනව තෝරා ගත්තාය. ඡන්ද ප්‍රතිඵලය ගැන සිරිසේන ද පුදුමයට පත්විය. “ඡන්දයෙන් ජය ගත් නමුත් දින කීපයක් යනතුරු මටත් දැනුනේ නැහැ මා ජනාධිපති බව“ ජනාධිපති සිරිසේන ජාත්‍යන්තර ඉංග්‍රීසි සඟරාවකට දුන් සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවේදී ‘ටයිම්‘ සඟරාවට පැවසුවේ සිනා මුසු මුහුණිනි. “ඒ වාගේම රාජපක‍්ෂ පවුල ද සිතන්නට ඇති මොකක්ද මේ වුණේ කියා.“

රාජපක‍්ෂගේ අති විශාල රිය පෙරහැර පමණක් නොව තවත් කටයුතු ගැන දැන් හෙළිදරව් වී ඇත. ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ 5000 කට අසුන්ගත හැකි සුඛෝපභෝගී භෝජනාගාරයක් ඉදි කර තිබුණේ වර්ණ වෙනස් කළ හැකි සුවිශාල සිවිලින් පහන් ආදී නවීන අංගෝපාංග ද සහිතවයි. දැන් එම සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය බවට පත්ව ඇත. ජනපති සිරිසේන තවමත් පදිංචි වී සිටින්නේ රාජපක‍්ෂ රජයේ සෞඛ්‍ය ඇමති ලෙස නැවතී සිටි නිවසේමය.
 
සිරිසේනගේ සහායක නිලධාරීන් පවසන පරිදි ඔහුගේ පිලිවෙත පෙනුමට පමණක් සීමාවූවක් නොවේ. ජනාධිපති විධායක බලතල අඩු කිරීමට පමණක් නොව ජනාධිපති ධුර කාලය  අඩු කිරීමට මෙන්ම අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තුවට විධායක බලතල පැවරීමට ද ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ඔහු සහාය දෙයි. රාජපක‍්ෂ පාලනය යටතේ බලය එක් පවුලකට සීමා වූ බව සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. “එලෙස අනාගතයේදී කවදාවත් එක් පවුලකට බලය හිමි කර ගැනීමට ඉඩක් නොලැඛෙන ලෙස අපි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.“

චීනයේ ප්‍රතික්‍රියාව
-------------------
ශ්‍රී ලංකාව දියුණුවන ලෝකයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රටකි. 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු දිගටම සම්ප්‍රදායික ලෙස මහ මැතිවරණ පැවැත්වුනි. දීර්ඝ කාලීන ගැටුමකට පසු දැන් රටට අතීතයේ තිබූ නිදහස යලි ඇති කිරීමටත් සරල පාලන තන්ත්‍රයකුත් අවශ්‍යය. එහෙත් සිරිසේන අනපේක‍්ෂිත ලෙස බලයට පත්වීමේ දෝංකාරය රටින් පිටතට ද දැනුනි. කැමති වුවද නොවූවද මෙම දිවයින් රාජ්‍යය බලවතුන්ගේ භූගෝලීය දේශපාලන සෙල්ලමේ කොටස්කරුවෙකි. 

කොළඹ නගරයේ වෙරළාසන්න තේජාන්විත යටත්විජිත පාලනයේ ගොඩනැගිල්ලක පළමු මහළේ සුවිශාල කාර්යාලයේ සිට ජනාධිපති සිරිසේන සිය පාලන කටයුතු ගෙන යයි. මෙම ගොඩනැගිල්ල ඉදිරිපස ඇත්තේ විශාල ගල් සහ වැලි අතුරා මුහුද ගොඩ කරමින් ඉදි කෙරෙන ඩොලර් බිලියන 1.4 ක කොළඹ වරාය නගර ව්‍යාපෘති ප්‍රදේශයයි. සුවිශාල හෝටල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදිය ගොඩ නැගීමේ මෙම යෝධ යෝජනා ක්‍රමය දැන් තාවකාලිකව නවතා ඇත්තේ එයට අනුමැතිය දුන් විවිධ බලපත්‍ර යලි පරීක‍්ෂා කර බැලීම සඳහා ය. චීනයේ සුවිශාල ණය ආධාර මත රාජපක‍්ෂ පාලන තන්ත්‍රයේදී ඇරඹුනු යෝජනා ක්‍රම ගණනාව අතුරෙන් ප්‍රමුඛත්වය ගන්නේ පසුගිය සැප්තැම්බර් මස චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මුල්ගල් තබන ලද මෙම කොළඹ වරාය නගර යෝජනා ක්‍රමයයි.
 
ජනාධිපති ෂී ගේ සංචාරය ශ්‍රී ලංකාවට ක්‍රමෝපාය වැදගත් කමකින් යුක්තය. ජනගහනය මිලියන 20 කට සීමා වූ කුඩා රටක් වුවද ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවට දකුණෙන් වූ ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සිය බලපෑම් තරකර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන ඉන්දියානු සාගර කලාපයේය. මානව හිමිකම් කඩවීම් චෝදනා මත බටහිර ජාතීන්ගෙන් දුරස් වූ රාජපක‍්ෂ රජය කිට්ටු වූයේ චීනය දෙසට ය. චීනයෙන් ඩොලර් බිලියන ගණනින් ණය ආධාර ලබා ගැනීමට අමතරව පසුගිය වසරේ දෙවරක්ම චීන යුද සබ්මැරීන් යානාවලට කොළඹ වරායට ඇතුළුවීමට ඉඩදීම ඉන්දියාවේ කණස්සල්ලට හේතු විය. ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරිය වූ දැන් වොෂින්ටන්හි ‘බ්රූකිංස්‘ ආයතනයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරණ ටෙරසිටා ෂේෆර් මහත්මිය පැවසුවේ රාජපක‍්ෂ චීනය සමග සිය සබඳතා ගැන ඉහළින් කතා කරන බවය. ඇය එම පිළිවෙත හැඳින්වූයේ සිදුවී යැයි කියන යුද අපරාධ ගැන බලපෑම් කරන බටහිරට කොකා පෙන්වීමක් ලෙසටය. 

2009 හමුදා ජයග්‍රහණයට පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිසි දිසාවකින් තොර වී යයි සිරිසේන සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ බැවින් නව රජයේ බල කේන‍්ද්‍රය වෙනස් වන බවක් පෙණුනි. එහෙත් එය චීනයෙන් ඉවතට බරවීමක් ලෙස විස්තර කළ නොහැකි යැයි අගමැති වික්‍රමසිංහ මහතා ටයිම් සඟරාවට පැවසීය. “පෙර රජය චීනය හැර සියලුම අනෙක් රටවලින් ඈතට නැඹුරු විය. අප බටහිර පමණක් නොව ඉන්දියාව ද පසමිතුරු කර ගැනීමට ක්‍රියා කළා. එය දිගටම කළ හැකි ක්‍රියාවක් නොවේ. ශ්‍රී ලංකාවට චීනය පමණක් නොව බටහිරත් අවශ්‍යයි. එමෙන්ම ඉන්දියාවත් අවශ්‍යයි.“

එලෙසටම සිරිසේන ජනවාරි මස ජයග්‍රහණයට පසු ප්‍රථම චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු අගමැති නරේන‍්ද්‍ර මෝදි මහතා ද ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත විය. එමෙන්ම චීනයේ චාරිකා කරමින් බීජිංහි ශ්‍රේෂ්ඨ මහජන ශාලාවේදී සුවිශේෂ පිළිගැනුමක් ලැබුවේය. එහෙත් කොළඹ සහ බීජිං අතර සබඳතාවල ශක්තිය පැහැදිලි වන්නේ දැනට අත්හිටුවා ඇති කොළඹ වරාය නගර යෝජනා ක්‍රමයේ අනාගතය ගැන ගන්නා තීන්දුව මතය. සිරිසේන පැවසුවේ සිය රජය සියලුම විදේශික අරමුදල් ලැබූ යෝජනා ක්‍රම මෙන්ම දේශීය යෝජනා ක්‍රම ගැන ද යලි පරීක‍්ෂා කිරීමට තීරණය කළ බවයි. ඒවායේ විවිධ අක්‍රමිකතා සහ අල්ලස් දූෂණ පිළිබඳ චෝදනා තිබෙන බැවින් එසේ පරීක්ෂා කරනු ලැබේ. “අපි කිසිවකුට පසමිතුරු වන්නේ නැහැ. අපි සියලුම රටවලට මිත්‍රත්වයේ සුරත දිගු කරන්නෙමු“ ජනාධිපති සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. 

අසාමාන්‍ය නායකයෙක්
--------------------------
සිරිසේනගේ දේශපාලන චරිතයේ පෙරළිකාරී චරිත ලක‍්ෂණයක් පෙනෙන්නට නැත. රාජපක‍්ෂ මෙන්ම සිරිසේන ද සිංහල බෞද්ධ බහු ජාතියට අයත් වන අතර, පාසැල් වියේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබා දේශපාලන දිවිය ඇරඹූ චරිතයකි. 1970 දශකය මුලදී වාමාංශික රාජ්‍ය විරෝධී අසාර්ථක විප්ලවයට සම්බන්ධ යැයි චෝදනා ලබා මාස 15 ක් සිර අඩස්සියේ ද සිටියේය. රජයේ පාලන තන්ත්‍රයේ ග්‍රාමීය මට්ටමේ තමා දැරූ තනතුරෙන් ඉල්ලා අස්වී පූර්ණ කාලීන දේශපානඥයෙකු වූ සිරිසේන 1989 දී පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්විය. ඉන්පසු පක‍්ෂයේ නිලතල කීපයක් දැරූ ඔහු පසුව අමාත්‍යංශ කීපයක ද තනතුරු දැරීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික පරිසරයක දිවි ගෙවූ සිරිසේනගේ දේශපාලන දිවියේ පළුදු දක්නට නොලැබුණු අතර, පිරිසිදු චරිතයක් ලෙස ලබාගත් ප්‍රතිරූපය ඔහුට රාජපක‍්ෂ පාලන තන්ත්‍රයෙන් නොවැම්බර් මාසයේදී ඉවත් වූ අවස්ථාවේදී බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ජාත්‍යන්තර අර්බුද විමර්ශන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන ඇලන් කීනන් පැවසුවේ සුඛෝපභෝගී පහසුකම්වලට ලැදි සුවිශාල දූෂණ චෝදනා එල්ලවූ රාජපක්ෂ පවුලේ පාරම්පරික පාලන ප්‍රතිරූපය ඉදිරියේ සිරිසේනගේ ප්‍රතිරූපය හාත්පසින්ම වෙනස් වූවක් බවය. 

මහජන සබඳතා අතින් සිරිසේන ජාත්‍යන්තර තලයේ සටනින් ද පහසු ජයක් ලැබීය. දෙමළ විමුක්ති කොටි සංවිධානය සමග පැවති යුද්ධයේ අවසන් සමයේ සිදුවී යයි කියන මානව හිමිකම් චෝදනා ගැන ස්වාධීන පරීක‍්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ට ඉඩ දිය යුතු යැයි ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම්වලට රාජපක‍්ෂ අවනත නොවීය. (කෘෘරත්වය ගැන කොටි සංවිධානය ද නම්දරා සිටි අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චිය ආරම්භ කළේද එම සංවිධානය විසිනි.) සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දු වූයේ දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවටය. එම යාන්ත්‍රණය ජූනි මස අවසානය වනවිට පිහිටුවන බව ජනාධිපතිවරයා ටයිම් සගරාවට පැවසීය. සිරිසේනට ඒ සඳහා කාලය ලබා දීමට එක්සත් ජාතීන් ද මානව හිමිකම් වාර්තාව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර ඇත. එමෙන්ම නව රජය දෙමළ බහුතරය සහිත උතුරු ප්‍රාන්තයේ හමුදා ආණ්ඩුකාරවරයා වෙනුවට සිවිල් ආණ්ඩුකාරවරයෙක් පත්කර ඇත. එමෙන්ම දකුණු අප්‍රිකාවේ මෙන් සත්‍යය සහ සංහිඳියාව උදෙසා කොමිසමක් පත් කිරීමට ද පියවර ගැනීමට නියමිතය. 

එහෙත් පළමුව සිරිසේනගේ දේශපාලන ආධාරකරුවන් මහ මැතිවරණයකින් ජය ගත යුතුව ඇත. තමා මැයි මස පාර්ලිමේන්තුව විසිරුවා හැර ජූනි අගදී හෝ ජූලි මස මුලදී මහ මැතිවරණයක් පවත්වන බව සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. එහිදී පාර්ලිමේන්තු අසුනකට තරඟ කර රාජපක‍්ෂ ද යලි දේශපාල චිත්‍රයට ඇතුළුවීමට ඉඩ තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන‍්ද්‍රයේ විධායක අධ්‍යක‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු පැවසුවේ රාජපක‍්ෂ සිරිසේන රජයේ හිසට උඩින් එල්ලා ඇති කඩුවක් වැනි බවය. දිවයිනේ දකුණේ පිහිටි තංගල්ලේ නිවසේදී රාජපක‍්ෂ ටයිම් සඟරාවට පැවසුවේ නව රජයට තමාව දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි බවය. “උවමනාවට වඩා විශ්වාසය තබා ගැනීමට හොඳ දෙයක් නොවේ.“ රාජපක‍්ෂ පැවසීය. අයථා පාලනය, පවුල්වාදය ආදී චෝදනා මෙන්ම ජනවාරි මස මැතිවරණයට පසු බලෙන් පාලනයේ සිටීමට කුමන්ත්‍රණය කළේය යන චෝදනාව ද ඔහු ප්‍රතික‍්ෂේප කළේය. නව රජය උත්සාහ කරන්නේ තමන්ට මඩ ගැසීමට යැයි රාජපක‍ෂ ටයිම් සඟරාවට කීය.

දැනට සිරිසේන හොඳින් ස්ථාපිත වී සිටී. ඔහු දැන් සිය දින සියයේ ප්‍රථම අදියර අවසන් කිරීමට ආසන්නව සිටී. විවේචකයින් වෙත සංයමයෙන් යුතු ආකල්පයක් සිරිසේන දරණ බව කොළඹ මාධ්‍යවේදීහු සහ දේශපාලන ක්‍රියාකාරීහු පවසති. “මම දැන් ඉස්සර වාගේ බය නැහැ“ පසුගිය වසරේදී දෙමළ දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ අතුරුදහන්වීම පිළිබඳ විරෝධය පල කිරීම නිසා සිර භාරයේ සිටි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු පැවසීය. “රාජ්‍ය මාධ්‍යයේ කලින් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වූවන් දැන් රූපවාහිනී සාකච්ඡාවලට සහභාගි වෙනවා“ ඔහු කීය. 

ජනාධිපති සිරිසේන පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම යලි සවිමත් කිරීමට අවශ්‍ය බවය. “මා බලයට පත්වූයේ බලය සවිමත් කිරීම සඳහා නොවේ. මගේ අතේ තිබෙන බලය අනෙක් අංශවලට පැවරීමටයි.“ ජනාධිපතිවරයා පැවසීය. “බලය කේන‍්ද්‍රගත වීම රටට විශාල ප්‍රශ්නයක් වූවා. ඇත්තෙන්ම බලය බෙදා හැරිය යුතුයි.“ සම්පූර්ණ ඒකාධිකාරී පාලන තන්ත්‍රයක් දෙසට තල්ලුවෙමින් පැවති රටකට මෙය පූර්ණ අපේක‍්ෂාව පිළිබඳ සංදේශයකි.

(ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාව වෙනුවෙන් මාධ්‍යවේදී නිඛිල් කුමාර් කොළඹ සිට වාර්තා කර අප්‍රේල් 9 දා ටයිම්ස් සඟරාවේ පළවූ වාර්තාවේ සිංහල පරිවර්තනයකි. සේයාරුව ඉෂාර කොඩිකාරගෙනි -සිරස්තල ලංකා ඊ නිව්ස් විසින් වෙනස් කර ඇත )

---------------------------
by     (2015-04-17 02:09:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

arakshawa avashya naha hamuda kandavuruth ayn kaa gena yana nisa
-- by anura on 2015-04-18

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links