(ලංකා ඊ නිව්ස් - 2015.අප්‍රේල්.17, ප.ව.7.00) අමරණීය සංගීතඥයෙක් වූ නිමල් මෙන්ඩිස් මහතා ඊයේ අප අතරින් වෙන්ව ගියේය. ඒ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තබන සටහනයි මේ..
සදාතන සොඳුරු මතකයන් රසික හදවත් තුළ නිධන් කර වූ අපූර්ව ගීත රැසක් ලාංකේය ගී කලා කෙත සතු ය. ඒ අතර නිම් හිම් සෙව්වා මා සසරේ, 'ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී', 'රන් ටිකිරි සිනා', 'උපුල් නුවන් විදහා', 'දවසක් දා වසන්ත සැණකෙලියේ...' යන ගීත වඩාත් අමරණීය වන්නේ, සුගායනීය වන්නේ ඒ ගේය පද සංකල්පනාවන්ට පණ පොවන සුමිහිරි ස්වර සංකලනයෙන් මැවෙන සදාතනික චමත්කාරය හේතුවෙනි.
ඒ සප්ත ස්වර කෞශල්‍යයෙහි හිමිකරු වන්නේ ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස් කලාකරුවාණන් ය. ගේය පද රචනයට ද විශිෂ්ඨයෙකු වන ඔහු දක්ෂ ගායකයකු ද වන්නේය. 81 වසරක් සපිරූ තම ජීවන ගීතය නිමා කරමින් ඔහු අප අතරින් සමුගන්නේ කිසිවෙකුට සපුරාලිය නොහැකි අඩුවක් සංගීත ක්ෂේත්‍රයේ ඇති කරමිනි.
නිමල් මෙන්ඩිස් මහතා බටහිර සංගීත රටාවට, හෙළ ගී ආර මුසු කරමින් සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍ය ලකුණක් තැබීය. ඔහු නිර්මාණය කළ 'මාස්ටර් සර්' ගීතය කොතරම් ජනාදරයට පත් වී ද යත් එතැන් සිට ඔහු හැඳින්වෙන්නේ ද මාස්ටර් සර් නමිනි. ඒ මහතා සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර 'ගඟ අද්දර', 'බැද්දේගම', 'සුසීමා', 'ගැහැණු ළමයි', 'අහසින් පොළවට', 'කොළඹ සන්නිය', 'ගෝඩ් කිං', 'දුවට මවක මිස' විශේෂයෙන් සඳහන් කළ හැකි ය.
නිමල් මෙන්ඩිස් මහතා ජන හද දිනූ සංගීතඥයෙක් වන්නා සේම, සම්මානිත සංගීතවේදියෙකි. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ 'අහසින් පොළවට' චිත්‍රපටය සඳහා 1979 වසරේ O.C.I.C. සම්මානය ද, 1980 වසරේ 'ගඟ අද්දර' චිත්‍රපටය සඳහා සරසවි සම්මානයද, සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපති සම්මානය ද දිනා ඇත.
හෙළ ගී කෙත සරු කරවන්නට සදාතනික සුමධුර නාද රටාවන්, ගේය පද සංකල්පනාවන් නිමවා තබා, අරුත් සපිරුණු ජීවන ගීතයක යථාරුත් පහදවාලමින් අප අතරින් සමුගත් නිමල් මෙන්ඩිස් ප්‍රවීණ කලාකරුවාණන්ට මාගේ ගෞරවණීය ආචාරය පුද කරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2015 අප්‍රේල් 17
පණ්ඩිත් අමරදේව සහ නිමල් මෙන්ඩිස් එක්ව ගායනා කළ අපූරු අවස්ථාවක් පහත වීඩියෝවේ දැක්වේ
---------------------------
by (2015-04-17 18:47:49)
Leave a Reply
Rest in Peace Mr Mendis http://tube.lankaeuro.com/video/V1B0DA111ZA/A-Nimal-Mendis-Song-Gresha-Schuilling-Sings-Yesterday-Today-Tomorrow.html
-- by Leslie Wijesinghe on 2015-04-18
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි